Print this Article


ඇද ගැසුණු චරිතය සමාජයට ම බරක්

ඇද ගැසුණු චරිතය සමාජයට ම බරක්

අවංකබව, උජු -ඍජු ගුණය. සූජූ - වඩාත් අවංක වීම යන ලෙස කරණීයමෙත්ත සූත්‍රයේ දී දක්වා තිබේ.

කුමක් ද මේ අවංක හා වංක යන වචන දෙකෙහි අර්ථය. වංක කියලා කියන්නේ වක, ඇද ගැසුණු කියන අර්ථය. වක නොවු, ඇද නොගැසුණ යන අර්ථය ලබා දෙන්නේ අවංක යන වචනය තුළින්. න - වංක , අවංක, එය ගුණයක් ලෙස ගත් විට උජුපටිපන්න නැතහොත් ඍජු ගුණය ලෙස දක්වයි.

අවංක නැති, අවංක බව හඟවන බොහෝ අය අපට හමුවෙති. මෙවන් කථාවස්තුවක් අපේ බණ පොතෙහි වේ. කූට තාපස ජාතකය එම කතාවයි. මොහු තාපසයෙකි. පිටිසර ගමක පන්සලක් තනාගෙන බණ භාවනා කරන බව පෙන්වයි. මොහු ගුණවතකු යැයි සිතා එක්තරා දායක මහත්මයෙක් මොහුට ඇප උපස්ථාන කරයි. මෙම දායක මහතා දිනක් මෙසේ කල්පනා කරයි. තමා සන්තක විශාල ධනයක් වෙයි. තමා ගේ ගෙය බිඳ සොරුන් එම ධනය ගනිතැයි බියක් හට ගැනිණි.තාපසයා මිල මුදලට ආශා ඇත්තෙක් නොවෙයි. තාපසාරාමය තව කෙනකුගේ සැකයට භාජනය නොවෙයි. ඒ නිසා එම විශාල ධනය තාපසාරාමයෙහි වළලා තාපසයාට ද ඒ බව දැන්වීය. තාපසයාත් ඊට අකැමැති නොවී ය. තාපසයා සෑම දිනකම රාත්‍රියෙහි මේ මුදල් පසුම්බිය සැඟ වූ තැනින් ගෙන ඒ මුදල් අතපත ගා යළිත් තබයි. මෙසේ කලක් ගතවිණි. දිනක් තාපසයා දායකයාගේ නිවසට පැමිණෙයි. පැමිණ දායක මහතාට කියන්නේ තමා පන්සල අතහැර යන බවයි. දායකයාත් හඬා දොඩා වැළපී ඔහුට සමු දෙයි.

තාපසයා එතැනින් නික්ම ටික වේලාවකින් යළිත් පැමිණෙයි.

ඔහු කියනුයේ අසපුවේ හෙවිලි කළ තණ කොළ ගසක් තම ජටාවෙහි රැඳී තිබුණ බවත් , එය තමන්ට අයත් නොවන බවත්, එය රැගෙන ගියොත් තමා සොරකමට හසුවන නිසා එය ගෙනවිත් දමන්නට තමා පැමිණි බවයි. එසේ කියා එම තණ කොළ ගස දමා ඔහු යළිත් යයි.දායකයාට තාපසයා සැක නැත. ඔහු හිතන්නේ තම ධනය නිරුපද්‍රිතව ඇති බවයි. එහෙත් පසුව තාපසාරාමයට ගොස් බලන විට තාපසයා තම මුදල් ටිකත් රැගෙන ගොස් ඇති බව දක්නට ලැබෙයි. තමා අවංක සිල්වතෙක් ලෙස සමාජයට ඇඟෙව්වත් ඔහු මහ සොරෙකි. වර්තමාන සමාජය තුළ ඇතැම් තැනෙක දකින්නට ලැබෙන්නේත් මෙවන් කූට පිරිස් ය.

