Print this Article


කවරයේ කතාව: අවුකන පිළිම වහන්සේ

කවරයේ කතාව:

අවුකන පිළිම වහන්සේ

අවුකන පිළිම වහන්සේ වැඩ සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලා වැවට බටහිරිනි. මෙම හිටි පිළිම වහන්සේ ක්‍රි.වර්ෂ පස්වන සියවසට අයත් ය. සීරිගිය නිර්මාණය කළ කාශ්‍යප රජු ගේ පිය රජතුමා ගේ රාජ්‍ය සමයේ ඉදිවූවකි. විශාල කළු ගල් පර්වතයක් හාරා පිළිම වහන්සේ ඉදිරියට ගෙන පර්වතයේ සෙසු කොටස් ඉවත් කර ඇත. ශරීරයේ පිට පෙදෙසේ කුඩා ප්‍රමාණයක් පර්වතයට සම්බන්ධ වන සේ ප්‍රතිමා වහන්සේ නෙළා තිබේ. සිරස්පත සමඟ ප්‍රතිමාවේ සම්පූර්ණ උස අඩි හතළිස් දෙකයි, අගල් අටකි. සිරස්පත රහිත ව උස අඩි තිස් අටයි අඟල් දහයකි. පිළිම වහන්සේ ගේ පාද පිහිටුවා ඇත්තේ ශෛලමය පද්මාසනයක් මත ය. එය අඩි හතරයි අඟල් හතරකි. සිරසට වැටෙන දිය බිඳු නාසය දිගේ පැමිණ සිරිපතුල් අතරට වැටෙයි. දකුණු අතින් අභය මුද්‍රාව ද, වාම හස්තයෙන් කටක මුද්‍රාව ද නිරූපණය වෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් පහළොවක් දක්වමින් කලා ශිල්පියා උත්සාහ ගෙන ඇත්තේ ජීවමාන බුද්ධකායක් ලෙස නිරූපණය කිරීමට ය. ලම්බක ව, සමබර ව සහ ඍජු ලෙස සංයමයකින් කළ නිර්මාණයකි. අවුකන නාමය ලැබීම සහ ප්‍රතිමාවේ නිමැවුම්කරුවා සම්බන්ධයෙන් අදටත් ඇත්තේ මතභේද සමූහයකි. දැඩි අව් රශ්මියේ, හුදකලාව ප්‍රතිමා වහන්සේ පිහිටි බැවින් අවුකන වූ බව එක් මතයකි. අවකන් දේශය සහ බාමියන් රට නමින් හඳුන්වන වර්තමාන ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි නිර්මාණකරුවකු විසින් කළ බව තවත් මතයකි. ගුරුවරයා සහ ගෝලයා අතර තරගයකින් ගෝලයා ගේ නිර්මාණයක් ලෙස බිහිවුණු බවට ද මතයක් පවතියි. ධාතුසේන රජතුමා ප්‍රතිභාපූර්ණ ශිල්පියකු ලවා කරවා ඇති අවුකන පිළිම වහන්සේ හෙළදිව මූර්තිකලාව පිළිබිඹු කරන්නෙකි. සමස්ත බෞද්ධ ජනතාව ගේ වන්දනා මානයට සහ බුහුමනට පාත්‍ර වන හෙළදිව විස්මිත කලා නිර්මාණයකි.