Print this Article


පව් නොකළ පමණින් පින් රැස්වෙනවා ද?

පව් නොකළ පමණින් පින් රැස්වෙනවා ද?

වැඩියෙන් පින් ලැබෙන්නේ දානයෙන් ද?  සීලයෙන් ද? භාවනාවෙන් ද?

"උත්පත්ති භවය ඇත්, අස්, ගව , සුනඛාදී තිරිසන් භවයක වුවත් දානානිසංස කර්ම විපාක වශයෙන් සැප ලැබීමට හේතු සාධක ඇත. එමෙන් ම සික්ඛාපද මනාව සුරැකියේ නම් දන්දීමෙන් පිරිහී තිබුණ ද සුගතියක උපත ලබයි"

බුදු දහමේ පින්කම් දහයක් දක්වා ඇත. ඒවා දස පුඤ්ඤ කිරියවත් හෙවත් දස පින් කිරියවත් නමින් හඳුන්වයි. “සබ්බ පාපස්ස අකරණං” යනුවෙන් සඳහන් තැන්හි” සියලු පව් නොකරන්න” යනුවෙන් අර්ථ ගන්වන විට බෞද්ධ අපි දැන සිටිය යුතු ප්‍රධාන කරුණක් වනුයේ යමකු පව් නොකර සිටිය පමණින් පින් රැස් නොවන බවය, පින් ද වෙන් වෙන් ව කළ යුතු බවය.

එනිසා එම පින් දහය (පින්+කිරිය= පින් කිරීම) තුළින් ආනිසංස (අනුසස්) ලබා ගැනීමට නම් ඒවා සිත,කය, වචනය මෙහෙයවා කළ යුතු ම ය. තවද මෙවන් ඕනෑම පින්කමක් කිරීමේදී (පව් කිරීමේදී ද මෙසේම ය) පෙරටු වන්නේ සිත ම වේ. එහෙයින් පින්කම් කිරීමේ දී පින්කමක් කිරීමට පෙර පින්කම සැලසුම් කරන සිත “පූර්ව චේතනා” යනුවෙන් ද, පින්කම කරන අවස්ථාවේ දී ඇතිවන සිත ‘මුඤ්චන චේතනා” වශයෙන් ද, පින්කමෙන් පසු පින්කම පිළිබඳ සිතෙහි ඇතිවෙන සිතිවිලි “අපර චේතනා” යනුවෙන් ද නම් කෙරෙයි. මෙම ත්‍රිවිධ චේතනාවන්හි දී ම සතුට දනවන්නේ නම් පින්කමින් ලැබෙන ආනිසංස බොහෝ ය. සතුට අඩු වන්නේ නම් පින් ද අඩුවිය හැක.

“පින” යන්න පාලියේ සඳහන් වනුයේ “පුඤ්ඤ” යනුවෙනි. “පුඤ්ඤ” යනු සැපයට නමෙකි. අපගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේ ද පෙර කල්හි සසර සැරිසරද්දී කළ පින්වල බලයෙන් 36 වතාවක් ශක්‍ර දේවේන්ද්‍රයා වී උපන් බව මාපුඤ්ඤභායි සූත්‍රයේ (ඛුද්දක නිකාය 1-34 පිටුව) සඳහන් වේ. මේ අනුව පුණ්‍ය කර්මයෝ පුනර්භවයක ඉපදීමට හේතුවන භවගාමී (භවයන්හි ගමන් කරවන) ක්‍රියා ධර්මයක් බව ද සිහිකටයුතු ය.

දැන් මාතෘකාව වෙත යොමු වෙමු. එයින් දක්වා ඇත්තේ දස පුණ්‍ය ක්‍රියාවන්හි සඳහන් මුල් පින්කම් තුන වේ. ඉතිරි හත මෙසේ ය. පූජාර්හ පුද්ගලයනට හා වැඩිහිටියනට උපස්ථාන කිරීම, සුදුස්සන්ට ගරුබුහුමන් කිරීම,පින් දීම,පින් අනුමෝදන්වීම,ධර්ම දේශනා කිරීම,බණ ඇසීම ,තමාගේ දැක්ම ඍජු කර ගැනීම (මේ සත් පින්කම් අටුවාන්හි ද මුල්තැන සූත්‍ර ධර්මයන්හි ද දක්නට ලැබේ) මේ අනුව යමකුගේ මෙලොව ජීවිතය පරලොව ජීවිතය හා සසර දී හමුවන සියලු ජීවිත සැපවත් කර ගැනීමට නම් මේ දස පින් ක්‍රියාකාරකම් සිදුකර තිබීම සැමතින්ම උපකාරක ධර්මතා බවට පත්වන්නේ ම ය.

