Print this Article


බෞද්ධාලෝක පදනමෙන් කිරිඉබ්බන්වැව විහාරස්ථානයට ජල පහසුකම්

බෞද්ධාලෝක පදනමෙන් කිරිඉබ්බන්වැව විහාරස්ථානයට ජල පහසුකම්

බෞද්ධාලෝක පදනමේ ප්‍රධාන දායකත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික කඨින පූණ්‍ය මහෝත්සවය මෙවර පවත්වන ලද්දේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය කිරිඉබ්බන්වැව ධර්ම ප්‍රණීතාරාමයේ දී ය.

මෙම විහාරස්ථානය 1986 වර්ෂයේ ආරම්භ වන්නේ දිඹුලාගල මහා විහාර පාර්ශවයේ අනුශාසකත්වයෙන් පොළොන්නරුවේ තිලකාලංකාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි. පසුකාලීන ව 2007 වර්ෂයේ දී විහාරස්ථානයට අනුබද්ධ ව මුලතිව් ශ්‍රී තිලකමිත්‍ර මුලික පිරිවෙන නමින් පිරිවෙනක් ද ආරම්භ විය. පොළොන්නරුවේ තිලකාලංකාර හිමියන් 2020 නොවැම්බර් මාසයේදී අපවත් වීමෙන් පසුව මෙම විහාරයේ විහාරාධිපති ධූරයට පත්වන්නේ පිඹුරත්තෑවේ සන්තින්දියාලංකාර හිමියන් ය. මෙම විහාරස්ථානයට මෙතෙක් අඩුපාඩුවක් ව තිබූ ජල පහසුකම් ලබාදීම මෙම කඨින පින්කමේ දී බෞද්ධාලෝක පදනම තුළින් සිදු කළ සුවිශේෂි කාර්යයකි. විහාරස්ථානයේ ආවාස ගෙය සම්පුර්ණයෙන් ම නවීකරණය කිරීම ද මෙහිදී සිදුවිය.

කඨින පූණ්‍ය මහෝත්සවයට සමගාමීව ධර්ම දේශනාව 30 වන දින රාත්‍රියේ දිඹුලාගල මහා විහාර පිරිවෙනේ පරිවේනාධිපති දේවගල දේවාලාංකාර හිමියන් විසින් සිදු කරන ලද අතර, පසුදින හිමිදිරියේ ගම්වාසීන් විසින් කඨින චිවරය රැගත් පෙරහර වීදී සංචාරය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට වැඩම කරවීය. පසුව විහාරාධිපති පිඹුරත්තෑවේ සන්තින්දියාලංකාර හිමි ඇතුළු සංඝයා වහන්සේලා 45 නමක් විෂයෙහි දහවල් දානමය පින්කම සිදුකරන්නට විය. කඨින චිවරය මහා සංඝරත්නය වෙත පුජා කරන ලද්දේ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මැතිතුමා විසින් ය.

කඨින පින්කමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ද සිදු වු අතර කඨින පූණ්‍ය මහෝත්සවය සඳහා යුද හමුදා 261 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් ද සහභාගී විය.