Print this Article


ශෝකය උදුරා දමන්න සැනසුම උදාවෙයි

උබ්බරී ප්‍රේත වස්තුව:

ශෝකය උදුරා දමන්න සැනසුම උදාවෙයි

තම ස්වාමියා මළ ශෝකයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි උපාසිකාවක් සැවැත්නුවර විසුවා ය. ඇයගේ ශෝකය පහ කිරීමට බුදුරජාණන් වහන්සේ ඇයගේ නිවසට වැඩම කොට සෝවාන්වීමේ වාසනාවක් ඇති බව දැක දහම් දෙසා ශෝකය දුරු කොට සෝවාන් පෙළෙහි පිහිටුවා වදාළ සේක.

යටගිය දවස පඤ්චාල රට කපිල නුවර චූලනී බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් දැහැමි ව රට පාලනය කළේ ය. ඒ රජතෙම සන්නාලි වෙස් ගෙන රටේ තොරතුරු සෙවීමට හැසිරුණේ ය.

මෙසේ ගමින් ගමට යන රජතුමා දිළිඳු ස්ත්‍රියකගේ නිවසකට ගියේය. ඒ නිවසෙහි රූමත් දියණියක් වූවා ය. එම දියණිය විවාහ කර ගැනීමට තමා කැමැති බව ප්‍රකාශ කළේ ය. මහලු ස්ත්‍රිය ද තම දියණිය විවාහකර දීමට කැමති වූවා ය.

රජතුමා රජ මාලිගාවට ගොස් රාජාභරණයෙන් සැරසී සේනාව ද කැටුව විත් ඒ තරුණ ස්ත්‍රිය විවාහ කරගෙන අග්‍ර මහේෂිකා තනතුරෙහි තැබීය. ඇයට උබ්බරී යැයි නම් තැබී ය. කාලයාගේ ඇවෑමෙන් රජතුමා මිය ගියේ ය. දේහය ආදාහනය කොට භෂ්මාවශේෂ තැන්පත් කර සොහොන් ගෘහයක් සෑදවීය. උබ්බරි අග්‍ර මහේෂිකාව ඒ සොහොනට ගොස් දිවා රෑ ශෝක වූවා ය.

එ සමයෙහි අප මහ බෝසතාණන් වහන්සේ තාපස පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන අභිඥා ලබා හිමවත සමීපයෙහි වනයෙහි විසූහ. ශෝකයෙන් හඬා වැළපෙන උබ්බරී අග මෙහෙසිය වෙත පැමිණ ශෝකවීමට හේතු විමසූහ. තම ස්වාමියා මළ ශෝකයෙන් අඬමියි, වැළපෙමියි කී කල තාපසතුමා ඇයට දහම් දෙසූහ.

බ්‍රහ්මදත්ත නමින් මේ රජතුමා ම ආත්ම දහසක්, මේ නුවර රජකම් කළ බවත්, ඒ සෑම වාරයක දී ම තී ඒ රජවරුන්ගේ අග බිසව ම වූ බවත් ප්‍රකාශ කළහ. උබ්බරී දහම් අසා ශෝකය පහකොට සසර කළකිරී පැවිදි වී භාවනා කොට බඹලොව ඉපදුනේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.