Print this Article


කූරගල මහා පුදබිමට වෙසක් සඳ පෑයූ වගයි

කූරගල මහා පුදබිමට වෙසක් සඳ පෑයූ වගයි

ඓතිහාසික සබරගමු පළාතේ සමන් දෙවි අඩවියේ බලංගොඩ සිට කිලෝ මීටර් 30 දුරින් කල්තොට නිම්නයේ ඇති අති සුන්දර මහරහතන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13 ක් සහිත සබරගමුවට මහත් ආලෝකයක් වූ මහා පුදබිමකි කූරගල.

මේ උතුම් මහා පුදබිම වසර 50 කට අධික කාලයක් විවිධ අන්තවාදී පිරිස් හා පුද්ගල කණ්ඩායම් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි අතර එම කණ්ඩායම් විසින් ඓතිහාසික වටිනාකමින් යුතු මහා පුදබිම විනාශ කර ඇත.

කුමන ජාතියකට අයත් පිරිසක් එම ක්‍රියාදාමය සිදු කළ ද ඒ තුළින් විනාශ වන්නේ අප රටට අයත් අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසය යි .

මේ බිමේ ඉතිහාසය පුරා වසර 2300 ක් තරම් අතීතයට විහිදෙන අතර මේ බිම බෞද්ධ පුදබිමක් වුවත්, අතීතයේ මහ රහතන් වහන්සේ වැඩ සිටි බිමක් වුවත් අන්තවාදීන් විසින් ඔවුන්ගේ පාලනයට නතු කර ගනිමින් තිබිණි.

2021 මාර්තු මාසය දා උදා විය. යළි පිබිදෙමු කූරගල කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය රැගෙන

අති දුෂ්කර කටුක දිවි පෙවෙතකට ළඟාවීමට කන්ටේනර් පෙට්ටි දෙකක් තම නවාතැන බවට පත්කර ගනිමින්.

සියලු සැප සම්පත් පසෙක දමා වෙහෙර විහාර ගොඩනඟා බුද්ධ ශාසනය රැක ගැනීම තම කාර්යය හා වගකීම ලෙස හඳුනාගත් අපේ කාලයේ විශ්වකර්ම හාමුදුරුවෝ ලෙස හඳුන්වන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන තරුණ යතිවරයන් වහන්සේ කොටපොල දමිත හිමියන් සමඟ කූරගලට පැමිණි අතර අද වන විට රටක ජාතියක බලාපොරොත්තුව අවුරුද්දකටත් අඩු කාලෙකින් නිමා කරමින් පවතී.

මේ දැවැන්ත පුදබිම වසර 1000 කට මෙපිට ඉතිහාසය තුළ එකවර ඉදිවන මහ පුද බිම යි.

මේ බිම තුළ එකවර විහාරාරාංග 28 ගොඩනැඟෙයි.

රටක ජාතියක අභිමානවත් බලාපොරොත්තු සඵල කරමින් 2022 වර්ෂය වෙසක් සඳ අහස් කුස සිසාරා මෝදු වන්නේ කූරගල මහ සෑයේ කොත් කැරැල්ල බබළවමින් ය.

මේ චෛත්‍යය අඩි 120 ක උසස් ප්‍රමාණය සටහන් වන අතර සබරගමු පළාතේ ඇති විශාලතම ස්තූපය ලෙස නම් දරයි. ඈත මුහුදේ හම්බන්තොට දක්වා එක පසකිනුත්, හපුතලේ දක්වා තවත් පසකින් දිස්වන මේ මහා සෑය අසදිසි ශාක්‍යසුගත සෑය ලෙස නම් කර ඇත.

මේ මහා සෑය සඳහා ගඩොල් කැට ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන අතර. මේ ස්තූපය සම්පූර්ණව කූරගල මහ කඳු මුදුනේ ඉදිවන මහා සෑයකි. මේ ස්තූපය සම්පූර්ණම කළු ගල් තලාවක් මත ඉදි වීම නිසා කොන්ක්‍රීට් කණු මත මළුව සකස් කරයි.

මලුව සතර පැත්තට ම චෛත්‍යය ප්‍රදක්ෂිණා කිරීමට හැකි පරිදි නිර්මාණය කිරීම මෙහි ඇති තවත් සුවිශේෂීම දෙයකි. මේ මහා මලුව වර්ග අඩි 22500 විශාල ප්‍රමාණයට නිර්මාණය කර ඇත්තේ වැඩි ජනතාවකට එක වර ඉතා පහසුවෙන් වන්දනාමාන කිරීමට ය.