Print this Article


ත්‍රිපිටකය පිළිබඳ නිවැරැදි ධර්ම ඥානයක් ලබා ගැනීමෙන් සම්බුද්ධ ශාසනය බබළවන මහ තෙරනමක් විය හැකියි

ත්‍රිපිටකය පිළිබඳ නිවැරැදි ධර්ම ඥානයක් ලබා ගැනීමෙන් සම්බුද්ධ ශාසනය බබළවන මහ තෙරනමක් විය හැකියි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ රත්මලේ දන්දෙණිය දකුණ මිල්ලගිරි විහාර ධර්මායතනාධිපති බෙලිඅත්ත නිහිළුව සිරි ධම්මානන්ද පරිවේණාධිපති ශ්‍රී රෝහණ සංඝ සභාවේ ගරු විධායක සභික රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාරිය දර්ශනපති හත්තොටුවේ ඉන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

පුංචි කාලයේ සිටම ශාසනික ජීවිතය ඇලුම් කළ ඔබ වහන්සේ උසස් ජීවන දර්ශනයක් ගොඩනඟාගත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කිරීමට ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබුණ ආභාසය මොන වගේ ද? අපේ හාමුදුරුවනේ,

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන හත්තොටුව කියන බොහොම සුන්දර ගැමි පරිසරයක තමයි මම උප්පත්තිය ලැබුවේ. මගේ පියා විමලසේන ලොකුකරවිට මහත්මා සහ මගේ මෑණියන් අබේවික්‍රම බමුණුසිංහ කංකාණම්ගේ ආරියවතී මහත්මිය, ගොවිතැන ජීවනෝපාය කරගෙන බොහොම ධාර්මික ව ජීවත්වුණ ශ්‍රද්ධාවන්ත ගුණගරුක මව්පිය දෙපළක්. මා ඇතුළු ව සහෝදර සහෝදරියන් තුන් දෙනකු සිටි පවුලක 1978 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනි දින ජන්ම දායාදය ලැබුවා. කුඩා කාලයේ සිට ම බොහොම ශ්‍රද්ධාවෙන්, ශාසනික ළැදියාවෙන් කටයුතු කිරීමට ලොකු රුචිකත්වයක් මා තුළ තිබුණා. බොහොම ආසාවෙන් දහම් පාසල් ගියා. ඒ වගේ ම නිතර ස්වාමීන් වහන්සේලා සමීප ව ඇසුරු කිරීමටත්, නිතර ම විහාරස්ථානය ට යාමත් පුරුද්දක් ව පැවතුණා. එම ආසාව නිසාම මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව පැවිදිවීමේ අරමුණින් මාතර පහළපීක්වැල්ල පන්ථාරාම පුරාණ විහාරස්ථානය වෙත පැමිණිලා ශාසනික වත් පිළිවෙත් පුරුදු පුහුණු වීමට කටයුතු කළා.

මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක, ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභික විචිත්‍රභාණි ඌරුමුත්තේ සෝමරතන නායක හාමුදුරුවන් වහන්සේ හා කිතලගම බුද්ධප්‍රිය ලොකු හාමුදුරුවන් වහන්සේ යන හාමුදුරුවන් වහන්සේලා දෙනමගේ ආචාර්යත්වයෙන් 1990 වර්ෂයේ දී උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන්නට සංසාරගත පුණ්‍ය ශක්තිය බලවත් වුණා. ඒ වගේ ම 1999 වර්ෂයේ දී මාතර තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පරිවේණස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී මා පැවිදි කළ ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා පුණ්‍ය කර්මය සිදු වූ බව පුණ්‍යානුමෝදනා පූර්වක ව සිහිපත් කළ යුතුයි. මා පැවිදි කළ දා පටන් අවවාද අනුශාසනා ලබා දෙමින්, ශාසනික ප්‍රතිපදාවන් පුරුදු පුහුණු කරමින් , භික්ෂූත්වයට උරුම වූ උත්තරීතර පූජනීයත්වයට පත්වීමට විශාල මඟ පෙන්වීමක් සිදු කළ උතුම් යතීන්ද්‍රයන් වහන්සේලා ගෞරව පූර්වක ව කෘතවේදී ව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු යි. උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා පිළිපදිමින් ගුරු හාමුදුරුවන් වහන්සේ වෙත කීකරුව, ගුරු සිත නොරිදවා ධර්ම ශාස්ත්‍රය ලබා ගැනීමට සැම විටම වගබලා ගත්තා.

