Print this Article


හෙළ දීපය ඒකාලෝක කරන දීපය: බුදු සිරිපා පහස ලද නාගදීපය

හෙළ දීපය ඒකාලෝක කරන දීපය:

බුදු සිරිපා පහස ලද නාගදීපය

ලක්දිව නාගදීපයට කැටිව යාමට සුදුසු කෙනකු පරීක්ෂා කරන අවස්ථාවේ දී ජේතවන වෙහෙර වාසල් දොරකඩ සමීපයෙහි පිහිටි කිරිපල් රුක අරක් ගත් සමිද්ධි සුමන නමැති දිව්‍ය පුත්‍රයා දැක නාගදීප ගමනට ඔහුට ආරාධනා කර ඇත. ඒ ආරාධනාවට හේතු වූයේ එම දිව්‍ය පුත්‍රයා ඊට පෙර ජන්මයක දී මණිනාග දිවයිනෙහි (නාගදීපයෙහි) මනුෂ්‍යයකු ව ඉපිද වාසය කිරීමයි. එහි දී පසේ බුදුරජාණන් වහන්සේ නමකට (ගන්ධමානද පර්වතයෙහි වාසය කළ) කරන ලද පූජාවක කුසලානිසංස බලයෙන් ඒ මනුෂ්‍ය ආත්මයෙන් චුතවීමෙන් පසුව දෙව්ලොව ඉපිද පසුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ඉහත විස්තර කළ කිරිපලු ගසක දිව්‍ය පුත්‍රයා ව ඉපදී ඇත.

පැරැණි ලක්දිව අනුරාධපුර සමයේ දී රජරට උතුරු කොටස හඳුන්වනු ලැබුවේ ‘උත්තර පස්ස’ හෙවත් උතුර්පස යනුවෙනි. නාගදීප යන පුරාණ නම වෙනුවට එය යෙදී ඇති බව සැලකේ. ‘සීහල දීපෙ උත්තර පස්සෙ නාග විහාරො නාම ඒකං විහාරං අහෝසි“ යනුවෙන් රසවාහිනියේ දැක්වෙන්නේ ද නාගදීපය යි. එදා තථාගතයන් වහන්සේ නාගදීපයට වැඩම කොට ධර්ම දේශනා කළ ස්ථානය කන්දරෝදෙයි නමින් වර්තමානයේ දී හඳුන්වනු ලැබේ.

මේ ගම පැරැණි ලක්දිව ප්‍රසිද්ධ වූයේ කදුරුගොඩ නමිනි. කදුරුගොඩ විහාරයේ නටබුන් ප්‍රථමවරට සොයා ගන්නා ලද්දේ ආචාර්ය පොල් ඊ. පීරිස් මහතා විසිනි. පාචිනාරාමය නමින් හැඳින්වෙන්නේ ද කදුරුගොඩ විහාරය බව සැලකේ.

ඊ.ටී. කන්නන්ගර මහතා සඳහන් කර ඇති ආකාරයට නාගදීපයේ දී බුදුරජාණන් වහන්සේ වැඩහුන් මැණික් පුටුව තැන්පත් කර ඇත්තේ කදුරුගොඩ විහාරයේ ය.

ශාසන ඉතිහාසයේ බක් පුන් පොහෝ දිනය සුවිශේෂ වන්නේ ද තථාගතයන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම හේතුවෙනි.

වසරේ මාස දොළහ හා සම්බන්ධ විවිධ ශාසනික සිදුවීම් ඒ අදාළ මාසයේ පුර පසළොස්වක පොහෝ දින සිදු කිරීම පුරාණ කාලයේ සිට ම පැවත එන සිරිතකි.

වංස කථාවන්හි දැක්වෙන ආකාරයට බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් මස අමාවක පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේ දඹදිව ජේතවනාරාමයේ සිට ලක්දිව නාගදීපයට වැඩම කළේ චූළෝදර මහෝදර යන පිරිස් සහිත නාගයන්ගේ මිණි පළඟ හේතුකොට ගෙන ඇති වූ කලහය දැක නාගයන් කෙරෙහි අනුකම්පාවෙනි.

