Print this Article


සම්බුදු සසුන බබළවන ධර්මධර විනයධර සඟ පිරිසක් බිහි කිරීම මාගේ අරමුණයි

සම්බුදු සසුන බබළවන ධර්මධර විනයධර සඟ පිරිසක් බිහි කිරීම මාගේ අරමුණයි

බෝපැත්ත ගැටහැත්ත ශ්‍රී සෝමානන්ද ඉංගී‍්‍රසි මාධ්‍ය මහ පිරිවෙනේ නිර්මාතෘ රාස්සගල චන්දකිත්ති හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අසිරිමත් ගුණ සමුදායකින් යුක්ත ය. එදා බරණැස ඉසිපතන මිගදායේ දී මේ දහම අවබෝධ කළ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පැවත එන ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේ ලොව අන් පිරිස් කිසිවකවත් දැකිය නොහැකි අන්දමේ ගුණ රැසක් දරා වැඩ වෙසෙති.

රාග, ද්වේෂ, මෝහ නසාලන ඒ සෘජු මඟ ගමන් කරන ඒ ශ්‍රාවක සඟරුවනේ ගුණ කැටි කොට අපි වන්දනා කරමු. දුර ගොස් දන් පිදීමට සුදුසු, ආගන්තුක දන් පිළිගැනීමට සුදුසු, පින් සලකා දීමට සුදුසු, අංජලීකරණී ගුණයෙන් යුතු ඒ මහා සංඝරත්නය වැඩ වෙසෙන පුණ්‍ය භූමියක වගතුග සොයා ගියෙමු.

ඒ ඇහැලියගොඩ, බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහා පිරිවෙන වෙතට ය. කුඩා සාමණේරයන් වහන්සේ හැට අට නමකට රැකවරණය දෙමින් වැඩ සිටින ශාස්ත්‍රවේදී රාස්සගල චන්දකිත්ති හිමියෝ ශ්‍රී සෝමානන්ද පිරිවෙන භාරව කටයුතු කරති. උන්වහන්සේ මෙසේ අදහස් පළ කළහ.

මගේ ගුරු හාමුදුරුවෝ මෙනේරිපිටියේ චන්ද්‍රරත්න හාමුදුරුවෝ. උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ වන්නේ පත්බේරියේ සෝමානන්ද නාහිමි යි. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේ දී මට වාසනාව උදාවුණා උන්වහන්සේ යටතේ ධර්ම විනය හැදෑරීමට. උන්වහන්සේ දිනක් මෙම ස්ථානයට පැමිණ මේ විහාරය පිරිවෙනක් කළොත් හොඳයි කියන අදහස ප්‍රකාශ කළා.

ඒ අනුව ඇහැලියගොඩ, ගැටහැත්ත, ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ නිර්මාතෘ අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ අනුනායක ව වැඩ බලමින් සිට අපවත් වී වදාළ කූරුවිට, බටතොට, ඓතිහාසික දිවාගුහා රාජ මහා විහාරාධිපති පත්බේරියේ ශ්‍රී සෝමානන්ද අනුනායක හිමියන්ගේ සංකල්පයකට අනුව පිරිවෙනේ ආරම්භය යථාර්ථයක් කරමින් 2010 වසරේ විවිධ බාධක අභියෝග මෙන්ම බොහෝ දුෂ්කරතා මැද මෙම ස්ථානය සාමණේරයන් වහන්සේ දෙනමකින් යුතුව ආරම්භ කළා.

මූලික පහසුකම් කිසිවක් නැතිව ආරම්භ කළ මේ පිරිවෙන පිරිස වැඩිවීමත් සමඟ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. නමුත් දැඩි අධිෂ්ඨානයෙන්, සීමිත සම්පත් කළමණාකරණයෙන් කටයුතු කළ නිසා අපි දිනෙන් දින දියුණු වුණා.

අපේ නායක හාමුදුරුවෝ අපවත් වුණේ පිරිවෙන ආරම්භ කළ දිනයේ ම යි. ඒ 2012.12.03 දින. උන්වහන්සේට ගෞරවයක් ලෙස ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මූලික පිරිවෙන ලෙස නම් කළා. දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන පිරිවෙන් අතර අපගේ මෙම පිරිවෙනත් ඉදිරියෙන් සිටිනවා.

