Print this Article


සම්බුද්ධ ශාසනය වගේ ම මව්බිම ආරක්ෂා කිරීමටත් කැප වුණා

සම්බුද්ධ ශාසනය වගේ ම මව්බිම ආරක්ෂා කිරීමටත් කැප වුණා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදී බෙන්ගමුවේ නාලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

දීර්ඝ කාලයක සිට ජාතික, ආගමික, ශාසනික, දේශපාලනික වශයෙන් ක්‍රියාශීලී ව කටයුතු කළ කීර්තිධර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස ප්‍රකට ව වැඩ සිටින ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ ව සිහිපත් කරමින් ම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගනිමු අපේ නායක හාමුදුරුවනේ

මම කුඩා කාලයේ සිට ම අම්මාත්, අත්තම්මාත් සමඟ ගමේ පන්සලේ සිල් සමාදන් වුණා. සිල් සමාදන් වන අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව මහා පුදුමාකාර ගෞරවයක්, භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වුණා. එක්තරා දවසක සිහිනෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින ආකාරය දැකීමත් සමඟ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව මගේ සිත තුළ තිබුණ ශ්‍රද්ධාවන්ත හැඟීම තවදුරටත් සිත තුළට තදින් කාවැදුණා.

මා, බෙන්ගමුව රජයේ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ගුවන් නියමුවෙක් වීමේ ආසාවෙන් අධ්‍යාපනය හැදෑරුවත්, කැටවල ධම්මාවාස ස්වාමීන් වහන්සේ ආචාර්යවරයකු වශයෙන් පාසලට වැඩම කිරීමත් සමඟ උන්වහන්සේගේ රූපයට, ගමන් විලාසයට, දේශනා විලාසයට මගේ සිත බොහෝ සේ ඇලුම් කළා. එම පැවිදි රුව නිසා මගේ සිත පැවිදිවීමට යොමු වුණා. ඒ අනුව 1962 වර්ෂයේ දී පැවිදිවීමේ අරමුණ ඇතිව කැලණිය ශ්‍රී පඤ්ඤාණන්ද ධර්මායතනයට පැමිණියා. විශේෂයෙන් හක්මන පඤ්ඤාණන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ යටතේ වසරක කාලයක් බණ දහම් ඉගෙන ගනිමින්, වතාවත් පුරුදු පුහුණු වෙමින් මූලික දැනුම ලබා ගත්තා. අනතුරුව මාතර කිරින්ද පුහුල්වැල්ල මණ්ඩලාරාම විහාරස්ථානයේ වැඩසිටි සාරානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් හක්මන පඤ්ඤාණන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ වගේ ම, මහාචාර්ය මාරඹ රතනසාර නායක හාමුදුරුවන් වහන්සේ ගේ ත් ආචාර්යත්වයෙන් 1963 වර්ෂයේ දී බෙන්ගමුවේ නාලක යන උත්තරීතර ශාසනික නාමයෙන් සම්බුද්ධ ශාසනයේ පැවිදි බවට පත්වුණා.

ඔබ වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් අවධිය සිහිපත් කරනවා නම් හාමුදුරුවනේ