මහාවංසයේ නාගදීප ගමන වර්ණනාවෙහි ඒ බව විස්තර කර ඇත. එකල නාගදීපයේ විසූ ජනයා නාග ගෝත්‍රිකයෝ වූහ.

පැරැණි ලක්දිව දිව්‍ය නාගයන්ට වාසස්ථානය වූ නාග භවන තුනක් පිළිබඳ සද්ධර්මාලංකාරයේ විස්තර වේ. එනම් වඩුන්නාගල නාග භවන, මණිනාග දිවයින සහ කැලණි ගංගා නාග භවනය යි.

මේ අතුරෙන් වඩුන්නාගල නාග භවනයෙහි තිස් කෙළක් නාගයන්ට නායක වූ චූළෝදර නම් නාග රජු වාසය කළේ ය. මණිනාග දිවයිනෙහි වූ සමුද්‍රා නාග භවනයෙහි විසූ මහෝදර නම් නාග රාජයා ද තිස් කෙළක් නාගයන්ට නායක වූවෙකි.

විසි කෙළක් නාගයන්ට නායක වූ මණි අක්ඛික නම් නාග රජු කැලණි ගංගා නාග වනයෙහි වාසය කළේ ය.

මේ නාග රජුන් තිදෙනාම ඔවුනොවුන් හා සමගිව නො වෙනස්ව මුල් කාලයේ දී සිටියා පමණක් නොව, ඥාති සම්බන්ධතාවකින් ද බැඳී සිටියහ. පසු කලෙක මැණික් පුටුවක් සඳහා කලහය ඇතිවන තුරුම ඔවුන්ගේ ඒ ඥාති සම්බන්ධය ඉතා ප්‍රබල ව පැවතිණ.

නිදසුනක් ලෙස කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු මහෝදර රජුගේ මවගේ සොහොයුරකු වූ අතර ඔහු නාගදීපයට ගියේ තම බෑණාට උදව් කිරීම සඳහා ය.

නාගයන් යනු ඒ ඒ ගෝත්‍රවලට අයත් මනුෂ්‍යයන් කොටසක් ලෙස සැලකෙන්නේ ද එබැවිනි.

මහෝදර සහ චූළෝදර නා රජවරු දෙදෙනා ඥාතිත්වයෙන් මාමා සහ බෑණා වූහ. මහෝදර නා රජුට තිරච්ඡිකා නමින් නැඟණියක වූ බව වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි.

ඒ නාග මානවිකාව පර්වත වාසී නා රජුට පාවා දෙනු ලැබුවා ය. තිරච්ඡිකාගේ පියා ඇයට දායාද වශයෙන් උතුම් මිණි පලඟයක් පරිත්‍යාග කර ඇත.

මේ අනුව පැරැණි ලක්දිව නාග ගෝත්‍රිකයන් අතර ආවාහ විවාහ සිරිත් පැවති බවත්, විවාහයක දී දියණියට දායාද දීම මව්පියන්ගේ වගකීමක් වූ බවත් පැහැදිලි වේ. තිරච්ඡිකාගේ පුතා චූලෝදර නම් විය.

ඉහත දැක් වූ පරිදි ඔහු තිස් කෙළක් නාගයන්ට නායක ව වඩුන්නාගල නාග භවනයෙහි වාසය කළේ ය. සිය මවගේ අභාවයෙන් පසු ඉහත සඳහන් කළ මිණි පළඟ චූලෝදර නා රජුට අයත් වී ඇත.

මව්පියන්ගේ වස්තුවට දරුවන් උරුමක්කරුවන් වූ බව මින් ගම්‍ය වේ. මහෝදර චූළෝදර යන මාමා සහ බෑණා අතර කලහයක් ඇති වූයේ මේ මිණි පළඟ හේතු කරගෙන ය.

තථාගතයන් වහන්සේ මේ යුද්ධය දැක නාගයන් කෙරෙහි අනුකම්පාවෙන් එම කලහය සංසිඳවීම පිණිස නාගදීපයට වැඩම කොට ගුවනෙහි පලක් බැඳ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවැද වැඩ හුන් සේක.