යහපත් කෙනෙක් තුළ දාන, සීල, භාවනා යන මේ ත්‍රිවිධ පුණ්‍ය ධර්මයෝ ම උසස් ලෙසින් සම ව තිබේ නම් මොවුහු සසර ගමනෙහි නිමාවට යාමට මුල් පියවර තැබුවහු වන්නෝ ය. දහම් මඟෙහි අපට හමුවන පුද්ගලයෝ සතර දෙනෙකි. මොවුහු නම් පෘථග්ජන පුද්ගලයා ,කල්‍යාණ පෘථග්ජන පුද්ගලයා ,සේඛ පුද්ගලයා (සෝවාන් මඟෙහි සිට අරහත් මඟ දක්වා හමුවන සත් පුද්ගලයන්) හා අසේඛ පුද්ගලයා (අරහත් ඵල ලාභියා) වශයෙනි. මොවුනතුරෙන් කම්පල අදහමින් පින්කම් කරන ඉහත සඳහන් පුද්ගලයෝ කල්‍යාණ පෘථග්ජන කොටසෙහිලා ගැනීම වටී.

දානය -

යම් පුද්ගලයෙක් තම ජීවිත කාලය පුරා දන්දීමට සිත පහදා ගත්තකු වුවහොත් ඔහුට එම දන්දීමේ ආනිසංස (පුණ්‍ය විපාක) වශයෙන් ඉතිරි ජීවිත කාලය තුළ මෙලොව දී ද ආහාරාදී පාරිභෝගික වස්තු හිඟයෙන් තොරවේ. අනතුරුව උපත ලබන ඕනෑම භවයක සැපයෙන් අඩුවක් නොවන්නේ ය.

සීලය

සීලය යනු කය, වචන දෙකෙහි සංවරයයි. හික්මවා ගැනීමයි. මේ සඳහා ගෘහස්ත (ගිහි) පඤ්ච සීලයේ පටන් පැවිදි උපසම්පදා ශ්‍රේෂ්ඨ සතර සීලයක් ශික්ෂාපද වශයෙන් බුදුදහමේ හඳුන්වා දී ඇත. යමකු මේ ශික්ෂාපද මැනවින් ආර්යකාන්ත ලෙස (උතුමන්ගේ ප්‍රශංසාවට ලක්වන පරිදි) ආරක්ෂා කරන්නේ නම් මෙලොව දී සැක බිය නැතිව ඕනෑම සභා මැදකට යා හැකි අතර, මරණින් පසු උත්පත්තිය ද සුගති භව අතුරෙන් එකක් ම වන්නේ ය.

භාවනාව –

භාවනාව නම් සිතේ වැඩීම ය. සාමාන්‍ය සිතක ස්වභාවය නම් ජලයෙන් ගොඩ දැමූ මත්ස්‍යයකු සේ, දැගලීම ය. මෙවන් අසංවර සිත සංවර සිතක් කර ගැනීමට වීර්යය යොදා මෘදු කරන අභ්‍යාසය සිත වැඩීම නම් වූ භාවනාවයි.

යම් කෙනෙක් මෙසේ බුද්ධ වචන වටහා ගෙන ඒවායේ සඳහන් අභිමතාර්ථ සපලකර ගැනීමේ අදහසින් සිතේ සංවරයෙන් (සමාධිසිත) ප්‍රඥාව මතුකර ගෙන විදර්ශනා භාවනාවට පිවිස සියලු සංස්කාරයෝ අනිච්ච, දුක්ඛ, අනාත්ම තිලකුණු යොදා බලන්නේ නම් සෝවාන් ආදී මගඵල ලබමින් සසර ඉපදෙන වාර ගණන ක්ෂයකරවා ගෙන නිමාවට පත්විය හැක.

ඉහත දැක්වූ විස්තර අනුව වැඩියෙන් පින් ලැබෙන්නේ කුමකින් ද යන්නට පිළිතුරු ඇත්තේ ඔබ ළඟම ය. නිතර දන් දුන්නහු සික්ඛාපද නොරැක්කේ නම් කර්ම භවය අභිභවා උත්පත්ති භවය සැකසේ.

එහෙත් උත්පත්ති භවය ඇත්, අස්, ගව , සුනඛාදී තිරිසන් භවයක වුවත් දානානිසංස කර්ම විපාක වශයෙන් සැප ලැබීමට හේතු සාධක ඇත. එමෙන් ම සික්ඛාපද මනාව සුරැකියේ නම් දන්දීමෙන් පිරිහී තිබුණ ද සුගතියක උපත ලබයි. එහෙත් ලාභ සත්කාරයන්ගෙන් පිරිහිය හැකියි. එසේ ම යමකු හට දාන, සීල පුණ්‍ය ක්‍රියා නොවේ නම්, භාවනා මාර්ග කිසිසේත් සාර්ථක විය නොහැක. එහෙයින් සද්ධර්මය ම අසා යොනිසොමනසිකාරයෙන් යුතුව දාන, සීල, භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන්හි ම බද්ධ වී කුසල් උපදවන්නකු වී නිවනට ළංවීමට අපි දක්ෂයෝ වෙමු.