මේ කුඩා සාමණේරයන් වහන්සේලා හොඳීන් අධ්‍යාපනය හදාරනවා. 2020 පිරිවෙන් අධ්‍යාපන විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ පළමු ශිෂ්‍යයා වූයේ මෙහි අධ්‍යාපනය හදාරන බෝදාගොඩ ධම්මදේව පොඩි හාමුදුරුවෝ. ඒ වගේ ම ලංකාවේ හතරවැනි ස්ථානය මෙහි අධ්‍යාපනය හදාරන වෙලංගාවෙල ඤාණිස්සර පොඩි හාමුදුරුවෝ ලබා ගත්තා. එලෙස ම මේ සාමණේරයන් වහන්සේලා අතරේ සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ධර්මය දේශනා කිරීමට හැකි විසිපස් නමක් පමණ වැඩ සිටිනවා. බුද්ධ ධර්මය, පාලි මෙන්ම සංස්කෘත විෂයන් ඇතුළු අනෙක් සියලුම විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙනවා. සිංහල විෂය පමණයි සිංහල භාෂාවෙන් උගන්වනු ලබන්නේ.

මේ සාමණේරයන් වහන්සේලාට හොඳ අධ්‍යාපනයක් ලබා දී බහුශ්‍රැත, ධර්මධර, විනයධර තෙරුන් වහන්සේලා ලෙස ලොවට දායාද කිරීම අපගේ ඒකායන අරමුණ යි.

බුද්ධ ශාසනය මතු පරපුරට දායාද කිරීමට හැකි ‌තෙරුන් වහන්සේලා මෙම පිරිවෙනෙන් බිහි කිරීම සඳහායි සියලු දේ සිදු කරන්නේ. එනිසා උන්වහන්සේලා රැක ගැනීම වැඩිහිටි අපගේ අද දවසේ යුතුකම වගේම වගකීම ද වෙනවා.

ගිහිගෙදර සිටින සම වයසේ දරුවකුට වඩා මේ සාමණේරයන් වහන්සේට බොහෝ වගකීම් පැවරී තිබෙනවා. උන්වහන්සේලා නිතර ම කාලසටහනකට වැඩ කළ යුතු වෙනවා. හිමිදිරියේ අවදි ව රාත්‍රිය වනතුරු කළයුතු බොහෝ දේ තිබෙනවා. ගිහි දරුවකුට වඩා මේ පොඩි හාමුදුරුවෝ වත්පිළිවෙත් කරනවා. තමන්ගේ සියලු වැඩ කටයුතු උන්වහන්සේ විසින් ම කර ගන්න ඕන.

ඒ අතර විහාරස්ථානය පිරිසුදු කිරීම, වැසිකිළි කැසිකිළි පිරිසුදු කිරීම, ගමේ පිරිසගේ පාංශකූලයට, දානයට, බණට, පිරිතට වැඩම කළ යුතු වෙනවා. බෝධි පූජා, ධර්ම දේශනා, සෙත් පිරිත් කීම ආදී කටයුතුවලටත් සහභාගි වෙන අවස්ථා තිබෙනවා. ඒ වයසේ ගිහි දරුවකුට තිබෙන්නේ අම්මා උයා දෙන කෑම කාලා අධ්‍යාපන කටයුතු කරන්න. නමුත් මේ සාමණේරයන් වහන්සේට කෙතෙකුත් පැවරුණ කටයුතු තිබෙනවා ද කියා ඔබට වැටහෙනවා ඇති. එනිසා යි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි මේ පොඩි හාමුදුරුවෝ රැක ගැනීම වගේම ධර්ම අධ්‍යාපනය තුළිනුත් ඉදිරියට ගෙන යාම කළ යුතු වන්නේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයත් සමඟ බැලුවිට අද වන විට ඉතාම සුළු පිරිස යි සාමණේරයන් වහන්සේලා ලෙස වැඩ සිටින්නේ. එනිසා බෞද්ධ අප සියලු දෙනා එකතුව උන්වහන්සේ රැක ගන්න ඕන. ඔබගේ දරුවාට මතු අනාගතයේ බුද්ධ ශාසනය ඉතිරිවෙනවා දැකීමට කැමැති නම් අද වැඩ සිටින මේ පොඩි හාමුදුරුවන් වහන්සේ රැක ගන්න. ඒ වගකීම කරට ගත් බෞද්ධ පිරිස් අද සමාජයේ නැතුවා ම නොවේ. නම් වශයෙන් කතා නොකළත් බොහෝ පිරිසක් මේ සාමණේරයන් වහන්සේ කායික මෙන්ම මානසිකව සුවසේ වැඩ සිටීමට අවශ්‍ය උපකාර කිරීම අපට අස්වැසිල්ලක් වී තිබෙනවා.