ඔබ වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගත් අවධිය පිළිබඳව පැහැදිලි කරන්න හාමුදුරුවනේ,

පැවිදිවීමෙන් අනතුරුව නායක හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මාතර මිගදායේ සිරි රතනපාල පිරිවෙනින් මුලික පිරිවෙන් අධ්‍යාපනයත්, කිතුලේවෙල ජයමහා විහාර මහ පිරිවෙනින් උසස් අධ්‍යාපනයත් ලැබුවා. කොළඹ මාලිඟාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් ප්‍රචීන අධ්‍යාපනය ලබා ගැනීමට කටයුතු කළා. ඒ වගේ ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, රුහුණු විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තා. 2001 වර්ෂයේ දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් පවත්වනු ලබන ප්‍රාචීන අවසාන විභාගයෙන් උසස් ලෙස සමත්වීමෙන් රාජකීය පණ්ඩිත උපාධිය, සුමංගල ගුණානුස්මරණ සභාවෙන් පවත්වන ත්‍රිපිටකාචාර්ය විභාගයෙන් සමත් ව ත්‍රිපිටකාචරිය උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

ඔබ වහන්සේ ගේ ධර්ම ශාස්ත්‍රීය සේවයත්, ජාතික, ආගමික, ශාසනික සේවයත් පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරනවා නම්, හාමුදුරුවනේ,

අටුවා තුනක් පරිවර්තනය කර තිබෙනවා. පාලි අට්ඨකථා සාහිත්‍යයෙන් හෙළිවන සිහළ අට්ඨ කථා උපාධි නිබන්ධනය ග්‍රන්ථයක් වශයෙන් පළ කළා. සංයුක්ත නිකාය අට්ඨ කතා දෙවන භාගය, ථේර ගාථා අට්ඨ කථා පළමු භාගය ,මහානිද්දේසට්ඨ කතා පොත ආදී ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. පුස්කොළ පොත් ඇසුරින් අටපිරිකර දානානිසංස ග්‍රන්ථය රචනා කළා. දීඝ නාකිය ඨිකා පාඨික වර්ගය සිංහලට පරිවර්තනය කළා. විශාඛා මහා උපාසිකාව ග්‍රන්ථය, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට නියමිත පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ එකතුව ඇතුළත්ව තවත් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කළා. ඒ වගේ ම පුවත්පත් සඟරා වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය ලිපි පළ කර තිබෙනවා.

බෙලිඅත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන නිහිළුව ධම්මානන්ද මහ පිරිවනේ ආරම්භක පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් 2003 වර්ෂයේ සිට වර්තමානය දක්වා ස්වාමීන් වහන්සේලාට ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා.

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන මිල්ලගිරි විහාර ධර්මායතන විහාරස්ථානය සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස ඉදිකිරීමට කටයුතු කළා වගේ ම සිරි සරණාගමණ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන් ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරනවා. ප්‍රදේශයේ සමිති සමාගම් රැසක අනුශාසකත්වය ලබා දෙමින්, සභාපතිත්වය දරමින් ප්‍රදේශයේ සුභසාධනය, සංවර්ධනය වෙනුවෙන් කැප වෙනවා.

ඒ වගේ ම ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක සභික හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. 2019 වර්ෂයේ සිට ශ්‍රී රෝහණ සංඝ සභාවෙන් මාසිකව පළ කරන ශ්‍රී රෝහණ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරමින් ශ්‍රී රෝහණ සංඝ සභාවට ශක්තියක් වෙමින් වැඩ සිටිනවා.

පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන පොඩි හාමුදුරුවන් වහන්සේලාට ලබා දෙන උපදෙස් මොන වගේ ද? අපේ හාමුදූරුවනේ,

පොඩි හාමුදුරුවන් වහන්සේලාට නිතරම අනුශාසනා කරන්නේ දායකයන්ගේ සිත පැහැදෙන ආකාරයට කටයුතු කරන්න අවශ්‍ය කරන බවයි. මාසයක‌ට දෙවතාවක් කෙස් රැවුල් බාල ප්‍රසාදජනක ව, පිරිසුදු ව, සංවරශීලී ව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ම ශ්‍රමණ පිළිවෙත් අනුගමනය කරමින්, සීලය ආවර්ජනා කරමින් ශීලවන්ත ව ස්වාමීන් වහන්සේ නමකට අදාළ නියමිත අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු යි. ගුරු සිත නොරිදවා, ගුරුදෙවෝත්තමයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදිමින්, භාෂා ශාස්ත්‍ර දැනුම ලබා ගෙන ත්‍රිපිටකය හොඳීන් ඉගෙන ගෙන නිවැරැදි ධර්මඤාණයක් ලබා ගැනීමෙන් සම්බුද්ධ ශාසනය බබළවන මහතෙර නමක් වන්නට හැකියාව ලැබෙනවා . පාලි, සිංහල, සංස්කෘත භාෂාව මූලික කරගෙන මැනවින් අධ්‍යාපනය ලබා ගැනීම අවශ්‍යයි.