Print this Article


අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ ලෝ පියාණන් වඳීම් සෑමදා

අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ ලෝ පියාණන් වඳීම් සෑමදා

ලෝක සත්ත්වයාට විමුක්තිය උදා වූ දවස වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. ඒ අන් මොනම හේතුවක් නිසාවත් නොව ගෞතම ලොවුතුරා බුදුන් වහන්සේගේ ලොව පහළ වීම නිසා යි. බුදුන් වහන්සේ ලොව පහළ වන්නේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දීය. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පහළ වීමටත් අවුරුදු ගණනකට පෙරාතුව ය.

විශේෂයෙන් ම එදා භාරතීය සමාජය පුරුදුව සිටියේ කුලය, ධනය, බලය හා නිලය ආදියට මුල්තැන දෙමින් ජීවත් වීමට ය.

බුදුන් වහන්සේ ලොව පහළ වී දේශනා කළේ මිනිසා තවත් මිනිසකුට ගෞරව දැක්වීමේ දී සැලකිය යුත්තේ කුලයට, ධනයට, බලයට හෝ නිලයට නොව ඔහු තුළ පවතින මානව හිතවාදී ආධ්‍යාත්මික ගුණයන්ට බවයි.

එම නිසා ගුණය මුල් කොටගත්-පෙරටු කොටගත්, එසේම මානව ගුණයට සත්කාර, සම්මාන, ගෞරව දක්වන ගුණවත් සමාජයක් ලෝක වාසීන්ට පළමු වරට හඳුන්වා දුන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.

මානව ඉතිහාසය අරුත්බර නව මාවතකට ප්‍රවේශ වීම සිදු වූයේ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.

ඉන් පසුව මිනිසා මිනිසාටත්, සත්ත්ව ලෝකයාටත්, සොබාදහමටත් පරිසරයටත් අසීමිතව ආදරය කරමින් ඉදිරියට තැබූ පියවර අතිශයින් ම ආනන්දජනක ය.

අවිද්‍යාවෙන් විද්‍යාව කරා ද අගතියෙන් සුගතියට ද අඳුරෙන් ආලෝකයට ද, ගමන් කිරීමට අවශ්‍ය සදූපදේශයන් සහිත උත්තම ගණයේ දහම දේශනා කළ ශාස්තෘවරයා ලෙස බුදුන් වහන්සේට ගෞරව දක්වමින් නොයෙක් කලා කෘති බිහිවී ඇත. ඒ අතරින් ගීත ක්ෂේත්‍රය ද ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකිය හැකි ය.

ගීත රචකයන් මෙන්ම ගායක ගායිකාවන් එයින් බලාපොරොත්තු වූයේ තම ශාස්තෘවරයා පිළිබඳ අසීමිත ශ්‍රද්ධාවක් ඇති කරලීමයි.

ප්‍රේමනාත් ජයතිලක විසින් පබැඳුණු, සරත් දසනායකයන් විසින් සංගීතවත් කරන ලද, සුජාතා අත්තනායක විසින් ගැයෙන මෙම ගීතය ද එයට කදිම නිදසුනකි.

සෑම බුද්ධ ශ්‍රාවකයකු ම තම හද මඬළ ගන්ධ කුටියක් කොට එහි තම ශාස්තෘවරයා වැඩ සිටුවා, එහි පුදසුනක් මත තම භක්ති ප්‍රේමය පූජා කරන්නට අසීමිත කැමැත්තක් දක්වයි. තුන් ලෝකයට නායක වූ බුදුන් වහන්සේ වෙනුවෙන් සිදු කරන එවැනි වන්දනාවක් මෙහි අන්තර්ගත වී ඇත.

ශ්‍රී සම්බුද්ධ රාජා වඳීම්
මා සෑසි තිලෝනා වඳීම්
හද පුදසුන් සදා- එහි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වඳිම්

සැදැහැවතුන් තුළ ජනිත වී ඇති ශ්‍රද්ධාව මිශ්‍ර ගෞරවය කොපමණ ද පවසන්නේ නම් බුදුන් වහන්සේ අමතන්නේ ‘සම්බුද්ධ රාජා’ යන අභිමානවත් වූ සම්මානනීය වදනකිනි. නව අරහාදී බුදු ගුණවලින් පුරිසදම්මසාරථී ගුණය බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. බුදුගුණ අලංකාර කතුවරයා ද එය මෙසේ සඳහන් කළේ ය.

බඹ සුර යකුන් තද
දමනය කර තමන් ලද
සෙත් දී මුනිඳු සඳ
පුරිසදම්සාරථී නම් ලද

බුදුන් වහන්සේ පුරුෂයන් දමනය කිරීමේ අසහාය රියැදුරෙකි. විශේෂයෙන් ම උන්වහන්සේ විශ්වාස කළ දර්ශනයක් වූයේ ඕනෑම බිහිසුණු චරිතයක් තුළ සත්පුරුෂයකු සැඟවී සිටින බව ය.