තම මව, පියා, ගුරුවරයා ජීවතුන් අතර සිටිය දී ඔවුන්ට නොසැලකූ දරුවෝ, ශිෂ්‍යයෝ ඔවුන් මරණයට පත් වූ පසු තමන් තරම් තම දෙමාපියන්ට ගුරුවරුන්ට ආදරය කළ ඇත්තන් තවත් ලොවේ නැතැයි, බොරු උත්සව කරති.මහා පින්කම් කරති. පිළිම හදති. ජාතියේ දරුවන්ගේ නැණැස පෑදීම තම එකම කාර්යභාරය යැයි හඬනඟන ගුරුවරු තම බාහිර පන්තියට නොපැමිණි ශිෂ්‍යයා පන්තිකාමරයේ දී ප්‍රතික්ෂේප කරති.රට නැංවීම සඳහා යැයි රාජ්‍ය සේවයට පැමිණි රාජ්‍ය සේවකයෝ රැකියාව ගත් දින සිට තම සේවය නොකරති. සේවය කරන්නට අල්ලස් ගනිති. තමා පරම්පරාවෙන් බෞද්ධ යැයි කියන උදවිය බුදුරදුන් අනු දැන නොවදාළ මිථ්‍යා ඇදහිලිවල නිරත වෙති. සමාජයේ විවිධ පැතිකඩ තුළ මෙවන් වංක චරිත දක්නට ලැබෙයි. කයින් වංකය, කයින් සිදුවන අකුසල් කරයි. කයින් කෙලෙස් එක් රැස් කරයි. වචනයෙන් වංකය, වචනයෙන් සිදුවන අකුසල කරයි. වාචසික කෙලෙස් ගොඩනඟයි. මනසින් වංකය, මනසින් සිදුවන අකුසල් කරයි.මානසික කෙලෙස් එකතු කරයි. මේ වංක චරිත නිසා මේ සමාජය සෑම අතින් ම පිරිහී ඇත.

මෙම අගාධයෙන් ගොඩ එන්නට නම්, වංක ගතියෙන් තොර අවංක මිනිසුන් සමාජය තුළ ගොඩනැඟිය යුතුයි. අවංක කායික කි‍්‍රයාකාරකම්, අවංක වචන, අවංක සිතිවිලි ඇති විට යහපත් කටයුතු කරයි. ඒ තුළින් දියුණුවේ උරුමකරුවන් විය හැකි ය.

අවංකකම ගොඩනැඟිය යුත්තේ පුද්ගල සිත තුළ ය. පුහුල් ගෙඩියක් තම පිට උඩ තබා සමබර කර වේගයෙන් දුවන අශ්වයකුට අවංකකම හඳුන්වා දිය හැකි ය. එය පහසු කාර්යයක් නොවෙයි. එහෙත් අවංක විය යුතුයි. ජීවිතයේ දියුණුව සතුට ලබන්නට විවිධ මාර්ග පවතී. එක මාර්ගයක් ශරීරයට අධික සැප දීමයි. අනෙක් මාර්ගය ශරීරයට දැඩිව දුක් දීමයි. අනෙක් මාර්ගය ශරීරයට දැඩි දුක් දීමත් නැති, ශරීරයට දැඩිව සැප දීමත් නැති මැද මාවතයි.

අවංකයාගේ මාවත මෙම මැද මාවතයි. අන්තයට නොයයි. ශරීරයට දැඩිව සැප දීමෙහි දී ඇලෙන ගතිය ඇති වෙයි. ඇලීම යනු අභිධ්‍යාවයි. තෘෂ්ණාවයි. මේ සිතිවිල්ලෙන් කටයුතු කළොත් එහි දී සිදුවෙන්නේ අකුසල් ය. ශරීරයට දැඩි සේ දුක් දීමෙන් ගැටීමක් හටගනියි. ගැටීම නම් වෛරයයි. තරහයි. ඒ තුළිනුත් අකුසල් සිදු වෙයි. මේ මාවත් දෙකෙන් කවර මාවතක ගිය ද ගොඩ නැඟෙන්නේ අකුසල් ය. ඒ තුළින් සමාජ පරිහානිය ගොඩනැඟෙයි. ඒ නිසා මෙම මාවත් වංක මාවත් ය.

