Print this Article


රහතන් වහන්සේට සෘද්ධිමය හැකියාව තිබිය යුතු ම ද?

රහතන් වහන්සේට සෘද්ධිමය හැකියාව තිබිය යුතු ම ද?

සිතුල්පව්ව මහ වෙහෙරෙහි වැඩ සිටි මහ රහතන් වහන්සේ නමකගේ උපස්ථායක භික්‍ෂුව ලෙස කටයුතු කරන ලද්දේ මහලු කල පැවිදි වූ භික්‍ෂුවකි. එක් දිනක් මේ භික්‍ෂූව මහ රහතන් වහන්සේගේ පා සිවුරු රැගෙන උන්වහන්සේ පසුපසින් යන ගමන් “ස්වාමිනි, ආර්යයන් වහන්සේ කියන්නේ මොන විදියේ ඇත්තන්ට දැ?”යි විමසයි. එකල්හි මහ රහතන් වහන්සේ “ඇවැත්නි, ආර්යයන් හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. ඇතැම් මහලු අය ආර්යයන්ට ඇප උපස්ථාන කරමින්, උන්වහන්සේගේ පා සිවුරු රැගෙන උන්වහන්සේලා සමඟ එහා මෙහා යමින් ආර්යන් වහන්සේ නො දනිති” යි ප්‍රකාශ කරයි.

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් බිඳ දැමූ, අලෝභ, අද්වේෂ, අමෝහ කුසල මූලයන් වැඩූ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අවබෝධ කළ, පටිච්චසමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ උත්තමයන් රහත් යන පදයෙන් අර්ථවත් වෙයි. රහත් තත්ත්වයට පත් වූ පසු සිදු කරන සියලු කුසල් විපාක දීමක් නොවන අතර, එය ක්‍රියාවක් පමණක් බවට පත් වෙයි. මෙයට හේතු වන්නේ නැවත උපතක් නොමැති නිසා එම කුසලවල විපාක අත්විඳීමට නො ලැබීම යි.

