Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

නිවන

බුද්ධෝ බුද්ධෝ අනන්ත බුදුගුණ
වඩමු නිරන්තර සැදැහෙන් හැම දින
අකුසල් දුරුවී දිවියෙන් යම් දින
නිවන් පුරට ළං වේවා දින දින

අනන්ත බුදුගුණ බලයෙන් සව්සත
වෙත්වා සුවපත් පතුරමු මෙත් සිත
රෝග වසංගත දුරු වී දස අත
පැමිණෙත්වා සත වෙත හැම යහපත

නිති අපි අපගේ සිත සකසා ගමු
දිවියෙන් අකුසල් ටික ටික දුරලමු
දහමට අපෙ සිත නිති යොමු කරලමු
දිවියේ අනියත බව වටහා ගමු

සිතේ සතුට වැඩි වී දිවි බබළන්න
බවුන් වඩා එ තුළින් සිත සකසන්න
ඉසි කෝ මද මාන හැම දුරලා ගන්න
දින දින වෙර වඩනු මැන නිවනට යන්න


මෙත් සිලිලාර

සුමුදු සුදුමුදු
පාවඩය මතින්
පියෙන් පිය තබා
පිය නඟන
රාජා
දරා ගනිමින්
බැතියෙන්
දළදා කරඬුව
පාවඩය හැකිළීගත් තැනක්
සකස් කර
රජකු සේ
අභිමානයෙන්
ඉදිරිය බලා
ගමන් ගත්තේ
අවමන් වෙතැයි
බුදු සමිඳුන්ට
තම සිත් තුළ ජනිත වූ
සිතිවිල්ලෙන් ම ද
අපේ නෙතු අගටත්
කඳුළක් දී
විජේරත්න දාහිගමුව


අත්තම්මා

දෑත මුදුනේ තබා
බුදු ගුණ මුමුණන
පින්සාර
ඔබේ මුව
දිටිමි සැනසුම සොයන
කරුණා හසරැල්ල
හදවතේ මෙත් ගඟුල
බුදු හිමි
දෙසු මඟ යන
උවැසියක් ම ය ඔබ
සැමගෙ ආදරය ලද


නිවන්නට බව දුක

දැහැනට සම වැදි
තවුසන් මෙන්
පෝ දින සදහම් මලුවේ
අසති ඔවුන් බුදු බණ
වඩති බවුන් පිළිවෙත .....

දකින සිත් පැහැදේ
සාධු නද පැතිරේ....

පවාරණ සිල්
අවසන්ව දිනයේ
මාවතට පැමිණි උන්...
දොඩති එකිනෙකා හා
.........අර ඇසූ බණ පදද?
අනේ! නැත
ඒ දෙතිස් කතා ම ය........
ඉතින් කෙලෙසක
ළං වෙයිද උන්
උතුම් අරි අටැඟි මඟ වෙත
නිවන්නට බව දුක


යථාර්ථය

මල්ලිගෙ දරුවන්ට තමයි මව්පියො නිතරම බලන්නෙ
අයියගෙ දරුවන්ට බලයි මල්ලී නිතරම සිතන්නෙ
දෙන්නගෙ දරුවන් වෙනුවෙන් මව්පියො නිතරම තැළෙන්නෙ
නැති බැරි කම් ළඟ මව්පියො තනියම දුක දරා ගන්නෙ

ඉදල හිටල ඇවිත් ගිහින් තමයි ඔවුන් අප මනින්නෙ
යුතුකම් වගකීම් හමුවෙ නැහැ උන් ඉදිරියෙ සිටින්නෙ
වයස ගියත් හිතේ දිරිය දෙන්නා ජීවත් කරන්නෙ
ලබා උපන් හැටි ඔහොමයි බුදුන් දෙසූ දහම එයනෙ


මත් උවදුර නසමු සිරිලක්බිම නසන

මත්වන දැයින් සිරිලක වැනසෙනවා ය
අගනා ලක් කුසුම් ඉන් පරවෙනවා ය
මත් උවදුරින් අප හද කකියනවා ය
සිරිලක් අම්ම ශෝකෙන් වැළපෙනවා ය

යහපත් සිහිය ඥානය මොහොතින් බිඳින
හෙළ ලක් පුතුන් කැරකොප්පුව වෙත යවන
අගනා සවි බලැති ජාතිය ලෙඩ කරන
මත් උවදුර නසමු සිරිලක් බිම නසන

මත්වන දැයින් ජාතිය වනසන්න එපා
සවිබල දිවිය මරුහට බිලි දෙන්න එපා
අම්මගෙ තාත්තගෙ හොඳ නම නසනු එපා
පුත ලක් මෑණිගේ හද පාරන්න එපා