මගේ මෑණියන් වහන්සේගෙන් වගේ ම, මා පැවිදි කළ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේලා දෙනමගෙන් පමණයි මම අධ්‍යාපනය ලැබුවේ. ලබා ගෙන තිබුණ එම මූලික දැනුම පාසලෙන් හෝ පිරිවෙනින් හෝ විශ්ව විද්‍යාලයෙන් ඔපවත් කර ගත්තා මිසක් ඒ තුළින් අලුතෙන් යමක් ඉගෙන ගත්තේ නැහැ. මම කුඩා කාලයේ දී මගේ මෑණියන් හැමදාම වගේ මම නිදා ගැනිමට යන විට මට කතන්දර කියල දෙනවා. ඒ බණ කතා තුළ මහා ධර්ම ශාස්ත්‍රීය ගැඹුරක් තිබුණ නිසා ඒ තුළින් විශාල දැනුම් සම්භාරයක් ලැබුණා. ඒ වගේ ම මම පැවිදි කළ ගුරු හාමුදුරුවන් වහන්සේ පාලි භාෂාව වගේ ම බණ දහම් ඉගැන්වුවා. එම මූලික දැනුම පසුකාලීන ව ඔපවත් කර ගැනීමට කටයුතු කළා. විද්‍යාලංකාර පිරිවෙන, මාතර මහා මන්තින්ද පිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළින් පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. කොළඹ මහජන පුස්තකාලයේ පොත්පත් පරිශීලනය කරමින් 1976 වර්ෂයේ දී උසස් පෙළ විභාගය සමත් වෙලා 1977 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ පාලි භාෂා දැනුම තවදුරටත් ඔපවත් කර ගනිමින් ත්‍රිපිටකය, අටුවා , ටීකා කියවීමට පෙළඹුණ නිසා ධර්ම ශාස්ත්‍රීය දැනුම ඉතාම ඉහළින් ලබා ගත්තා. 1981 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තා. ලොකු හාමුදුරුවන් ගේ අපේක්ෂාව ඉෂ්ට කර දීමේ බලාපොරොත්තුවෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා එංගලන්තයට වැඩම කළත්, උන්වහන්සේ ගේ අපවත්වීමත් සමඟ මට නැවත ලංකාවට වැඩම කිරීමට සිදු වුණා.

ඔබ වහන්සේ එදා මෙදාතුර සමාජ සුභසාධනයෙහි ලා විශාල කාර්ය භාරයක් සිදු කරන බව අපට පෙනෙනවා. ඒ පිළිබඳ ව කෙටියෙන් යමක් ප්‍රකාශ කරනවා නම්, නායක හාමුදුරුවනේ

යක්කඩුවේ පඤ්ඤාරාම නායක හාමුදුරුවන් වහන්සේ ගේ ආරාධනාව අනුව 1981 වර්ෂයේ දී විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් සේවය ආරම්භ කරමින් වසර 27 ක් පුරා ම එම පිරිවෙනේ ම සේවය කළා. විද්‍යාලංකාර පිරිවෙනේ පිහිටුවා තිබුණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට අයත් අනුබද්ධ ආයතනය තුළ වසර 4ක් ආචාර්යවරයකු ලෙස සේවය කළ කාලය තුළදීත් ජාතික සේවය අඛණ්ඩ ව කර ගෙන ගියා. එම කාලයේ දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමඟ කටයුතු කිරීම ආරම්භ කළා. එතුමිය මට මවක් වගේ වුණා. ඒ වගේ ම එතුමිය ගේ ඇසුරත් සමඟ ජාතික දේශපාලනයට යොමු වුණා. එතුමිය ගේ ප්‍රධානත්වයෙන් මව්බිම සුරැකීමේ සංවිධානය පිහිටුවමින් මම එහි ලේකම් වශයෙන් කටයුතු කළා. අනතුරුව ඒ කාලය තුළ පළාත් සභා ගෙන ඒමට එරෙහිව ජාතික දේශපාලනය තුළින් විශාල මෙහෙවරක් ඉෂ්ට කිරිමට පුළුවන් වුණා.