නැවත උපතක් නැති, භෞතික හෝ අභෞතික තෘෂ්ණාවක් නොමැති උත්තමයන්ගේ ලක්‍ෂණ කෙබඳු දැයි සොයා බැලීම වැදගත් ය. රහතන් වහන්සේ නමක් නම් ඍද්ධිය හිමි වූ තැනැත්තකු විය යුතු බව ලක්දිව බෞද්ධ ජනයාගේ දැඩි විශ්වාසය යි. එහෙත් පෙළ දහමෙහි සහ අටුවා කථාවස්තුවල දැක්වෙන පුවත්වලින් පැහැදිලි වන්නේ රහත් භාවය ලැබූ සියලු දෙනාට ම ඍද්ධිමය හැකියාව නො ලැබෙන බවයි. මෙය මෙසේ නම් කවර ලක්‍ෂණවලින් රහතන් වහන්සේලා හඳුනාගත හැකි වේ ද? යන්න විමසා බැලිය යුතු ය. බුදුන් වහන්සේ විසින් ධම්මපද දේශනාවේ දී රහතන් වහන්සේලාගේ ලක්‍ෂණ සමූහයක් පෙන්වා දී ඇත. එයින් රහතන් වහන්සේ නමකගේ ලක්‍ෂණ කෙබඳු ද යන්න පෙනෙයි. එහි දී රහතන් වහන්සේ ශෝක නොවීම, කෙලෙස් දැවිල්ලක් නොමැතිවීම, මනා සිහි නුවණින් යුතු වීම, ලබා ගත් ධ්‍යානාදියෙහි නැවත නැවත යෙදීම, වාසස්ථානවල නො ඇලීම, ගොදුරු ගෙන විල් අතහැර යන හංසයන් මෙන් ඔවුන් හැම තැනක් ම අපේක්‍ෂා රහිත ව හැර දමා යාම, රාග ද්වේෂ මෝහ නොමැතිවීම, කර්ම රැස් කිරීමක් නොමැතිවීම, සිවුපසය රැස් කිරීමක් නොමැතිවීම, තම ආහාරයෙහි පමණ දැනීම, අහසෙහි පක්‍ෂීන් ගිය මඟ හඳුනා ගත නො හැක්කාක් මෙන් රහතුන් ගිය මාර්ගයෙහි සලකුණු හඳුනා ගැනීමට නො හැකිවීම, කාමාදි ආශ්‍රව සියල්ල දුරු කර සිටීම, ආහාරයෙහි නොඇලීම, මානයක් නොමැතිවීම, පංචේන්ද්‍රියන් මනා ව සංසිඳුවා සිටීම, චපල ගති නොමැතිවීම, අට ලෝදහමෙහි කම්පා නොවීම, ධුතාඞග ආදි ව්‍රත දැරීම, මඩ නැති විලක් මෙන් පිරිසුදු පැවැතුම් ඇතිවීම, සුගති දුගති දෙකෙහි හැසිරීම් නැතිවීම, චතුරාර්ය සත්‍ය මනාව දැන සිටීම, සිත කය වචනය යන තුන් දොර ශාන්ත බවින් යුතුවීම, බුදුරජාණන් වහන්සේ හැර අන්‍ය ශාස්තෘන් කෙරෙහි ඇදහිලි නොමැතිවීම, බුද්ධ දේශනාව හැර වෙනත් දේශනා ප්‍රකාශ නො කිරීම, තෘෂ්ණාව පහ කර සිටීම, රහතුන් වැඩ සිටින ස්ථාන සිත්කලුවීම යන ලක්‍ෂණ රහතන් වහන්සේ නමක වෙතින් ප්‍රදර්ශනය වන බව පෙන්වා දී ඇත. මෙම ලක්‍ෂණ බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළත් බොහෝ රහතන් වහන්සේපෘථග්ජන භික්‍ෂූන්ගෙන් වෙන් කර හඳුනා ගැනිම අපහසු ය. ඒ බව මජ්ක්‍ධිම නිකාය අටුවාවේ කථාවස්තුවල දැක්වෙන කථා පුවතකින් තහවුරු වෙයි.

සිතුල්පව්ව මහ වෙහෙරෙහි වැඩ සිටි මහ රහතන් වහන්සේ නමකගේ උපස්ථායක භික්‍ෂුව ලෙස කටයුතු කරන ලද්දේ මහලු කල පැවිදි වූ භික්‍ෂුවකි. එක් දිනක් මේ භික්‍ෂූව මහ රහතන් වහන්සේගේ පා සිවුරු රැගෙන උන්වහන්සේ පසුපසින් යන ගමන් “ස්වාමිනි, ආර්යයන් වහන්සේ කියන්නේ මොන විදියේ ඇත්තන්ට දැ?”යි විමසයි. එකල්හි මහ රහතන් වහන්සේ “ඇවැත්නි, ආර්යයන් හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. ඇතැම් මහලු අය ආර්යයන්ට ඇප උපස්ථාන කරමින්, උන්වහන්සේගේ පා සිවුරු රැගෙන උන්වහන්සේලා සමඟ එහා මෙහා යමින් ආර්යන් වහන්සේ නො දනිති” යි ප්‍රකාශ කරයි. මෙයින් පැහැදිලි වන්නේ රහතන් වහන්සේ සමීපයෙහි කොතෙකුත් ගැවසුණ ද, උන්වහන්සේ ඇසුරු කළ ද කිසිදු වෙනසක් දැක ගත නො හැකි බවකි. එහෙත් හුදකලා ජීවිතයට ප්‍රිය කිරීම, බියෙන් තොරවීම, ඇවතින් තොරවීම සහ අංගචලනවලින් විකාර නො කිරීම වැනි ලක්‍ෂණ රහතන් වහන්සේලාට ඇති බව ඇතැම් අටුවා කථාවල සඳහන් වෙයි.