Print this Article


පූජාච පූජනීයානං

සඟ සසුන ශෝභාවත් කරන කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේ

කනංකේ රාජමහා විහාරය, පනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව ශ්‍රී විජයාරාමය යන විහාරත්‍රයාධිපති රාජමහා විහාර පරිවේණාධ්‍යක්ෂක ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට පසු ගිය දා අසූපස් විය සපිරිණි. උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා පින්කම් මාලාවක් පසුගිය දා කනංකේ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙසේ ආශිර්වාද ලබන කනංකේ විමලඤාණ මහා ස්වාමමිපාදයන් වහන්සේ සංඝ සමාජය ශෝභාවත් කරන ආදර්ශ සම්පන්න මහා යතිවරයාණන් වහන්සේ නමකි.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයට අයත් කනංකේ ගම නිජබිම කරගෙන 1936-10.06 දින ජන්ම ලාභය ලබන ලද මෙම පින්වත් කුලකුමරු එවකට කනංකේ රාජමහා විහාරාධිපතිව වැඩසිටි රාජකීය පණ්ඩිත ගරු කනංකේ ශ්‍රී ඤාණාලෝක නා හිමිපාණන් වහන්සේගේ හා පැනෑටියන ශ්‍රී චේතියාරාමාධිපති ගරු පැනෑටියන ශ්‍රී සද්ධාතිස්සනාහිමිපාණන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙස 1949/03/10 වන දින කනංකේ රාජමහා විහාරයේදී කනංකේ විමලඤාණ හිමි නමින් සසුන් ගත වී ඇත.

1957/06/05 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී අති උතුම් උපසම්පදා ශීලයට පත් වූහ. අහංගම නාපිරිත්තාගොඩ සමාගම් පාසලෙන් රජයේ ගුරු සේවයට පිවිසි විමලඤාණ හිමි, අම්පාර, කොළඹ ආදී විවිධ ප්‍රදේශවල විදුහල් කීපයකම සේවය කරමින් සුවහසක් දරු දැරියන්ගේ ගුණ නැණ වර්ධනය කිරීමට දායක වී ඇත. තම ගුරු හිමිවරුන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් වූ විමලඤාණ හිමියෝ එම විහාරස්ථාන තව තවත් දියුණුවට පත්කරමින් ආරක්ෂා කර ගැනීමට, අපමණ සේවාවක් සිදු කළහ. අක්‍රියව පැවති කනංකේ රාජමහා විහාර පිරිවෙන නැවත ආරම්භ කළ අතර, එය අද වන විට ප්‍රදේශයට ඉමහත් සේවාවක් සපයන කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත්ව ඇත. ශාසනයේ අනාගත පැවැත්මට දායක විය හැකි දැන උගත් ක්‍රියාශීලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා රාශියක් ශාසනයට දායාද කිරීම ද අගය කළ යුතු ශාසනික සේවාවකි.

දසක හතකටත් වැඩි විමලඤාණ හිමියන්ගේ උතුම් පැවිදි ජීවිතය ඉතාම ආදර්ශ සම්පන්න ය. අනතිමානී , අවංක, ඍජු , ප්‍රතිපත්ති ගරුක සරල ජීවිතයක් ගත කරන උන්වහන්සේ ලොකු කුඩා සෑම දෙනාම ඉතා පි‍්‍රයමනාපව ඇසුරු කරති. ඉතා ගැඹුරු දහම් කරුණු සරලව පහදා දීමේ හැකියාවෙන් පිරිපුන් විමලඤාණ හිමියෝ ධර්ම විනය පමණක් නොව භාෂා ශාස්ත්‍ර ඉතිහාසගත කරුණුූ පිළිබඳව ද නිරවුල් අවබෝධයක් ඇති බහුශ්‍රැත පැවිදි පඬිරුවනකි.

ගරු කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමු.


ශ්‍රී සුමංගලාරාම විහාරයේ වත්මන් නවෝදයේ නියමුවාණෝ

හාතියල්වෙල චන්දානන්ද හිමිපාණන් වහන්සේ

මහනුවර දිස්ති‍්‍රක්කයේ මැදමහනුවර හාතියල්වෙල ගම් පියසෙහි විසූ හේරත් ඒකනායක මුදියන්සේලාගේ ඉඩමේගෙදර මද්දුමබණ්ඩාර ඒකනායක මහෝපාසක මහතාගේ සහ තෙන්නකෝන් වාසල මුදියන්සේලාගේ දානවතී කුමාරිහාමිි මහෝපාසිකා මාතාවගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1961 දෙසැම්බර් 18 වැනි දින හාතියල්වෙල චන්දානන්ද හිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මැටිදෙනිය කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ මැදමහනුවර වෙලමැද මහා විද්‍යාලයෙනි.

කුඩා කල පටන් ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1976 ඔක්තෝබර් 17 වැනිදා මැදමහනුවර නවඳගල ගල්ලෙන් පුරාණ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් විය. ඉක්බිතිව පාරිවේණික අධ්‍යාපනය ලැබුවේ හඟුරන්කෙත මාදන්වල ශී‍්‍ර සද්ධර්මෝදය සහ කුරුණෑගල සැඳෑලෙන ශ්‍රී විජය පිරිවෙනෙනි. දොඹගොඩ ශ්‍රී ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස වර්ෂ 1985 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලැබූ චන්දානන්ද හිමියෝ වර්ෂ 1991 දී ගුරු සේවයට පිවිසියහ. වරකාගොඩ ගල්ලෙන් රාජමහා විහාර පිරිවෙනේ සහ අඟුරුවාතොට මදුරාවල මහා විද්‍යාලයේ සේවය කළහ.

මදුරාවල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වර්තමාන නවෝදයේ නියමුවාණන් වනුයේ චන්දානන්ද හිමි ය. මැටි කර්මාන්තය, කම්හල, හස්ත කර්මාන්ත, ඇඟලුම් ඇතුලු විශේෂාංග රැසක් ඇතුළත් මදුරාවල අම්පිටිගල පාරම්පරික සංචාරක ගම්මානය ද උන්වහන්සේ ගේ පුරෝගාමීත්වයෙන් ඇරඹිණි. සමාජ සේවා කටයුතු රැසකටම නිසි නායකත්වය දෙන හාතියල්වෙල චන්දානන්ද හිමි ප්‍රදේශයේ ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ගෞරවාදරයට පත් යතිවරයන් වහන්සේ නමකි.