ඒ වගේම දෙමළ ත්‍රස්තවාදීන් විසින් අපේ රට, ජාතිය ,ආගම, බෞද්ධ සිද්ධස්ථාන, භික්ෂුන් වහන්සේලා , සංස්කෘතිය,අසරණ ජනතාව විනාශ කළා. 1985 වර්ෂයේ සිට දෙමළ ත්‍රස්තවාදීන් සිදු කළ විනාශය වැළැක්වීමට පුරා වසර 24ක් ක්‍රියා කළා. මව්බිම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අහසින්, මුහුදෙන්, කැලෑවල,මඩවගුරුවල, ගමන් කරමින් වීරෝධාර රණවිරුවන් දිරිමත් කරමින්, ගම්මාන ආරක්ෂා කිරීමට සහයෝගය ලබා දෙමින් වසර 24ක් මාතෘ භූමිය රැක ගැනීමට කටයුතු කළා. විදේශීය සංවිධානවල ආධාර උපකාරත් ලබා ගනිමින්, දේශප්‍රේමී භික්ෂූ පෙරමුණ සංවිධානයත් පිහිටුවමින් ඒ හරහා මහා සංඝරත්නයත් සමඟ 1985 වර්ෂයේ සිට දෙමළ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වුණ උතුරු නැඟෙනහිර ගම්මාන විශාල ප්‍රමාණයකට උදව් උපකාර කළා. ඉඩකඩම් නිවාස නොමැති ව අසරණ පිරිස් වෙනුවෙන් හමුදාවේ සහාය ඇතිව පවුල් 3000ක් පදිංචි කරමින් ගම්මාන බිහි කළා . එම පිරිස් අපේ උරුමය රැක ගෙන තවදුරටත් සිටීම පිළිබඳ සතුටක් දැනෙනවා. ඒ වගේම දෙමළ ත්‍රස්තවාදී යුද්ධය අවසන් වනතුරු සෑම වසරක ම සිංහල අවුරුද්ද අපේ රණවිරුවන් සමඟ හමුදා කඳවුරක සිටියා මිස මම විහාරස්ථානයේ වැඩ සිටියේ නැහැ. සම්බුද්ධ ශාසනය වගේ ම අවුරුදු 24ක් පුරාම මව්බිම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිදුකළ ඒ මහා මෙහෙවර සිහිපත් කරන මොහොතක් පාසා සිතට මහා සතුටක් ඇතිවෙනවා. විරුවන් ඇසුරේ සූවිසි වසරක් යනුවෙන් ඒ යුදමය ඉතිහාසය පිළිබඳව මා විසින් රචනා කළ ග්‍රන්ථය , එවක ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමට කටයුතු කළා. ඒ වගේ ම මගේ ජීවිත කතාව හෙළ බොදු සව්වෙත්මි යනුවෙන් ග්‍රන්ථයකට රචනා කළා. මහා සිංහල ජාතික මතවාදය ආදී වශයෙන් ග්‍රන්ථ කතුවරයකු ලෙස පොත්පත් රාශියක් රචනා කර තිබෙනවා.

1986 වර්ෂයේ සිට සෑම වර්ෂයක දී ම සේරුවිල විහාරස්ථානය මූලික කරගෙන නිකිණි පින්කම හරහා පන්සල නඟා සිටුවීමටත්, ඒ හරහා මිනිසුන් ‌ගේ ජීවිත නඟා සිටුවීටමත් විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා.

ජාතික, ආගමික, ශාසනික වශයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ශාසන භාරධාරී නායක ස්වාමීන්වහන්සේලා වශයෙන් ගන්නා වූ පියවර කෙටියෙන් පැහැදිලි කරනවා නම්,

ශාසනය ගැන කල්පනා කරන විට ඇතැම් කාරණා පිළිබඳ ව බොහොම කනගාටුදායකයි. ඉංග්‍රීසි ආණ්ඩු පැවැති කාලය තුළ ශාසනභාරධාරී භික්ෂූන් වහන්සේලා ගේ කාර්ය භාරය පහළට ඇදවැටුණා. උතුම් වූ ඒ කාර්යභාරය නැවත සම්පූර්ණ වශයෙන් යතා තත්ත්වයට පත්වෙලා නැහැ. ඉතිහාසය පුරාවට ම රට ජාතිය ආරක්ෂා කළ නිසා භික්ෂූන් වහන්සේලා ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා වශයෙන් හැඳීන්වූවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ශාසනික කටයුතු මැනවින් ඉදිරියට කර ගෙන යමින් ශාසනය ආරක්ෂා කිරීමට මහත් උත්සාහයක් ගෙන යමින් සිටිනවා.

ඒ වගේම රට නඟා සිටුවීම සඳහා දේශීයත්වය පදනම් කර ගත් ජාතික වැඩ පිළිවෙළක් මේ රටට අවශ්‍ය යි. දේශීය වෙදකමට අනුව පවතින කොරෝනා වසංගතයට ප්‍රතිකාර කළ හැකි යි. දේශීය වෙදකම නිවැරැදි ව ක්‍රියාත්මක කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළා නම්, අපට ලෝකයේ විශාල ගෞරවයක් ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමා දේශීය වෙදකමටත් නැඹුරුවක් දක්වමින් ක්‍රියාත්මක කර ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳ සතුටුයි.