Print this Article


පවෙහි විපාක අඩු වැඩි වන හැටි

පවෙහි විපාක අඩු වැඩි වන හැටි

ලෝකයේ ජීවත් වන හැම කෙනෙක් ම බලාපොරොත්තු වන්නේ පොහොසත් වීමට යි. මේ පොහොසත් විම කියන එකෙන් අදහස් කරන්නේ ධනයෙන්, දේපළවලින් ශක්තිමත් වීමට යි. යාන වාහනවලින් අඩුවක් නොමැති ව, කෑමබිම හා ගෙවල් දොරවල් වගේ ම වතුපිටිවලින් අනෙකුත් අයට වඩා උසස් තත්වයෙන් ජීවත්වීම මේ පොහොසත් යන වචනයෙන් අදහස් කරනවා.

සැප පසුපස එන දුක

ඉතින් කිසිම අයෙක් කැමති නැහැ දුප්පත් දිවි පෙවෙතක් ගත කරන්නට.

දුක සේ ජීවත් වන්නට. ඉතින් සැබෑ තත්වය නම් මේ පොහොසත්, එහෙම නැතිනම් ඇති හැකි අය වශයෙන් ජීවත් වීම පිණිස වැඩි දෙනෙක් ඕනෑම වැරැදි අයහපත් ක්‍රියාවක් කරන්නට වුණත් පෙළඹෙනවා. මේ නිසා ඇතැම් උදවිය ධනවත් පොහොසත් බව ළඟා කරන්නට බුදුදහමෙන් පෙන්වා දෙන අධාර්මික විවිධ ඉපයීම් කරන්නට පවා වෙහෙසෙනවා.

ඒ නිසා තමා අද දවසේ අපි ජනමාධ්‍ය මගින් මේ අසාධාරණ, අධාර්මික ආකාරයෙන් ධනය උපයන විවිධ පුද්ගලයන් ගැන තොරතුරු දැන ඒ ගැන හිතේ අසතුටක් ඇත’ි කර ගන්නේ

“ ඒ විතරකුත් නො වෙයි. එවැනි උදවිය නීතියේ රැහැනට අසු වී නොයෙක් දණ්ඩනවලට ගොදුරු වන හැටිත් දැන ගන්නවා.

දිනපතා ම වගේ මෙවැනි විවිධ අපරාධ, දූෂණ ගැන තොරතුරු දැන ගන්නට ලැබෙනවා. විශේෂයෙන් අද වනවිට මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහි දී කැපී පෙනෙනවා. එවැනි දුරාචාරයන්ට ගොදුරු වී ක්‍රියා කොට සුඛෝපභෝගි ජීවිත ගෙවන අය ගැනත් රටේ මහජනතාව පැහැදිලිව කරුණු දන්නවා.

ඉතින් මේ කියන උදවිය සමහරවිට මේ අසාධාරණ ලෙස ලබා ගන්නා ධනයෙන් අසරණයන්ට උදව් කිරීම, දානමාන පුණ්‍ය ක්‍රියා ආදියත් කරනවා.

අධාර්මික ව ලැබුණු ධනයෙන් තමා එවැනි කුසල පක්ෂයට ගැනෙන හොඳ වැඩ කරන්නේ, ඒ නිසා කරන ලද කුසලයෙන් සිද්ධවන පින අංගසම්පූර්ණ වන්නේ නැහැ.

මෙහි දී වැදගත් කරුණක් වන්නේ මිනිස් සිතේ සිතිවිලි ක්‍රියා කරන ආකාරය යි. මෙහි දී පැහැදිලි වන කරුණක් තමා ජීවිතයේ විවිධ අරමුණු සඵල කර ගැනුමේ දී අකුසල පක්ෂයෙන් ඉදිරියට යාමේ ස්වභාවයක් පැහැදිලි වීමත් , ඉඳහිට කුසල පක්ෂයට යොමු වුණත් හැම විට ම එවැනි සිතිවිලි යටපත් කරලීමට තරම් අකුසල සිතිවිලි නිසා හටගන්නා ක්‍රියා බලවත් වීමත්. මේ නිසා පුද්ගලයාගේ මෙලොව හා පරලොව දෙපැත්ත ම දුකට හේතු වන ආකාරයෙන් තම යි ඔහුගේ ජිවන යාත්‍රාව සිදු වන්නේ. එවිට ඇති විය හැකි ඵලය වන්නේ තමන් විසින් කරනු ලබන සමාජ විරෝධී, සමාජ අසහනයට හේතුවන වැඩ නිසා මෙලොව සන්දිට්ඨික වශයෙන් හෙවත් දිට්ඨධම්මවේදනිය වශයෙන් එවැනි උදවිය දුකට වෙහෙසට පත් වීමයි. ඒ වගේ ම පරලොව ත් අපායගාමි වී සංසාරයේ බොහෝ අසරණ තත්වයන්ට පත් වී සසර දීර්ඝ කර ගන්නවා.

ජීවිතය දුක් සහිත වන හැටි

මේ කාරණය වඩාත් පැහැදිලි කරන බුද්ධ දේශනාවක් ලෙස සූත්‍ර පිටකයේ එන ලෝණකඵල සූත්‍රය පෙන්වා දෙන්නට පුළුවන්. එහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් අයෙක් විවිධ කර්ම කයින් හෝ වචනයෙන් සිදු කරනවා. ඒ ඒ කර්මවලට සුදුසු වන ආකාරයෙන් විපාක විඳීනවා. මේ අකාරයෙන් සිදු වනවිට ඒ පුද්ගලයාගේ උසස් ආචාර සමාචාර ගති ලක්ෂණ පහළ වන්නේ නැහැ. ඔහු දුක් සහිත ජීවිතයක් උරුම කර ගන්නවා. එපමණක් නොව ඔහුගේ සසර ගමන කෙටි වන්නේ නැහැ. සසර බොහෝ දුක් විඳීමින් සිටින්නට සිදු වෙනවා.

