Print this Article


දරුවන් ප්‍රඥාවන්තයන් කරන හැටි දැනගන්න උම්මග්ග ජාතක කතාව කියවන්න

දරුවන් ප්‍රඥාවන්තයන් කරන හැටි දැනගන්න උම්මග්ග ජාතක කතාව කියවන්න

" කුමාරයා පළමුව සොරා තම සමීපයට කැඳවා ‘‘ඔබ මේ ගවයාට කන්නට දුන්නේ මොනවාද?' යි ප්‍රශ්න කළා. සොරා පිළිතුරු දෙමින් ‘‘මම මොහුට උළුකැන් පොවා, තලමුරුවට හා උඳු කැව්වා'යි කියා සිටියා."

කවර වයස් මට්ටමක ජීවත් වුණත් පුද්ගලයකුගේ ජීවිතයේ අවසානය දක්වා පවතින්නේ කුඩා අවධියේ ලැබූ අත්දැකීම් සමූහයයි. ඇතැම් දරුවන් මව්පියන්ට නො සලකන්නේ මව්පියන්ගේම වැරැදි නිසයි. මව්පියන් බවට පත් වන්නේ පෙර ළමයින්මයි. එබැවින් මව් පදවිය හෝ පිය පදවිය ලබන හෝ ලබා සිටින සියලු දෙනාම තම දරුවන්ගේ දැනුම වර්ධනයට වෙහෙස වන්නාක් මෙන් ම ගුණ ධර්ම සහ ප්‍රඥාව වර්ධනයටත් සහාය විය යුතු වෙනවා. සිංහල සංස්කෘතිය සකස්වී තිබෙන්නේ බුදුදහමත් සමගයි.

දියුණු ලෝකයක ජීවත්වන දරුවා තාක්ෂණයත් සමඟ කාලය ගත කරනවා. දෙමාපියන් ද තමන්ට ලබා ගැනීමට නොහැකි වුණ දේ දරුවන් වෙතින් හෝ ලබා ගැනීමට වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් උපයන මුදල්, ශ්‍රමය, කාලය, දේපළ මෙන් ම තම ජීවිතය ද කැප කරන අවස්ථා බහුලව දැකීමට පුළුවන්. මේ ආකාරයෙන් කැපවීම් කර උසස් රැකියා අවස්ථාවක් හෝ ව්‍යවසායකයෙක් කිරීම හෝ සිදු කරනවා.

සමාජයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට යාමේ දී තීරණ ගැනීමේ හැකියාව, ලාභය, කීර්තිය, ප්‍රශංසාව සහ සැපත වැනි අවස්ථාවල දී අධික සතුටට පත් වෙනවා. ඒවගේම අලාභය, අපකීර්තිය, නින්දාව සහ දුක පැමිණි විට මහත් දුකට, දොම්නසට ද පත්වෙනවා. එබැවින් කුඩා අවධියේ සිට ම ගැටලු නිරාකරණයට, ඉවසීමට, යමක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ප්‍රඥාව මෙහෙයවීමට ඉගැන්වීම හෝ හුරු කිරීම කළ යුතුව පවතිනවා.

මුදල් මතම පදනම් වූ ජීවිතයක් කුඩා දරුවාගේ මනසට ද ඇතුළත් කිරීමට තරම් සමාජය සංකීර්ණ වී තිබෙනවා. එහෙත් දරුවන් විවාහ ජීවිතයට ඇතුළත් වී දික්කසාද සිදුවන විටත්, රැකියා ස්ථානයේ දී හෝ සමාජ ක්‍රියාරකම්වල දී ගැටලුවලට මැදිවී ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගන්නා අවස්ථාවල දීත් දෙමාපියන් හඩා වැටෙන්නේ තම දරුවන්ට දැනුම පමණක් දායාද කිරීමේ විපාකය තමන් අත්දකින බව පවසමිනුයි.

දහම් පාසලෙන් යහපත් ගුණ ධර්ම හුරු කරන නමුත් තම මනස මෙහෙයවා කටයුතු කිරීමට නම් ප්‍රායෝගික ලෝකයේ අත්දැකීම් ලබා ගැනීමට දරුවන්ට අවස්ථාව උදා කළ යුතු වෙනවා. මෙ ලොවත් පරලොවත් ජය ගැනීමට ශ්‍රද්ධාව, සීලය, දානය සහ ප්‍රඥාව යන කරුණු හතර පූර්ණ කරගත යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.

කුඩා දරුවන්ගේ ජීවිතයට මෙම කරුණු හතර ඇතුළත් කිරීමට වෙහෙසෙන මව්පියන් නැත්තේ ම නොවේ. එය සසර ගමනටත් උපකාර වන්නක්. එවැනි අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරන සමයේ එක් ආත්මයක මහෞෂධ පණ්ඩිතයන් නමින් උපත ලබා කළ කී දෑ ඇතුළත් ජාතක කථාවක දක්නට ලැබෙනවා. මේ ජාතක කථාව නො ඇසූ බෞද්ධයකු නැති තරම්. එය උම්මග්ග ජාතකය නමින් හඳුන්වනවා.

හත් හැවිරිදි පුංචි කුමාරයකු සමයේ දී ම මහා පණ්ඩිතයකුගේ වික්‍රම දක්වන්නේ ප්‍රඥාවේ වැදගත්කම නිස යි. දිනක් එක් ගොවියෙක් වැසි සමය උදාවන බව කල්තියා දැනගෙන තමන්ගේ කුඹුර අස්වැද්දීමට ගවයෙක් මිල දී ගැනීමට කටයුතු කළා. පසුදා මහත් සෙනෙහසින් ඌට තණ කැවීමට විශාල ගොදුරු බිමකට ගෙන ගොස් තණ කැවීමට පටන් ගත්තා.

ගසක් මුල ඉඳගෙන සතා දිහා බලාගෙන සිටි ඔහුට දැඩි මහන්සිය නිසා එක්විටම නින්ද යනවා. ඒ අතර එක් හොරෙක් ගවයා සොරකම් කිරීමට පැමිණ අයිතිකරුගේ ප්‍රමාද දෝෂයක් එළඹෙන තෙක් සිට වහා ගවයා අරගෙන පිටත් වෙනවා.

ඒ මොහොතේ අවදි වූ ගව හිමියා තම ගවයා සිටි තැන විපරම් කළත් සොයා ගැනීමට නොහැකි වෙනවා. පසුව මහ හඬින් කෑ ගසමින් අවට පරීක්ෂා කිරීමට පටන් ගත්තා. එවිට දක්නට ලැබුණේ කිසියම් පුද්ගලයකු ගවයා අරගෙන ඈතින් යන ආකාරයක්.

ඔහු වහාම පසුපස ලුහු බැඳ ගොස් සොරා අමතා ‘‘තමුන්නාන්සේ මගේ ගවයා කොතැනකට ද අරගෙන යන්නේ? එවිට සොරා කිසිත් බියක් නැතිව ‘‘මගේ ගවයා මට ඕන තැනකට මම අරගෙන යනවා. ඒකට තොපගෙන් අවසර කුමටද? යි පිළිතුරු දෙනවා. මේ නිසා දෙදෙනා අතර මහා කලබලයක් ඇති වුණා. අසල්වැසියන් ද ඔවුන් වටා එකතු වී ඒ දෙස බලා සිටින්නට වුණා. එවිට එතැනට පැමිණි කී‍්‍රඩා කරමින් සිටි සත් හැවිරිදි පුංචි මහෞෂධ කුමාරයා ගැටලුව විසඳා දීමට ඉදිරිපත් වුණා.

ඔවුන් අමතා ‘‘මම ඔබලාගේ ප්‍රශ්නය විසඳා දෙන්නම්, හැබැයි මගේ විසඳුමේ පිහිටා සිටිය යුතු යි” යි කියා සිටියා. දෙදෙනා ම එයට එකඟ වුණා.

කුමාරයා පළමුව සොරා තම සමීපයට කැඳවා ‘‘ඔබ මේ ගවයාට කන්නට දුන්නේ මොනවාද? යි ප්‍රශ්න කළා. සොරා පිළිතුරු දෙමින් ‘‘මම මොහුට උළුකැන් පොවා, තලමුරුවට හා උඳු කැව්වායි කියා සිටියා.

දෙවැනියට අයිතිකරු ගෙන්වා ‘‘ඔබ මොහුට කුමක් කවන ලද්දේද?”යි අසා සිටියා.

එවිට ඔහු පණ්ඩිතයන් අමතා ‘‘මම මේ සතා මිලදී ගත්තේ ඊයේ. අද කවන ලද්දේ තණ කොළම යි. මොහුගේ කුස පිරවීමට රසවත් ආහාර දීමට මට වත්කමක් නෑ කියා සිටියා.

දෙදෙනාගේ ම අදහස් අසාගෙන සිටි කුමාරයා පුවගු කොළ ගෙන්වාගෙන වනෙහි දමා කොටා පැන් බවට හරවාගෙන ගවයාට පෙවීම් කළා. එකෙණෙහි ම ගවයා තණ කොළ ම ගොම ලෙස දැම්මා. ඒ දැක මහෞෂධ පණ්ඩිතයෝ සොරා සහ ගව හිමියා කවුද? යි රැස් වූ මිනිසුන්ගෙන් විමසා සිටියා.

මොහු සොරා ය. මොහු අයිතිකරු යැයි ඔවුන් පැවසුවා. එවිට සොරා ගෙන්වා අවවාද කොට මුදාහැරියා. කුඩා කුමාරයාගේ ප්‍රඥාව අසා ගම්දනව් වැසි සියලු දෙනාම පුදුමයට පත් වුණා. මෙවැනි ප්‍රශ්න විසඳීම් විශාල ප්‍රමාණයක් උම්මග්ග ජාතක කථාවේ සදහන් වෙනවා. මහෞෂධ කුමාරයාට සත්හැවිරිදි වියේ දී ම මෙ තරම් ප්‍රඥාවක් පහළ වූයේ පෙර පුරුදු කළ ප්‍රඥාව නිසා ම යි. එබැවින් තම දරුවන්ගේ යහපත සහ දියුණුව දකින දෙමාපියන් දරුවාට දැනුම ලබා දීමට වෙහෙසනවා මෙන් ම අත්දැකීම් මඟින් ප්‍රඥාව දියුණු කිරීමට ද අවස්ථාව සලසා දිය යුතු වෙනවා.

ඒ වෙනුවෙන් හුරුකිරීම් කළ යුතු වෙනවා. දැනුම මෙලොවට පමණක් සීමාවන අතර ප්‍රඥාව පුහුණු කරගෙන සසර පුරාවට ම රැගෙන යාමේ හැකියාවක් පවතිනවා. එය අවබෝධ කර ගැනීම ගුණධර්ම පිරුණු, දියුණු සමාජයක් බිහිකිරීමට ද හේතු වෙනවා.