Print this Article


පහන් සිතක කවි

ජීවිතය

තණ අග රැඳි පිනි බිඳකිය ජීවිතය
පහන් දැල්ල මෙන් නිවී යයි ජීවිතය
සතුටක් එක්ක කල් යවනා ජීවිතය
කවුරුත් කිසි දිනක නොසිතන ජීවිතය

තරුණ වියේ ජිවිතයට සතුට සොයනවා
මැදියම් වියේ කොයි කවුරුත් සුවය පතනවා
මහලු වියේ කවුරුත් බණ පොත් පෙරළනවා
දිවියේ අරුත නම් එකලට වැටහෙනවා

පින් පව් දෙකක් ඇත මෙලොවේ දැන ගන්න
නිවන උතුම් හැකි කාටත් එහි යන්න
දන් පින් කළොත් නිරතුරු සිත සතුටින්න
හැකි වේ සසර සයුරෙන් හැම ගොඩ යන්න

****

ඇය සදහම් බෙදන්නී

කිරණ විහිදුවන
ළා හිරු
ඉද්දමල් පිපිණු
ගුරුපාර දිගේ
සුදු ඔසරියක් ඇට පොටක්

දිගට ගෙතුන වරලසක්
මිරි වැඩි සඟළක්
නොපැළඳ පා
ඇදෙන්නී ය දම් පියසට

ගුරු මෑණී.....

සුදෝ සුදු මල් වට්ටියක්
පුදසුනේ පුදන්නී
ලාභ පැසසුම් නොලැබ
දම් බිඳක් බෙදන්නී...

මුදුවදන් කියන්නී
සෙනෙහසින්
යහ මඟට මං සදන්නී.

****

ජයග්‍රාහී නිර්මාණය

සැනසීම

අප ඉපදුණේ යමිකිසි හේතුවක් මතයි
සැප දුක ලැබ දෙන්නේ හේතුවෙ ඵලය නිසයි
දැන් ඇති සසර සැරි සැරවා මරුව වසයි
හේතුව නසා සැනසෙමු අයුෂය ටිකයි

හේතුව නසන සම්බුදු අරි අටඟි මඟයි
මිච්ඡා දිට්ඨි සිත දරදඬු සසර දිගයි
ලෝභ දෝෂ මෝහය දුරලීම හොඳයි
සම්මා සංකල්ප දිට්ඨිය නසන මඟයි

සම්මා දිට්ඨියෙන් ලොව දෙස බලන කල
දස අකුසලෙන් වෙන් වෙයි සිත කර්ම ඵල
සම්මා වාචා ආජීවය වැඩෙන කල
අධි ශීලයකි තැන්පත් සිත අවධි කළ

දස අකුසලෙන් වෙන්වෙයි සිත සමාධිය
දුක නිවි නිවී යයි සමුදයේ මාර්ගය
සංයෝජනා විසිරෙයි ප්‍රඥා සතිය
සම්මා ඥාන විමුක්තිය දෙයි නිරෝදය

කලකිනි කලණ මිතුරකු දිවියට එන්නේ
අවබෝධයෙනි චතුසත්‍යය පවසන්නේ
ඇයි අප තව ම කල්මරමින් පසු වන්නේ
අධිටන් කරමු දිරි දෙමු ඵල ලැබ මින්නේ

****

පුදුමයි! ඒත් ඇත්තයි

ගඟට පැන
ගංදියේ ගිලෙමින්
නැවත සැණෙකින්
උඩට ආ කල

පෙර තිබූ ගඟ ද නැත
පෙර සිටිය මම ද නැත
සියලු දේ වෙනස් වී
අතුරුදන් වී ගිහින්

****

සසර සිත්

දැවි දැවී යනවා
වැලලී යනවා
දිනයක මේ කය
නොපෙනී යනවා

කද මළු බඳීනවා
හැරී බලනවා
මදි බව දැනෙනවා
බරටම බඳීනවා

මල්ල ලෙහනවා
හිස් බව පේනවා
පව් එහි තිබෙනවා
පින් නැති වෙනවා

කළ පින් සැප වී
කළ පව් දුක් වී
පසු පස එනවා
කර්මය පල දී

හෙමිහිට හෙමිහිට
ගමනක් එනවා
හෙමිහිට නො පෙනෙන
ගමනක යනවා

ඉපදෙන මැරෙනා
කව්රුත් යනවා
පව් කළ සිත්
හඬමින් යනවා

හිනැහී යනවා
එතෙර ව යනවා
පින් කළ සිත්
නිවනට යනවා

****

වඳීමු කූරගල පුදබිම

මහ ගල්තලා තැන තැන ඇත පේර පැළ
වන තුරුලතා මැද ගස්වල වීර පල
බුදු පිළිරුව චේති බෝධිය දේවි බල
ඇස් දෙක කුමට? නොදැකපු මෙම කූරගල

ආදී පින්වතුන් දී ඇත වීර බල
එනිසම අනාගතයෙ දි දේ සාර පල
බැලුවම කන්ද මුදුනේ සිට මහා හෙල
රටට ම වාසනා ඉපැරැණි කූරගල

තරුණ පිරිස - ධනවත් අය සූර පිල
මේ අය හට තිබේ සිතනට ධීර බල
එම වැනි අය සිටිය යුතු මෙහි පාර මුල
එක් වී ගොඩනඟමු පුදබිම කූරගල

වතුරකුඹුරෙ හිමි සඳ අපෙ නෙල්ලිගල
ශක්තිය පුදා ඇත මෙතැනට දෙන්න බල
සපැමිණ පින්වතුනි ඔබසැම ගන්න මුල
රටවැසි සැමට ඇරයුම - එමු කුහරගල

****

මා දුටු ගම

ගම පුරා තිබූ ඒ - පුංචි මැටි ගෙවල් පොඩි
පැදුර දැමූ ඉදිරි පිල - මිදුලෙ තිබූ පිච්ච වැල

සමනල බිඟු කැළ - මල් පඳුර වසා සිටි
ඒ සොඳුරු දසුන් නැත - කොයි ද අද දකින්නට

වෙල් යාය පුරාවට - ඇවිද ගිය ගව රංචු
තුටින් සෙල්ලම් කෙරුව - පුංචි දරු කැළ කොයි ද

මී ගවයො වෙල පුරා - සිටිය යුරු තණ කකා
උන්ගෙ ඇඟ මස් ද - දන් දුනි ද මිනිසුන්ට

දර මිටිය හිස තබා - පළා මිටි ඉණ ඔතා
වෙරලු ගෙඩි අත තබා - ගෙනා ඇය කොයි කියන්

යහගුණය පිරී ගිය - මිනිසුන්ගෙන් පිරුණ
සොඳුරු බව පිරුණ ගම - අද අඳුරුවී කිම් ද

****

යසෝධරාවෙනි

තමා හැර ගිය තම හිමිගෙ ගුණ
ගයන්නට ඔබෙ පහන් විය නැණ
උත්තමාවියෙ ඔබය දින මිණ
පතිදහම් මඟ සදා ජය මිණ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.