Print this Article


එළාර රජු විජිතපුර ශක්තිමත් කරයි

දුටුගැමුණු මහ රජතුමා - 52:

එළාර රජු විජිතපුර ශක්තිමත් කරයි

මාගම රාජ්‍යයේ සියලුම සෙනෙවිවරු යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට රැස්ව සිටියහ.  මහා  ඇමති, දස මහා සෙනෙවිවරු ඇතුළු ඇමති මඩුල්ලත් සමග රාජාංගණයේ රජ වීදිය දෙසට නෙත් යොමා සිටියහ. මහනෙල, සුරනිමල, වේළුසුමන අසු පිට නැගී ඉදිරියට ගොසිනි.

ගුත්තාහල කඳවුරෙන් මාගම බලා එන බළ සෙනඟ මාගමට ළඟා වෙන්නට පළමුව ගුත්තාහල යුද කඳවුරෙන් ආ හීපතකින් කියවුණේ චුලන්ගණියේදී  දෙපිරිස අතර සටන ඇතිවී දුටුගැමුණු රජතුමා පැරද පලා ගිය බවයි. තිස්ස කුමරු රජතුමා ලුහුබැඳ ගියත්, අල්ලා ගැනීමට නොහැකිව ආපසු ගිය බවයි.

මේ පුවත සැලවීමත් සමග සම්මන්ත්‍රණ ශාලාවේ රැස්ව සිටි පිරිස අතර ඇතිවුයේ මහත් නොසන්සුන්තාවයකි. දාඨාසේන  විසින් මෙම පුවත රාජාංගනයේ පිරිස වෙත ගෙන ආවේය. උත්තර මහා ඇමති සියලු පිරිස සන්සුන්ව තබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එය අනුමත කළ නන්දිමිත්‍ර ඇතුළු සෙසු සෙනෙවිවරුන් යුද්ධ සම්මන්ත්‍රණ ශාලාව දෙසට ගමන් කළද ඔවුන්ට දක්නට ලැබුණේ දස දෙසින් පැමිණෙන සන්නද්ධ සේනාංකයයි.

“දුටුගැමුණු රජතුමා මාළිගයට පැමිණ සිටිනවා. සියලු දෙනාම යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන්න. රජතුමා තව ස්වල්ප වේලාවකින් සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙනවා. “තිස්ස ඇමති අසු පිටින් පැමිණ හඬ නගා කීහ. ඒ සමගම අසන්නට ලැබුණේ ඈතින් එන අශ්වයන්ගේ හඬයි. සියලු දෙනාම සම්මන්ත්‍රණ ශාලාවට රොක් වන්නට වූහ.

මහනෙල, වේළුසුමන, සුරනිමල සෙනෙවිවරු පැමිණියහ. මෙතෙක් දැනගන්නට ලැබී තිබුණු තොරතුරුවලින් සෑහීමට පත් වූ කිසිවෙක් නොවීය.

“සටන් ඇරඹී තිබෙන්නේ චුලාංගණියෙදියි. තිස්ස කුමාරයාගේ බළ සේනාව පනස් දහසකට වැඩියි. දුටුගැමුණු රජතුමා එහි ගොස් තිබෙන්නේ සිය ගණනක භට සේනාංකයක් සමගයි.”

“මේ බව දැනගත් තිස්ස කුමාරයා සේනාව අතරින් ඉදිරියට පැමිණ, බළ සේනාංකයත්  සමග ගැමුණු රජතුමා අල්ලාගැනීමට කඩොල් ඇතු පිට නැගී සේනාව මෙහෙයවා තිබෙනවා. ජය ගැනීමට නොහැකි බව වැටහුණු රජතුමා පලා ගොස් තිබෙනවා. තිස්ස කුමාරයා ඇතුළු පිරිස රජතුමා ලුහුබැඳ යද්දී ත්‍රිපිටක තිස්ස, මහාසිව මහතෙරුන් වහන්සේලා ඇතුළු පිරිස මාවතේ එනු දැක පසු බැස ආපසු දිගාමඩුල්ලට ගිහිල්ලා.”

පන්සියයක් අසරු සේනාවද, දස දහසක බළ සේනාංකයද පැමිණ ඒ බව නන්දිමිත්‍ර මහා සෙනෙවිට වාර්තා කරනු ලැබිය. අනතුරුව සම්මන්ත්‍රණ  ශාලා භුමියෙහි සුදුසු පරිදි විවේක ගන්වන්නට යෙදුණහ. ලැබුණු තොරතුරු වාර්තාවෙන් පෙනී ගියේ දුටුගැමුණු මහා රජතුමා අවදානම් අවස්ථාවකට මුහුණ දුන් බවය. තිස්සමහාරාම විහාරාධිපතින් වහන්සේලා ප්‍රමුඛ රහතන් වහන්සේලා සොහොයුරන් දෙදෙනා අතරට නොවැඩියා නම් තවත් බොහෝ දුර ඔවුන් රජතුමා ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි.

“අපට පලායන්නට රජතුමා අණ කළා. රජතුමා පලා ගියේ නැහැ. තිස්ස කුමාරයාගේ සේනාවට මුහුණ දී සිටියා. ඔහු රජතුමා අල්ලා ගන්නට සේනාවට අණකර ඉදිරියට ආවා. “

“රජතුමා තිස්ස ඇමැතිතුමාත් සමග කප්කඳුරු පෙදෙසට පලා ගියා. තිස්ස කුමාරයාගේ සේනාව ලුහු බඳීන්නට පටන් ගත්තා. අප දෙදෙනා අපේ අසරුවන්ට ගුත්තාහල කඳවුරට යන්නට උපදෙස් දී රජතුමා පලාගිය දෙසට අසුන් මෙහෙයවූවා. තිස්ස කුමාරයාගේ සේනාංකයේ ගමන ප්‍රමාද කිරීමට අපේ දුර්ගම භට සේනාංකයට හැකිවුණා. රජතුමා ආරක්‍ෂිත යයි හැඟී ගිය පසුවයි අප ආපසු පැමිණියේ.”

මහා රජතුමාගේ පැමිණීමට ප්‍රථමයෙන් මහා සෙනෙවිවරුන් කිසියම් තීරණයකට එළඹිය යුතු බව නන්දිමිත්‍රගේ අදහස විය. මහා රජතුමා කැමැත්ත පළ කළහොත්, රජතුමාගේ සන්දේශයක් රැගෙන ගොස් , විහාරමහා දේවියට දී තිස්ස කුමාරයාගේ සියලු සේනා පරදවා, මව් බිසවුන් වහන්සේත්, කඩොල් ඇතුත් කැඳවාගෙන එන්නට අපට හැකි යයි දසමහා සෙනෙවිවරුන් වෙනුවෙන් පුස්සදේව මහා සෙනෙවි ප්‍රකාශ කළේය.

තිස්ස කුමාරයා සමග කළ සටනින්, දුටුගැමුණු කුමාරයා පැරදී පලා ගියා යයි පැතිර ගිය රාවයට තවත් කතන්දර රාශියක් එකතු වී තිබිණි. මාගම රාජධානිය මේ පිළිබඳව කතාබහ කරන ලද්දේ මහත් වේදනාවෙනි. කලකිරීමෙනි. රුහුණු ජනතාව තුළ තව තවත් උනන්දුව ඇති වන ලෙස මෙය ප්‍රයෝජනයට ගත යුතු යයි උත්තර මහා ඇමති රුහුණු ජනපදයේ රාජ්‍ය නිලධාරියාට උපදෙස් දී තිබිණි.

“දුටුගැමුණු මහා රජතුමා යුද්ධයට සුදානම්ව ගියේ නැත. සිය මව් බිසව හා කඩොල් ඇතු කැඳවාගෙන එන්නට ගියේ නෑ ගමනක් පමණයි. තිස්ස කුමාරයා මහා බල සේනාංකයක් සමග යුද්ධයට පැමිණි නිසා එයට මුහුණ නොදී පැමිණ තිබෙනවා .”

මෙම පුවත අනුරාධපුරය රාජධානියේ ප්‍රචාරය වුයේ මීට හාත්පසින්ම වෙනස්වය. දුටුගැමුණු රජතුමා චතුරංගනී සේනාව පිරිවරාගෙන දිගාමඩුල්ලට ආවේ  මව් බිසොවුන් වහන්සේ හා කඩොල් ඇතු බලහත්කාරයෙන් ගෙන යන්නටයි. නමුත් එළාර රජතුමාගේ ආධාර ලබාගෙන සිටි තිස්ස කුමාරයා අතර මගදීම සටන් කර ජය ගෙන දුටුගැමුණු රජු පරාජය කර පන්නා දමා තිබේ. යුද්ධයේ වීරයා අනුරාධපුර මහා සෙනෙවි සිරිනාගය.

තිස්ස කුමාරයාගේ සේනාව භාරව සිටියේ සිරිනාග ය. සටනින් පසු අනුරාධපුරයට ආ  සිරිනාග පිළිගන්නා  ලද්දේ යුද්ධ වීරයකු ලෙසිනි. මහමෙවුනා යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ එළාර මහා රජු ප්‍රමුඛ යුද්ධ මණ්ඩලය ජය පානය කළේ උතුර ජයගන්නට ආ දුටුගැමුණු රජු මහියංගනයේදී ම සටන් කොට පලවා හරින ලද පරිද්දෙනි.

“සිරිනාග, විහාරමහා දේවිය හමු වී දුටුගැමුණු රජු ද්‍රෝහී වී ඇත්තේ පිය රජතුමාට පමණක් නොව මුළු රාජ පරම්පරාවටම බව පෙන්වා දී තිබෙනවා. පුසුල්පිටියේ කම්මල් වැඩ කරන පවුලක තරුණියක් සරණ පාවා ගැනීමෙන් රජ පවුල හෑල්ලුවට ලක් කළ බව පෙන්වා දී තිබෙනවා. ඉන්පසුව  බිසොවුන් වහන්සේ දිගාමඩුල්ලේම වාසය කිරීමට කැමති කරවාගෙන තිබෙනවා. “

දීඝාභය කතා කළේ මහත් සතුටකිනි. එළාර රජතුමාගේත්  දීඝජන්තු මහා සෙනෙවිගේත් සතුට ඉහ වහා ගොසිනි.

“දුටුගැමුණු රජතුමා නැවතත් සටන් වදින්නට පුළුවන්. අප තිස්ස කුමාරයාට තවත් සේනාංකයක් යවන්නට ඕනෑ. සේනාව මෙහෙයවීමට මෙවර උපතිස්ස සෙනෙවි යවමු. දීඝජන්තු යෝජනා කළේය.

දීඝජන්තු සෙනෙවි මෙම යෝජනාව කළේ තිස්සගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්ම නොවේ. විජිතපුර බලකොටුවේ සෙනෙවි තනතුර කුණ්ඩිල උප සෙනෙවිට ලබාදීමේ අභිප්‍රායෙන් බව දීඝාභය තේරුම් ගත්තේය.