එම සත්පුරුෂ අහිංසකයා මෙලොව එළිය දකින්නේ මවුකුසින් බිහිවන අවස්ථාවේ ම ය. එසේ වුවද මෙම කර්කෂ තිත්ත ලෝකයේ එවැනි අහිංසක සත්පුරුෂයෙක් වටකරගෙන, ඒ මත බිහිසුණු චරිත නිර්මාණය කිරීම අතිශයින් ම ඛේදජනක ය.

මෙම තිත්ත සමාජය විසින් බලහත්කාරයෙන් අහිංසක චරිත මත නිර්මාණය කරන ලද බිහිසුණු චරිත ඉවත් කිරීම බුදුන් වහන්සේගේ එක් කාර්යභාරයක් ලෙස සලකා අංගුලිමාල, පටාචාරා, රජ්ජුමාලා, ආලවක හා සච්චක වැනි චරිත සුවපත් කළ අයුරු කෙතරම් නම් සුන්දර ද? ආස්වාද ජනක ද?

අංගුලීමාල නාලාගිරී
ලෝසතුන් රාග පාපෙන් පිරී
අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳීම් සෑමදා

ලෝකයෙහි ගින්දර සෑම විටම චන්ඩ ය; පරුෂ ය; බිහිසුණු ය. එසේ වුව ද ගින්දර සෑම විටම සීතල ජලයට පරාජය.

සීතල ජලයත් සමග සටන් කොට බිහිසුණු ගින්දර ජය ගන්නේ නැත. එසේම අඳුර වරෙක තිත්ත ය; බියකරු ය. එහෙත් ආලෝකය ඉදිරියේ අඳුර පරාද වේ.

අඳුරු කුටියක පහනක් දැල්වූ විට එම අඳුර පහන් ආලෝකයෙහි කෙළවර දක්වා පැන දුවයි. ආලෝකයත් සමඟ සටන් කොට අඳුර ජය ගන්නේ ද නැත.

හැමවිටම අඳුර ගමන් කළේ ආලෝකයට පසුපසිනි. මෙය ලෝකයේ සදාතනික ධර්මතාවකි. එයට අනුව සිතක පැළවන වෛරය, ක්‍රෝධය, පළිගැනීම, ඊර්ෂ්‍යාව ආදි චෛතසිකයන්ගේ බිහිසුණු බව කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව වැනි උත්තරීතර මානව ගුණ ධර්මයන්ගෙන් තෙමා නිවා දැමිය හැකි ය.

බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමෙන් මිනිසාට ආරාධනා කරන්නේ මානව හදවත්වලින් වෛරයේ ගිනි දැල් නිවා දැමීමට කරුණාව මෛත්‍රියට අවස්ථාව සලසා දෙන ලෙසයි.

බුද්ධ චරිතය තුළ ද එවැනි අධර්මිෂ්ට පවුකාර චරිත බුදු කරුණාවේ අනුහසින් සුවපත් වී නිවී සැනසී ගිය අයුරු අතිශයින් ම අපූර්වජනකය.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කොට පස් මරුන් පරදවා ලොව්තුරා බුදුබව ලබන්නේ සසර දුක් විඳීන සත්ත්වයා එම සංසාර දුකෙන් මුදවා ගැනීමට ය. එකී සංසාර ගමනේ උන්වහන්සේ විඳී දුක් වේදනා ගැහැට අපමණ ය.

ඒ සියල්ලම විඳ දරා ගත්තේ දුක් විඳීන සත්ත්වයා සසරෙන් මුදවා ගැනීමේ උතුම් සිතිවිල්ලෙනි.

බුද්ධ ශ්‍රාවකයා එකී තම ශාස්තෘවරයා අසීමිත ගෞරවයෙන් නමස්කාර කරන අයුරු කාගේ නම් සිත් පහන් නොකරන්නේ ද? කවියා එහිදී භාවිත සුමිහිරි පද වැලත්, පද සංඝටනාවත් කොතරම් නම් ශ්‍රව්‍ය ගෝචර ද? අර්ථාන්විත ද? චිත්ත සන්තානයෙහි හික්මීමක් ඇති කරන්නේ ද?

සිව් සැකි කප් කෙළක් දුක දරා
සෙව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා
දම් රදාණන් වඳීම් සිත් පුරා

මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදූ සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳීම් සෑමදා

ශාක්‍යසිංහ, තුන් ලෝකයට නායක වූ සියලු සත්වයන්ට ශාන්තිය දානය කළා වූ තම ශාස්තෘවරයාණන් පිළිබඳ ස්වකීය පාඨකයින් තුළ සද්ධා ගෞරවය ඇති කරවීමට කවියා ගත් උත්සාහය ප්‍රශස්ත ය.

මෙම ගීත ගායනාව ඇසෙන විට ගිනිගත් සිත් පහන් වීමක් ඇති කරවීමට සමත් වී ඇත. ශික්ෂණයක්, තැන්පත් බවක් ඇති කොට ශාන්ත සුන්දර තැන්පත් මිහිරි සාධු සම්මත ලෝකයක් නිර්මාණය කිරීමට කෙතරම් නම් මෙම පදවැල දායක වන්නේ ද?