|  වෙසඟේ අසිරිය 
				
				 
				 
සුදු බුදු රැස් ගලයි දස අත වෙසඟ දින රුදු කෙලෙසුන් නිවෙයි සම්බුදු උපන් දින
 සැදු මල් දෝත බුදු හිමි හට පිදුව දින
 බුදු කුටියක් වුණා මගෙ හද වෙසඟ දින
 
				 
සල් මල් සුවඳ විහිදෙන ලුම්බිණි උයනයි සිල් සුව දැනෙන සෙළවෙන බෝපත් සෙවණයි
 මල් සුපිපී මියෙන උපවත්වන උයනයි
 සල් මල් පුදා නමදින බුදුගුණ මහිමයි
 
				 
සමවත් සුවය තුන් ලොව නිරතුරු පැතිරෙයි සමතිසෙන් පෙරුම් පුරමින් නිති සැතපෙයි
 අම රස දහම සයුරෙන් මුළු ලොව නැහැවෙයි
 හැම හදවතම ලොව්තුරු ගුණයෙන් පිබිදෙයි
 
 
-
විතාරන්දෙණියේ වජිර හිමි |