එහි දී භාග්‍යවතුන් වහන්සේ ඒ නාග ගෝත්‍රිකයන්ගේ සිත, කය, වචනය යන මෙයින් ඒකීය භාවයට එළඹීමට සුදුසු එසේ ම සමගිය ඇති කිරීමේ අගය කියාපාන උතුම් ධර්ම දේශනාවක් පැවැත් වූ සේක.

එලෙස නා රජුන් සමඟි කරවා ගුවනින් පොළොවට වැඩ ඔවුන් විසින් පූජා කරන ලද මැණික් පුටුවෙහි වැඩ හිඳිමින් දිය ගොඩ දෙකෙහි වාසය කළ අසූ කෙළක් පමණ වූ නාගයන් තුන් සරණෙහි සහ ශීලයෙහි පිහිට වූ ආකාරය වංස කතාවේ දීර්ඝව විස්තර කර ඇත.

මේ නාග ගෝත්‍රිකයන් මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස අනුමාන කෙරෙන තොරතුරක් මහාවංසයේ සහ සද්ධර්මාලංකාරයේ දැක්වේ.

සද්ධර්මාලංකාරයේ දැක්වෙන ඒ විස්තරය සංක්ෂිප්තයෙන් මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සමඟ ලක්දිව නාගදීපයට කැටිව යාමට සුදුසු කෙනකු පරීක්ෂා කරන අවස්ථාවේ දී ජේතවන වෙහෙර වාසල් දොරකඩ සමීපයෙහි පිහිටි කිරිපල් රුක අරක් ගත් සමිද්ධි සුමන නමැති දිව්‍ය පුත්‍රයා දැක නාගදීප ගමනට ඔහුට ආරාධනා කර ඇත. ඒ ආරාධනාවට හේතු වූයේ එම දිව්‍ය පුත්‍රයා ඊට පෙර ජන්මයක දී මණිනාග දිවයිනෙහි (නාගදීපයෙහි) මනුෂ්‍යයකු ව ඉපිද වාසය කිරීමයි. එහි දී පසේ බුදුරජාණන් වහන්සේ නමකට (ගන්ධමානද පර්වතයෙහි වාසය කළ) කරන ලද පූජාවක කුසලානිසංස බලයෙන් ඒ මනුෂ්‍ය ආත්මයෙන් චුතවීමෙන් පසුව දෙව්ලොව ඉපිද පසුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ඉහත විස්තර කළ කිරිපලු ගසක දිව්‍ය පුත්‍රයා ව ඉපදී ඇත.

මේ දේවතාවා තමා වාසය කරන කිරිපලු ගස මුලින් උදුරා තථාගතයන් වහන්සේගේ සිරසට සෙවණ කොට අල්ලාගෙන කැටිව ගියේ නම්, පෙර ජාතියක දී ඔහු විසූ නාගදීපය ම ඔහුට වාසස්ථාන වන බවත්, දිව්‍ය නාග සහ මනුෂ්‍යයන්ට බොහේ කුසල් පිරෙන බවත් දැක භාග්‍යවතුන් වහන්සේ ඒ සමිද්ධි සුමන දිව්‍ය පුත්‍රයා සමඟ ම නාගදීපයට වැඩම කළ සේක.

බුදුරජාණන් වහන්සේ නාගදීපයේ දී නා රජුන් පූජා කළ මැණික් පුටුව පරිභෝජනය කළ නිසා එය පාරිභෝගික වස්තුවක් බවට පත් විය.

සමිද්ධි සුමන දේවතාවා තමන් වහන්සේගේ සිරසට ඔසවා ගෙන සිටි කිරිපලු රුක ද, පාරිභෝගික වස්තුවකි. තථාගතයන් වහන්සේ නා රජුන් විසින් තමන් වහන්සේට පූජා කරන ලද මැණික් පුටුව ද, කිරිපලු වෘක්ෂය පාරිභෝගික ධාතු කොට වඳින පුදන සේ ඔවුන්ට පවරා දී, ඔවුනොවුන් සමඟි කරවා, සමිද්ධි සුමන නම් දිව්‍ය පුත්‍රයා කිරිපලු රුක සමඟ එතැන ම පිහිටුවා නැවත දඹදිව ජේතවනාරාමයට ම පෙරළා වැඩි සේක.

