Print this Article


සදහම් ආලෝකයෙන් ලක්දිව එළිය කළ සිහි කර වඳීමු අනුබුදු හිමි ගුණ පතළ

සදහම් ආලෝකයෙන් ලක්දිව එළිය කළ සිහි කර වඳීමු අනුබුදු හිමි ගුණ පතළ

මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම ගැන ඇසූ උත්තිය රජු මහත් වේදනාවට පත් විය. වහා සෑගිරියට ගියේ ය. නිසල ශ්‍රී දේහයට වන්දනා කොට මිහිඳු මා හිමියන්ගේ උතුම් ගුණ කඳ පවසමින් මහත් ශෝක විය.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අප මාතෘ භූමියට දායාද කොට වදාළේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ය.

ගෞතම බුදු සසුනේ වැඩ සිටි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ තෙවන ධර්ම සංගායනාවෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේට දන්වා සිටියේ

ඔබ වහන්සේ ලංකා දීපයට වැඩම කොට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය එහි පිහිටුවන ලෙසට ය. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වූ පොසොන් පුන් පෝ දින ලක්වැසි අපට අමා දහම් වැසි වස්වනු පිණිස අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ සේක.

ධර්ම දූත මෙහෙවර. . .

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මුල් වසරෙහි මහමෙව්නා උයනෙහි දෙවන පෑතිස් රජු ලවා මහාවිහාරය කරවූහ. දෙවනු ව මිහින්තලේ සෑගිරිය ද, තෙවනු ව ථූපාරාම සෑරදුන් වහන්සේ ද කරවූහ. සිව්වනුව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වූ අතර, පස්වෙනුව රුවන්මැලි මහා සෑ රදුන් වහන්සේ ඉදිවන ස්ථානයේ ගල්ටැඹ පිහිටුවූ සේක. සයවනුව ඉසුරුමුණි විහාරය මෙන් ම පඨමක චේතියත්, වෙස්සගිරි විහාරයත් කරවීමට අනුශාසනා කළේ මිහිඳු මා හිමියන් ම ය. එදා පටන් ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අපට උරුම විය.

මිහිඳු මා හිමියන් පිරිනිවන් පා වදාළ අවස්ථාවේ අප රට පාලනය කරනු ලැබුවේ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු වූ උත්තිය රජු විසිනි. මිහිඳු මා හිමියන් ලක්දිවට වඩින විට තිස් දෙවැනි වියේ පසු වූ සේක‍ . උන්වහන්සේ අවුරුදු අසූවක් ආයු වැළඳු සේක. උපසම්පදාවෙන් සැටවස් පිරී තිබුණි. ඒ කාලයේ උන්වහන්සේ වැඩ සිටියේ මිහින්තලේ සෑගිරි වෙහෙරේ ය.

හෙළදිව එළිය කළ හිරු මඬල බැස යයි. . .

සියලු ධර්මයන්හි අනිත්‍ය බව පසක් කරමින් අපගේ කල්‍යාණ මිත්‍ර වූ, ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. එදින වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවස යි. එනිසා එම දිනය එකල හෙළ බොදුනුවන් හැඳීන්වූයේ "ශ්‍රී මිහිඳු පුර අටවක" නිමිනි. එනම් බුද්ධ වර්ෂ 284 දී ය. මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම ගැන ඇසූ උත්තිය රජු මහත් වේදනාවට පත් විය. වහා සෑගිරියට ගියේ ය. නිසල ශ්‍රී දේහයට වන්දනා කොට මිහිඳු මා හිමියන්ගේ උතුම් ගුණ කඳ පවසමින් මහත් ශෝක විය. රන් දෙණක සුවඳ තෙල් පුරවා ශ්‍රී දේහය එහි තැන්පත් කොට රන් කුළුගෙයක තබා මහත් ගෞරව‌යෙන් අනුරාධපුරයට වඩමවන ලද්දේ ය. ධජ පතාක ඔසවා, තොරන් බඳවා

මල් මාලාවන්ගෙන් සරසා, පුන්කලස් තබ්බවා නගරය අලංකාර කරන ලද්දේ ය. මා හිමියන්ට කෘත ගුණ දැක්වීමට බොහෝ බොදුනුවෝ දිවයිනේ නන් දෙසින් ඇදී ආහ. ශ්‍රී දේහය කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පුරා අපමණ පූජෝපහාර පවත්වන ලද්දේ ය. දෙවිවරු අහස් ගැබෙන් උපහාර පිණිස මල්වරුසා වැස්ස වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ භූමියට ගෞරව පිණිස ඉසිභුමංගන යන නාමය තබන ලදී. උත්තිය රජු විසින් එහි අරහන්තක ධාතු තැන්පත් කොට චෛත්‍යයක් ද කරවන ලදී.