මේ වනවිට අපේ මේ පොඩි හාමුදුරුවෝ භාවිත කරන්නේ කුඩා පුස්තකාලයක්. ඒ වගේම එක කුටියක හතර නමක් පමණ වැඩ සිටිනවා. ඒ සඳහා උදෙසා කුටි සංකීර්ණයක් වගේම සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීම මේ වනවිට අභියෝගයක් වී තිබෙනවා.

68 නමක් එකවර දානය ගත යුතු වුවත් ඒ සඳහා අවශ්‍ය දාන ශාලා පහසුකම් අපට නැහැ. මේ සාමණේරයන් වහන්සේට බුද්ධ වන්දනා හෝ සෑ රදුන් වන්දනාව කිරීමට බුදු කුටියක් හෝ සෑරදුන් වහන්සේ නමක් මේ ස්ථානයේ නැහැ. එසේ ඉදිකර ගැනීම මගේ අපේක්ෂාව යි.

මෙහි වැඩ සිටින බෝධින් වහන්සේ ඉතා පැරැණියි. බෝධින් වහන්සේ වටා තිබෙන ප්‍රාකාරය ගරා වැටෙමින් තිබෙන්නේ. මේ සියල්ල ටික ටික හෝ ඉදිකර ගත යුතු වෙනවා. එවිට ඒ සුන්දර පරිසරය මේ සාමණේරයන් වහන්සේලාට මානසික සුවයක් ගෙනදේවි.

පායන කාලයට මේ ස්ථානයට ජලය හිඟ වෙනවා. ප්‍රමාණවත් ආකාරයට ජල පහසුකම් රැඳවිය හැකි පරිදි අවශ්‍ය කටයුතු කිරීමට නළ ළිඳක් හෝ ඉදිකර ගැනීම මූලික අවශ්‍යතාවක් වී තිබෙනවා.

මෙම පිරිවෙන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රජයේ අනුමත පිරිවෙනක්. පසුගිය දිනෙක රජයේ පිරිවෙන් මණ්ඩලය විසින් කරුණු සොයා බලා මූලික පිරිවෙනක් ලෙස තිබූ සෝමානන්ද පිරිවෙන මේ වනවිට මහා පිරිවෙනක් දක්වා උසස් කර තිබෙනවා. එය අප හැමගේම සතුටට කරුණක්.

අපි මහා පිරි‌වෙනක් ලෙස මේ වනවිට කටයුතු ආරම්භ කර තිබෙනවා. කුඩා කාලයේ දී ම උන්වහන්සේලාගේ ආකල්ප, දැනුම, කුසලතා ආදිය වැඩිවීම තුළින් දේශීය මෙන්ම විදේශියවත් බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට පහසුවක් වෙනවා. නිර්මල බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම මගේ ඒකායන අරමුණ යි. එය ශාක්ෂාත් කර ගැනීමටයි මම දිවා රෑ වෙහෙසෙන්නේ.

පොඩි හාමුදුරුවන් වහන්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන නිසා ගණිතය, පාළි, සංස්කෘත ආදී විෂයයන් පිරිවෙන් කාලපරිච්ඡේදයේ උගන්වා අවසන් කිරීමට අපහසු යි. එනිසා අපි අතිරේක ව ගුරුවරු ගෙන්වා ගාස්තු ගෙවා අධ්‍යාපනය ලබා දෙනවා. පිරිවෙන් ගුරුවරුන්ට රජයෙන් වැටුප් ගෙවන අතර, අමතරව ඉගෙනීම් සිදු කරන ගුරුවරුන්ට අප විසින් ගාස්තු ගෙවීමක් කරනවා.

මේ සියලු කාර්යයන් සිදු කිරීමට අපට විශාල මුදලක් වැය වෙනවා. එනිසාම මේ වනවිට කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඕනෑම කෙනකුට එක් නමකගේ හෝ ඊට වැඩි පිරිසක් ලබා ගෙන අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශක්තියක් විය හැකියි. ඒක අපගේ පිරිවෙන පවත්වා ගෙන යාමට විශාල ශක්තියක්.

දැනට තිබෙන සියලුම බාධා ජය ගෙන ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙන දිනෙන් දින දියුණු වී, ගෞතම බුදු සසුන බබළවන සඟ පිරිසක් මේ පිරිවෙනෙන් බිහි වේවා’යි මගේ පැතුම යි.