මහාවංසයෙහි දැක්වෙන පරිදි තමන් වහන්සේ වැඩ හිඳ දහම් දෙසූ තන්හි ම ‘චේතිය’ යි ව්‍යවහාරයට පත් වූ රාජායතනය හෙවත් කිරිපලු රුක දෙව් මිනිසුන් විසින් කරනු ලබන මහාර්ඝ පූජාවට යෝග්‍ය විය.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පූජාර්හ වී කැප වූ ස්ථානයෙහි රෝපණය කරන ලද කිරිපලු ගස මුල් කරගෙන රාජායතන චෛත්‍යය යන නම ලැබෙන්නට ඇති බව සැලකේ. සද්ධර්මාලංකාරය ඒ පුවත විස්තර කරන්නේ “බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු මනුෂ්‍යයෝ එතැන මහත් දාගැබක් කළහ.

ඒ දැන් දක්වාත් රාජායතන චෛත්‍යයයි ප්‍රසිද්ධ විය” යනුවෙනි.

මෙලෙස තථාගතයන් වහන්සේගේ දෙවන ලංකා ගමනයේ දී නාගදීපයේ වැඩසිටීමත්, පාරිභෝගික වස්තූන් වශයෙන් යට කී දෑ පරිත්‍යාග කිරීමත් දහම් දෙසා නා රජුන් ඇතුළු පිරිස සරණ ශීලයෙහි පිහිටුවීමත් නිසා බෞද්ධයන් වන්දනා මාන කරන ලක්දිව සොළොස්මස්ථානයෙන් දෙවන ස්ථානය නාගදීපයට හිමි විය.

“මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඡනං”

යම් තැනෙක්හී මාතුළ භාගිනෙය්‍ය දෙදෙනා විසින් දෙන ලද උතුම් වූ මිණි පළඟෙහි වැඩ සිට බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලද සේක් ද, පාරිභෝගික ධාතුවක් වූ උත්කෘෂ්ට වූ මිණිපළඟ පිහිටුවා ස්ථාපිත කරන ලද චෛත්‍යය ලක්වැසි ජනතාව මස්තකයෙන් නමස්කාර කළේ,

“භගිනි සුතු මාතුලේහි දින්නේ

මණි පල්ලංක වරේ යහිං නිසින්නෝ

මුනි ධම්ම දෙසයි මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං” යන ගාථාවෙනි.

මේ ආකාරයට නාගදීපය උතුම් පූජනීය ස්ථානයක් බවට පත් වූයේ තථාගතයන් වහන්සේ ධරමාණ කාලයේ සිටම ය.

නාගදීපයේ ප්‍රධාන තොටුපොළ වූයේ ජම්බුකෝල පට්ටනම හෙවත් දඹකොළ පටුනයි. පුරාණ ලක්දිව සහ භාරතය අතර ජාත්‍යන්තර සම්බන්ධතාවල දී මේ වරාය ඉතාම වැදගත් විය. දේවානම්පියතිස්ස රජතුªමා දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත ප්‍රථම දූත පිරිස යැව්වේ ද රජතුමාගේ දෙවැනි අභිෂේකය සඳහා අරිට්ඨ ඇතුළු දූත පිරිස නැවත ලක්දිවට පැමිණියේ ද, සඟමිත් මහ තෙරණියන් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවූයේ ද නාගදීපයේ වූ දඹකොළ පටුන වරායෙනි. ශ්‍රී මහා බෝධි ශාඛාවේ හටගත් අෂ්ටඵල රුහවලින් ප්‍රථම ඵලය රෝපණය කළේ ද නාගදීපයේ දඹකොළපටුනේ ය.

නාගදීපය අනුරාධපුරයේ රජ කළ පාලකයන් යටතේ පාලනය වූ ප්‍රදේශයකි. වල්ලිපුරම් රන් සන්නසෙහි දැක්වෙන ආකාරයට වසභ රාජ්‍ය සමයේ දී නාගදීපය පාලනය කරන ලද්දේ ඉසිගිර නමැති ඇමතිවරයා විසිනි.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ නයිනතිව් පුවරු ලිපිය අනුව පැහැදිලි වන්නේ දොළොස්වැනි සියවසේ දී ත් මුළු මහත් නාගදීපය ම සිංහල රාජ්‍යයට යටත්ව පැවති බවයි. පසු කලෙක ආර්ය චක්‍රවර්තීන් විසින් යාපනය අල්ලා ගනු ලැබුව ද සවන පරාක්‍රමබාහු රජතුමා (1411 - 66) සපුමල් කුමරා යවා නැවත යාපා පටුන ලබා ගෙන මුළු ලක්දිව ම එක්සේසත් කළේ ය.