මිහිඳු මා හිමි කෘතගුණ පූජා. . .

මිහිඳු මාහිමියන්ගේ පිරිනිවන් පෑමෙන් වසර 560 කට පසු රජ වූ මේඝවර්ණ රජු මිහිඳු මාහිමි ගුණ සමරා මිහිඳු පුර අටවක දින මහ පින්කම් සිදුකොට ඇත. එලෙසෙ ම පසු කලෙක රජ වූ සිරිමෙවන් රජතුමා ද මිහිඳු මා හිමි සමරා මහත් වූ පුද පූජා කළ බව මහාවංශයේ සඳහන් ය.

එහි සඳහන් පරිදි රජු විසින් මිහිඳු මා හිමියන්ගේ සිරුරෙහි පමණට ම තනි රත්තරනින් පිළිම වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට පෙර දින මිහින්තලයට වැඩමවා අම්බස්ථලයෙහි අටවක දින වැඩ සිටීමට සැලැස්වී ය. පසුදින ලංකාදීපයේ සියලු භික්ෂූන් වහන්සේ ද, සිවුරඟ සේනාවන් ද, නගරවාසීන් ද කැටුව අපට අනුබුදු රුවන බඳු, ලංකාදීපයට ශාස්තෘ බඳු වූ, මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කිරීමට ගියහ. එමෙන් ම නගරයේ සිර ගෙවල්වල සිටි සිරකරුවන් ද නිදහස් කොට මහා දන්සැල් පිහිටුවා සියලු ප්‍රධානීන්ට වැටුප් දී මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා සියලු උපහාරයන්ගෙන් යුත් අපමණ පූජා පවත්වා ඇත.

අම්බස්ථලයෙහි පටන් අනුරාධපුර දක්වා මාර්ගය ඉතා පියකරුව ව සරසා මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිම වහන්සේ වැඩමවන දා භික්ෂු භික්ෂුණි උභය සංඝයා උදෙසා සිවුපසයෙන් සංග්‍රහ කර, දුගී මගී යාචකයන්ට මහ දන් දුන්හ. ජනතාවෙනි අපගේ "මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව" කියමින් සිරිමෙවන් රජතුමා මහත් වූ හරසරින් පිළිම වහන්සේ වැඩමවාගෙන විත් නගරයේ නැඟෙනහිර දොරටුව අසල කරවන ලද විහාරයෙහි තුන් දිනක් වඩා හිඳුවාවීය. එම මන්දිරයේ ම ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන රහතන් වහන්සේලාගේ ද පිළිම වහන්සේලා කරවා එහි වඩා හිඳවූහ. වාර්ෂික ව මෙවැනි උපහාර පූජෝත්සව පවත්වන්නට රාජ නියෝග ද කළේ ය.

එමෙන් ම මහ මිහිඳු හිමි පිළිම වහන්සේ මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වැනි දා පුද පූජාවන් පවත්වන්නට විධි විධාන යෙදී ය. සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණි ලක්දිව රජවරුන් එම මිහිඳු පුර අටවක උපහාර පූජාව නො කඩවා වසර තුන්සියයක් පවත්වා ඇත. මෙවර මිහිඳු පුර අටවක දිනය යෙදෙන්නේ ඔක්තෝබර් මස 13 වන දිනට ය.

ලක්වැසි අපි සියලු දෙනා අපට ශාසන දායාදය ලබා දුන් ඒ උත්තම මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහි කරමු. උන්වහන්සේ පෙන්වා වදාළ සදහම් මඟෙහි ගමන් කරන්නට වඩාත් උත්සාහවත් වෙමු.