ඇලීමක් නැති මාවත, ගැටීමක් නැති මාවත මැද මාවතයි. මැද මාවත තුළ ගමන් කරද්දි යථාර්ථය දකියි.මිථ්‍යාව පිටු දකියි. යහපත් සංකල්ප ගොඩ නඟයි, කම් සැප පසු පස්සේ ලුහු නොබඳියි. එහි යථාර්ථය දකියි. හැම දෙනා කෙරෙහි මෛතී‍්‍ර සහගත වෙයි. කරුණාව පතුරුවයි.ඔහු සත්‍ය, සමගිය වර්ධනය කරන, පි‍්‍රය මනාප, අර්ථවත් වචන කථා කරයි. සතුන්ට ආදරය කරයි. සොරකම් නොකරයි. වැරැදි ආකාරයෙන් සතුට නොසොයයි. වැරැදි අයුරින් ඉපයීම් නොකරයි. වැරැදිවලින් මඟ හැරෙයි. යහපත් දේ ඉටුකරයි. එය දියුණු කර ගනියි. තමන් කරන දේ දකියි. තමන් විඳින දෙයෙහි යථාර්ථය දකියි. තමන්ගේ සිත දකියි. යහපත් ධර්මය දකියි. සිත එකඟ කර ගනියි. එකඟ සිත මෙලොව ජීවිතයට ආලෝකය උපදවයි. පරලොව ජීවිතයට දියුණුව ලබා දෙයි. නිවනින් සැනසීම ලබා දෙයි.

වංක අවංක භාවය මතුපිටින් වටහා ගත නොහැක. එක් කරත්ත රෝද තනන්නෙක් කරත්ත රෝද දෙකක් තනයි. එක් රෝදයක් මාස හයක් මුළුල්ලේ වෙහෙස වී තැනී ය. අනෙක් රෝදය දින කිහිපයකින් සකස් කරන ලදී. රෝද දෙකම සමාන ය. බැලූ බැල්මට කිසිදු වෙනසක් නැත. එහෙත් මෙම රෝද දෙක සමාන නැත. වෙනසක් ඇත. මාස හයක් මුළුල්ලේ තැනූ රෝදය ඔහු වේගයෙන් පෙරළා යවයි. පෙරළි පෙරළී යන රෝදය වේගය අඩු විට ඒ ලෙසම ඍජුව පවතී. දින කිහිපයකින් සැදූ රෝදය එලෙස යැවූ කල වේගයෙන් ගොස් වේගය අඩු වූ කල බිම පතිත වෙයි.

ඊට හේතුව නොවැටුණ රෝදයෙහි අඩු පාඩු නැත. දින කිහිපයකින් තැනූ රෝදයෙහි දෝෂ සහිත ය. එම නිසා වැටිණි. මේ අනුව ගත් විට බාහිරව වංක ද අවංකද සෙවිය නොහැකි ය. අභ්‍යන්තරය තුළ ඇති ස්වභාවය අනුව වංක හෝ අවංක විය හැක.

යහපත් කටයුත්තක නිරත වීමේ දි වංක අවංක බව තීරණය වන්නේ එම කි‍්‍රයාව කරන විට සිත තුළ ඇති සිතිවිලි අනුව ය. කෙනෙක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නේ සසර දුක නිමා කරන්නට නම් අවංක ය. ලාභ ප්‍රයෝජන ලබන්නට නම් වංකය. දන් දෙන්නේ අතහැරීම සදහා නම් අවංක ය, මානය, තරඟය පදනම් කොටගෙන නම් වංක ය, සීලය රකින්නේ ඉන්ද්‍රිය සංවරය නිවන උදෙසා නම් අවංක ය, මානය ආදි කෙලෙස් උදෙසා නම් වංක ය, අම්මා, තාත්තට, ගුරුවරුන්ට සලකනුයේ කෘතවේදිත්වය පදනම් කොට ගෙන නම් අවංක ය, ඔවුන්ගේ දේපළ මිළ මුදල් පවරා ගන්නට නම් වංක ය.

ආදරය කරන්නේ සැබෑ යුග දිවියකට නම් අවංක ය, රූපය, ධනය,බලය, කුලය පදනම් කරගෙන නම් එය වංක ය. මේ අයුරින් සියලු කි‍්‍රයාකාරකම්, වචන වංක ද අවංක ද තීරණය වන්නේ එම මොහොතෙහි ඇති සිතිවිලි අනුව ය.

වංක වීම තුළ අපට නොදැනුණත් අප අපටම වංචාවක්, රැවටිල්ලක් කර ගනී. වංක භාවය ආත්ම වංචාවකි. එයින් අප පිරිහෙයි. අප වෙසෙන ස්ථානය පිරිහෙයි. අප වෙසෙන පරිසරය, ගම, රට පරිහානියට පත් වෙයි. අපගේ අපේක්ෂාව දියුණුව නම් අප අවංක විය යුතුයි.

අවංකව කටයුතු කිරීම, කථා කිරීම, සිතිවිලි සිතීම තුළින් මහ ආශ්චර්යවත් දියුණුවක් ලද හැකි ය.