බක් මස පොහොය දිනයක දී බුදු සිරිපා පහස ලද නාගදීපය පිළිබඳ ව විස්තර කළ යුතු තවත් ශාසනික කරුණු රාශියක් තිබුණ ද, ඒ සියල්ල ම මෙහි සඳහන් කිරීමට හැකියාවක් නොමැත. එබැවින් පපඤ්ච සුදනී නම් වූ මජ්ක්‍ධිම නිකායට්ඨ කථාව ආශ්‍රයෙන් ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් සඳහන් කරන ලද ආකාරයට නාගදීපය හා සම්බන්ධ වන සර්වඥ ධාතු පරිනිබ්බාණය විස්තරයෙන් මේ ලිපිය අවසන් කරනු ලැබේ.

ධාතු පරිනිබ්බාණය යනුවෙන් අදහස් කරන්නේ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලෝකයෙන් සදහටම අතුරුදහන් වී යෑමයි. බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වන අවස්ථාවේ දී ලක්දිව තැන්පත්ව ඇති සියලුම ධාතූන් වහන්සේ අනුරාධපුරයේ රුවන්වැලිසෑය වෙත වැඩම කරති. ඉක්බිතිව මහාථූපයේ සිට ධාතූන් වහන්සේ වැඩම කරන්නේ නාගදීපයේ රාජායතනය චේතියට ය. නාගදීපයේ රාජායතන චේතියේ සිට ධාතූන් වහන්සේ මහා බෝධිපල්ලංකයට වැඩම කරනු ලැබේ. නාග, දේව, බ්‍රහ්ම ලෝකවල ධාතුන් වහන්සේද මේ අවස්ථාවේ දී ම මහා බෝධි පල්ලංකයට රැස් වී රන් කඳක් මෙන් එකට ඝන වී සවනක් රැස් විහිදුවති. ඒ රශ්මීහු දස සහස්‍ර ලෝක ධාතුව පුරා සිටිත්. ධාතුන් කෙරෙන් තේජෝ ධාතුව නැගිට බ්‍රහ්ම ලෝකය දක්වා ඉහළට යයි. අබ ඇටයක් පමණ වූ හෝ ධාතුවක් ඉතිරි ව තිබෙන තුරු එකම ජාලාවක් වෙයි. සියලුම ධාතු අවසන් වූවාට පසු නිවී යයි. (පැරැණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, 309 - 10 පිටු)

බක්මස අමාවක පොහෝ දිනයක දී බුදු සිරිපා පහස ලද නාගදීපය ඉහත සඳහන් කළ විස්තර අනුව බෞද්ධයන්ගේ අති පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත. ලක්දිවට ලැබී ඇති පරිභෝග ධාතු අතරින් ඉතාම උසස් තැනක් හිමිව ඇත්තේ පාත්‍ර ධාතුවට සහ ශ්‍රී මහා බෝධියටයි. ඊළඟට නාගදීපයේ රාජායතන වෘක්ෂය ද මැණික් පුටුව ද මෙම පරිභෝග ධාතු ගණයට ඇතුළත් වේ. එපමණක් ද නොවේ. සොළොස්මස්ථානයන්ගෙන් දෙවැනි ස්ථානය හිමි වන්නේ ද නාගදීපයටයි. ධාතු පරිනිබ්බාණයේ දී මහා බෝධි පල්ලංකයට වැඩම කිරීමට පෙර සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරන්නේ ද නාගදීපයේ රාජායතන චේතියටයි. මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පූජනීය නාගදීපය පැරැණි ලක්දිව බෞද්ධයන් ඉතා ගෞරවාදරයෙන් වැඳ පුදා ගත් ස්ථානයක් විය.