පිනෙන් පොහොසත් නම් ...

මේ අතර මෙයට වෙනස් ස්වභාවයේ අය ද අපට දකින්නට ලැබෙනවා. තවත් කෙනෙක් විපාක සහිත යම් යම් කර්ම සිදු කරනවා. හැබැයි ඒ උදවිය උසස් හැසිරීමක් හෙවත් බ්‍රහ්මචර්යාවක් උරුම කර ගන්නවා. ඒ වගේ ඒ විපාක වින්ද යුතු කර්ම රැස් කරන පුද්ගලයාගේ බ්‍රහ්‍මචරිය වාසය ඒකාන්තයෙන් සිදු වෙනවා.

දැන් මේ දෙයාකාර තත්වය දිහා බලන කොට අපට පෙනී යනවා එකම විපාක විඳිය යුතු කර්මය දෙදෙනකුට දෙයාකාරයකින් බලපාන ආකාරය. එයට ප්‍රධාන කාරණය වන්නේ විපාක විඳිය යුතු කර්ම සිදු කරන පළමු වර්ගයේ පුද්ගලයා කුසල පක්ෂයෙන් පොහොසත් වීම ත් අකුසල පක්ෂයෙන් දුර්වල වීමත්, කියා සඳහන් කළොත් මේ කරුණ වඩාත් නිරවුල් වෙනවා. ඒකට හේතුව තමා දෙවනුව කී විපාක විඳිය යුතු කර්ම රැස් කළත් බ්‍රහ්මචරිය වාසය පවත්වා ගන්නා පුද්ගලයාගේ සිතිවිලි නිරන්තරයෙන් ප්‍රබල වන්නේ කුසල පක්ෂයට යි.

ඔහු ඉඳහිට අකුසල පක්ෂයේ ක්‍රියාවන් සිදු කළත් ඔහුගේ ජීවිතය පුරාම බහුල වශයෙන් කුසල පක්ෂයට යොමු වෙලයි කල දවස ගෙවා ගෙන යන්නේ. මුලින් කි පුද්ගලයා නිරන්තරයෙන් අකුසල පක්ෂයට යොමු වී ක්‍රියා කිරීම හේතුවෙන් ඒවාට විපාක නියම වෙනවා. කලාතුරකින් නමුත් කුසල පක්ෂයේ ක්‍රියාවන් සිදු කළත් ඊට අදාළ වන කුසල විපාක පරදවා ඒවා යටපත් කර අකුසල ක්‍රියාවන් බහුල වීමෙන් බ්‍රහ්මචර්ය වාසය සිදු නො වීමෙන් දෙලොව ම දුක් විඳීන තත්වයට පත්වෙනවා.

මෙයට හේතු කාරණා වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ පුද්ගලයා කායභාවනාවෙන් දුරස්ථ වීම, සීලභාවනාවෙන් දුරස්ථවිම, චිත්තභාවනවාවෙන් දුරස්ථවීම හා ප්‍රඥාභාවනාවෙන් දුරස්ථවීම යි. එහි විරුද්ධාර්ථය වන්නේ ජීවිතයේ වැඩි හරියක් කුසල පක්ෂයේ ක්‍රියාකාරකම්වලට යොමු වී විපාක විඳිය යුතු අකුසල කර්ම අවම වීමෙන් ඒ අකුසල කර්මවල විපාක වි¼දීමට අවකාශයක් නො ලැබීමයි. එහිදී සුවදායක ජීවිතයක් ගත කිරීමත් ස්වකීය බ්‍රහ්මචරිය වාසය ශක්තිමත් කරගැනීමත් සිදු වෙනවා.

ලෝණකඵල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උපමාවකින් කරුණු පැහැදිලි කර ඇති අකාරය දෙස බලන කොට මේ කරුණ අපට වඩාත් පැහැදිලි කර ගන්නට පුළුවනි.

ලුණු කැටයේ උපමාව

යම් අයෙක් ලුණු කැටයක් අතට අරගෙන ඒ ලුණු කැටය සුළු ජලය ප්‍රමාණයක් ඇති කෝප්පයකට දැමූ විට එය ජලයට මුසුවීම නිසා එම කෝප්පයේ තිබෙන ජලය තනිකර ම ලුණු රස ගැන්වෙනවා. ඒ වගේ ඒ පුද්ගලයා එම ලුණු කැටය ම අරගෙන ගංගාවකට හෝ විශාල ජලාශයකට දැමුවොත් එය ජලයට මිශ්‍ර වුණත් එම ජලයේ ස්වල්ප වූ ද ලුණු රසයක් දැනෙන්නේ නැහැ.

මේ ආකාරයෙන් එක ම සමාන, පාප කර්මය සිදු කරන දෙදෙනෙක් ගත්තහම එක් අයෙක් කරන ලද අකුසල කර්මයේ විපාක වශයෙන් නිරයට වැටෙනවා. ඒ හා සමාන පාපකර්මය හෙවත් අකුසලය කරන අනෙක් තැනැත්තාට කරන ලද කර්මයේ යම් විපාකයක් වශයෙන් මෙලොව වශයෙන් යම් විපාකයක් විඳීන්නට පුළුවනි. හැබැයි පරලොව වශයෙන් අකුසල කර්මයේ විපාක කිසිවක් විපාක නො දෙනවා. ඒක හරියට ගංගා ජලයට ලුණු කැටය මුසු කළ විට ලුණු රසය යටපත් වෙනවා වගේ.

මෙම ලිපියේ ඉතිරි කොටස මීළඟ බුදුසරණ කලාපයේ පළවේ.