Print this Article


සම්බුදු තෙමඟුල සැමරෙන අසිරිමත් වෙසක් පෝදා

සම්බුදු තෙමඟුල සැමරෙන අසිරිමත් වෙසක් පෝදා

සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩමවීම, තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑයේ ඉදි කිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය.

බෝසත් කුමරකු  මෙලොවට බිහිවෙයි

අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවේ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතිනි. එතැන් පටන් දස පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසුව තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව් රජ ව උපන්හ.

කල්යත්ම එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් ආරාධනා කළහ. මහ බෝසතාණන් වහන්සේ ඔවුනට එක් වරම ප්‍රතිඥාවක් නොදී නිහඬව සිට ඒ හා අදාළ වූ කරුණු පසක් සම්පූර්ණව ඇත් දැයි, දිවැස යොමා බැලූහ.

ඒ අනුව ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නොවන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් සම්පූර්ණ ව ඇති බව දුටුවහ.

දෙව් බඹ පිරිස අමතා ‘කල් නොයවා ම මිනිස් ලොව උපදිමි’ යි, වදාළහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්ධෝදන මහ රජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවියගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සසර දුක දැනීම

කෙමෙන් ළදරු විය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුබ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය.

සියලු පස්කම් සුවය එහි පැවතිය ද කල්යත් ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසිනව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් හා පැවිදිරුවක් යන සතර පෙර නිමිති නෙත ගැටුණි.

වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින් ම බලපෑවේ ය.

ඉක්බිතිව මහාභින්ෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්

එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක් දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙන බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද සිටියහ.

මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි. කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැඟී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිව් කුලයන්හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශුචි පර්වතයක් මත්තෙහි අශුචියෙහි නොගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පහ පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැක යැ” යි, වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝදා උදෑසන අජපාල නුග රුක මුල පෙරදිගට මුහුණලා වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව

එදා සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය කලක සිට සිරිත් පරිදි පවත්වාගෙන එන විශේෂ පූජාවක් සිදු කරන දිනයයි. එනම් අජපාල නුග රුකට අධිගෘහිත දෙවියන්ට දිය නුමුසු කිරිබත පූජා කිරීමයි. බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ සුජාතා සිටු දේවිය ගේ දේවායතනය වූ මෙම රුක මුල ය. උන්වහන්සේ එහි සිටිනු දැක බලවත් සොම්නසට පත් සිටු දේවිය “රුක් දෙවියන් අද බිමට බැස ඇතැ’යි සිතා කිරිබත පූජා කළා ය.

එම කිරිපිඬු පූජාව සහිත රන්තලිය රැගෙන බෝසතාණන් වහන්සේ වැඩම කළේ නේරංජනා ගං තෙරට ය. එහි දිය නා කිරිබත පිඬු හතළිස් නවයක් කොට වැළඳූ බෝසතාණන් වහන්සේට එම ආහාරය ඉදිරියට ගත කිරීමට ඇති දින හතළිස් නවයකට ප්‍රමාණවත් විය.

කිරිපිඬු වළඳා රන්තලිය නේරංජනා නදියට දමා “ඉඳින් අද මා බුදු වන්නෙම් නම් මේ රන්තලිය උඩු ගං බලා යේවා” යි, අදිටන් කළහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු උන්වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත බව පසක් කළහ.

උතුම් සම්මා සම්බුද්ධත්වය

ඉක්බිති බෝසතාණන් වහන්සේ ගංතෙර පිහිටි විවිධ පුෂ්පයන්ගෙන් සමලංකෘත වූ සල් ගස් පන්තීන්ගෙන් යුතු භද්‍ර වනයට වැඩමවා දිවා විහරණය කළහ. සවස් භාගයෙහි භද්‍ර වනයෙන් නික්ම බෝමැඩ කරා දිවෙන ගමන් මාර්ගයට පිවිසුණහ.

ඉදිරියෙන් පැමිණි සොත්ථිය නම් බමුණා උන්වහන්සේ දැක පැහැදී තමා ගෙන ආ කුසතණවලින් අට මිටක් පිදීය. එය පිළිගෙන ඇසතු බෝ රුක වෙත එළඹි උන්වහන්සේ එහි නැඟෙනහිර දිසාවෙහි කුස තණ අට මිට අතුරා අසුනක් පනවා වැඩ සිටියහ.

ඉක්බිතිව මෙසේ චතුරංග සමන්නාගත වීර්යය ඇති කර ගත්හ. “මාගේ ශරීරයේ ඇට, සම්, නහර ගැල වී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැඟී නො සිටිමි.”

මෙම අධිෂ්ඨානත් සමගම බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. මේ මොහොතේ හිරු ධරමාන කල්හිම එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට විජයශ්‍රීය ලැබූහ. වෙසක් පුන් පොහෝදා අරුණු නැඟෙන කල්හි ම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පිරූ පාරමිතා බලය මුදුන්පත් කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සියලු කෙලෙසුන් නැසූ බෝසතාණන් වහන්සේ සර්වඥතා ඤාණය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

පරිනිර්වාණය

බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූ විය සපුරා සිටියහ.

පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජ කෙනකු ගේ ශරීරයට මෙන් උපහාර දැක්විය යුතු බව පෙර වදාරා තිබිණ. එම ක්‍රමය අනුවම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන් ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.