Print this Article


අම්මා හිතයි මට අමුතු පිස්සුවක් හැදීගෙන එනවා කියලා

අම්මා හිතයි මට අමුතු පිස්සුවක් හැදීගෙන එනවා කියලා

ඔයා අහලා තියෙනව ද? එස් පහ ගැන.

ඒක ගැන මං ඔයාට කියලා දෙන්නයි හදන්නෙ. ඒක අපේ ම ක්‍රමයක් පස්සෙ ජපානෙට අයිති ක්‍රමයක් විදියට නැවතත් ලංකාවට ආවා. ඒක දැන් ගොඩක් අය හොඳ ක්‍රමයක් විදිහට පිළි අරගෙන තියෙනවා. ඒක අත්හදා බලපු අයට තේරුණා ඒක හරි හොඳ ක්‍රමයක් කියලා. මං හැබැයි මේක කියා දෙන්නේ ඔයාගෙ කාමරේට අදාළ විදිහට. ඒ වුණාට ඒක ඔයාලගෙ ගෙදර සාලෙට, කුස්සියට, ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන්. අපි පටන් ගනිමු කාමරෙන්.....

කාමරේ මහා කුණුගොඩක්

බලන්න ජීවා ඔයාගෙ කාමරේ ඔයා කවදාවත් ප්‍රයෝජනයට නොගන්න දේවල් කොච්චර තියෙනවද? කියලා. පාවිච්චි කරපු දේවල්වල ඉතුරු වෙච්ච, ඉවර වෙච්ච, ඒවා මේවා ඔතාපු දේවල්, ඒවා ආයි ඔයා කවදාවත් පාවිච්චි කරනවාද? දැන් ඔයා මේක කියවන එක පැත්තකින් තියලා ඒවා ඔක්කොම එක ගොඩකට ගහන්න.

ජීවා පුටුවෙන් නැගිට්ටා. ඒ පුංචි කාමරේ ඕනවාට වැඩිය හරියට බඩු තියෙන විත්තිය දැනුයි එයාට තේරෙන්නෙ. පරණ කේක් පෙට්ටි, බිස්කට් පෙට්ටි, ඉවර වෙච්ච පෑන්. තාක්ෂණික විෂයය ඉගෙන ගනිද්දී ඒවා මේවා හදලා ඉතුරු වෙච්ච කොළ කෑලි, මැදලා පැත්තකට කරපු දත් බුරුසු. ඒ අතර ඉවර වෙච්ච දන්තාලේප පැකට්. පුංචි කාලෙ ඉස්කෝලෙ ගෙනිච්ච පොත්, පරණ සටහන්.

“බෑ.. බෑ.. ඒවා කුණු ගොඩට දාල බෑ. සීමන්ට පිස්සු. ඒවා කොච්චර වටින සිහිවටනද? ඇඳුම් වුණත් නොඅඳින ඒවා වැඩියි . ඒ වුණාට ඒවා සිහිවටන” ජීවා නැවත පරිගණකය ළඟට ගියා ලියුමෙ ඉතිරිය කියවන්න.

“විසි කරන්න ලෝබ හිතෙන දේවල් තියෙනවානේ. කමක් නෑ. ඔයා ඒවා අතීත සිහිවටන විදිහට තියාගෙන ඉන්න. දැනට කොහොමවත් පාවිච්චි නොකරන දේවල් වෙනම ගොඩක් ගහන්න.”

ජීවා නැවත කාමරේ පුරා ඇහැ යැව්වා. අම්මා හිතයි මට අමුතු පිස්සුවක් හැදීගෙන එනවා කියලා. ජීවාගේ පොත් මේසෙ ගොඩක් හිස් වෙලා. පාලු වෙලා. ඉස්සෙල්ලා යන්තම් පොතක් තියාගන්න ඉඩ තිබ්බ මේසෙ දැන් හරියට ඉඩ තියෙනවා. ලාච්චු.... ඒවත් එකින් එක ඇරියා. එක ලාච්චුවක ඉඳලා මීයෙක් එළියට පනිද්දී ජීවා පැත්තකට වීසි වුණා. පරණ පොත් කඩදාසි. ජීවා කේන්තියෙන් එළියට ඇද්දා. සීමන් කියාපු විදියට ඒවායින් තියා ගන්න ඕනැයි කියලා හිතිච්චා එක ගොඩකට ගැහුවා. ජීවා කණ්ණාඩි මේසෙ ළඟට ගියා. එතන තමයි වැඩේ. පරණ සෙන්ට් කුප්පි, පවුඩර් පෙට්ටි ගොඩයි. ‘ඒවා නම් වැඩක් නෑ.... ජීවා තමන්ට ම කියා ගත්තා. ඇඳුම් අල්මාරිය අරින්නත් ලෝබයි. ඒවනම් කොහොමවත් අහක දාන්න බෑ. ගිය අවුරුද්දෙ උපන් දිනේට හම්බ වෙච්ච සායත් මැද හරියෙ රෙදි ගොඩ අස්සේ. ජීවා ඒක ඇද්දා. ඒකට උඩිනුයි යටිනුයි තිබිච්ච රෙදි ගොඩ බිමට වැටුණා. හූණු බිත්තර..... “ෂිඞ මුන්ට බිත්තර දාන්න වෙන තැනක් නැතුව වගේ.. ජීවා රෙදි ඔක්කොම එළියට ඇද්දා.

සිහිවටන විදිහට තියා ගත්තට එහෙම ම කියලා තියා ගන්න ගොඩක් නෑ. ජීවා සමහර ගවුම් ඇඟට තියලා බැලුවා. ඒවා එයාට කිට්ටු කරන්නවත් බෑ. සමහර ඒවා හිල් හැදිලා. සුනාමි වෙලාවෙ එළියට දාපු රෙදි ගොන්නට ඒවා ඇතුළු කරන්න බැරි වෙච්ච එකට දැන් දුකයි. “මං ඒවා ඒ වෙලාවෙ නුදුන්නෙ ඇයි...?” දැන් කල්පනා කරලා වැඩක් නෑ. කොට ඒවා, පරණ ඒවා දැන් ජීවාට කොහොමටවත් අඳින්න බෑ. උපන් දිනවලට හම්බවෙච්ච මහා ගොඩයි. හැම උපන් දිනයක් ම මතක් වෙන්න ඇඳුමක් තියා ගන්න එක මෝඩ වැඩක්. ඒවාට වෙන සිහිවටන තියෙන්නෙ. කරාබු දෙක, වළල්ල. ඉතිං ඒවත් එක්ක හම්බවෙච්ච රෙදි මොකටද?. අප්පෝ.. දැන් ජීවාගේ අල්මාරියෙ ගොඩක් ඉඩ තාත්තාගේ පරණ බිල් වගේකුත් තියෙනවා ඒවා අස්සේ. මේව දැන් මොකටද? ජීවාට දැන් හතිත් එක්ක. පරිගණකෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ජීවා අත් දෙකේ කුණු දිහා බැලුවා.

ජීවා ගොඩක් දේවල් අයින් කරන්න පුළුවන් නේද? දැන් හොඳට බලන්න ඔය අතරෙ ඔයා අවශ්‍ය කරන මොනවා හරි දාලා තියෙනවාද? කියල. “නෑ.. නෑ..” ඒකනම් දැන් එයාට හොඳට මතකයි. බලන්න ජීවා ඔයාගෙ ඇඳේ බෙඩ්ෂීට් කීයක් තියෙනවද? කියලා. කොට්ටෙකට උර කීයක් තියෙනවද? කියලා. ඇයි එක පිට එක දැම්මෙ. පරන එක හෝදන්න කම්මැලිකමටනේ. ඒවත් ගලවන්න. ඇඳට ෂීට් දෙකක් තියා ගන්න. කොට්ටෙට උර දෙකක් තියාගන්න. ඔය ටෙඩිබෙයාස්ලා ඔච්චර එක් කරන්නෙ ඇයි....? බලන්න එකම ජාතියෙ ටෙඩිබෙයාස්ලා හතර දෙනෙක් ඔයාගෙ ඇඳ අයිනේ. පොත් රාක්කෙ උඩ. “ඔව්. ඔව්” ඇත්තට ම එක ජාතියෙ හතරක් මොකටද? “පුච්චන්නද....? ‘එපා.. එපා... ඒවා ඔයාගෙ යාළුවකුට දෙන්න. ඒකෙන් ඔයාගෙ යාළුකම වැඩි වෙනවා. ඔයාගෙ කාමරෙත් අනවශ්‍ය දේවල් ඉවත් වෙනවා. ජීවා ඔයාට පරණ සෙරෙප්පු ටික පේනවා නේද.....? බලන්න ඒවායේ තියෙන දූවිලි ගොඩ. ඔයා දැනට ඔයින් පාවිච්චි කරන්නෙ කුට්ටමයි, දෙකයි. ඒත් පහක් තියෙනවා. ඉස්සර ම දාපුවත් තියෙනවා. ගෙවිච්ච නැති ඒවා කාට හරි දෙන්න.’

ඉන්න හිතෙන කාමරයක්

ජීවාට දැන් කාමරේ අලුත් වගේ දැනෙනවා. ඇත්තටම කොච්චර අනවශ්‍ය දේවල් තිබුණාද? “දැන් මගේ කාමරේ තව එක්කෙනෙකුට ඉන්න පුළුවන්.” ජීවා අපි ඔයාගෙ අල්මාරිය ඉස්සෙල්ලා ම සකස් කරමු. ඔයා තීරණය කරන්න අල්මාරියෙ තියෙන්න ඕන මොනවද? කියලා. ඔයා කණ්ණාඩි මේසයක් තියෙද්දිත් ඒකෙ තියෙන්නෙ ඕන ඒවාත් අල්මාරියෙ දාලා. ඔය දෙවෙනි තට්ටුවෙ තියෙන පොත් තියෙන්න ඔතන නෙවෙයි නේද.....? ජීවා ඔයාගෙ බැංකු පොත රෙදි අස්සෙ හැංගුවෙ ඇයි..? පාස්පොට් එක, අත්බෑග් එක එළියෙන් තිබ්බොත් නේද හොඳ..? ජීවා මං යෝජනා කරනවා ඔයාගෙ අල්මාරිය අලුතින් සකස් කරන්න. දාන්න ඕන ඒවාත් මං යෝජනා කරනවා. රෙදි, රත්තරං බඩු, මුදල්... හැබැයි ඔයා මෙච්චර කල් තිබ්බා වගේ එක ගොඩේ නෙමෙයි. ඔයාගෙ ජුවලරි බොක්ස් එකක් තියෙනවා.ඒක බලන්න කොහෙද? කියලා.

‘හා’ දැන් ජීවා හරි කීකරුයි. ජීවාගේ ළඟ කවුරුහරි ඉන්නවා වගේ. ජීවා හිතනදේත් සීමන් දන්නවා. හිතලා ලියුම ලියන කොට ඒකට උත්තරේ ඒකෙ තියෙනවා. ජුවලරි පෙට්ටිය තිබුණේ රෙදි අතරෙ හංගලා. රත්තරන් බඩු තිබ්බෙ ලාච්චුවේ. ලාච්චුවෙ පරණ කාසි, මුදල් නෝට්ටු කීපෙකුත්. ..