Print this Article


ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වූ රටවල් ආශි‍්‍රත ප්‍රශ්න

අ.පො.ස (උසස් පෙළ) විභාගය 2021 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති උප්පල වත්තේ විමලානන්ද හිමි.

ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වූ රටවල් ආශි‍්‍රත ප්‍රශ්න

අභ්‍යාස 02

01 වන ප්‍රශ්නය

තායිලන්තය හෙවත් සියම් රටට බුදුදහම ලැබුණු අයුරු දක්වන්න.

පිළිතුර -

ථේරවාද බුදුදහම පවතින රටක් වශයෙන් තායිලන්තය හෙවත් සියම් රට දැක්විය හැකි ය. ලංකාව මෙන් අට ගුණයක් පමණ විශාල වූ මෙම රටෙහි වර්තමාන අගනගරය බැංකොක් නුවර ය. පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙහි මුල් පදංචිකරුවන් වන්නේ මොන් වරුන් ය. එරටට බුදු දහම ලැබී ඇති ආකාරය පිළිබඳව මත කිහිපයක් පවතී.

01. ක්‍රි.පූ. 03 වන සියවසේ අශෝක දවස පැවැත් වූ 03 වන සංගායනාවෙන් රටවල් නවයකට බුදුදහම හඳුන්වා දුන් බවත් එකල ස්වර්ණ භූමියට වැඩම කළ සෝන, උත්තර දෙනම වහන්සේ ආසන්නතම රට වන සියම් රටට බුදු දහම රැගෙන ගිය බවත් සඳහන් වේ.

02. තායලින්තයට බුදු දහම ලැබීම පිළිබඳ ව පවතින තවත් මතයක් වනුයේ ක්‍රි.පූ. 07 වන සියවසේ දී පමණ සුමාත්‍රාවේ රාජ්‍ය කළ පලම්බාන් රජුගේ කාලයේ මහායාන බුදු දහම ලැබුණ බව ය.

03. ක්‍රි.ව. 1000 දී පමණ බුරුමයේ මහා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ අනව්රත රජතුමා තායිලන්තයට බුදු දහමේ පණිවිඩය ලබා දී ඇති බව තවත් මතයකි.

04. ක්‍රි.ව. 13 වන සියවසේ ලක්දිව දඹදෙණි රාජධානියේ රාජ්‍ය කළ දෙවන පැරකුම් රජු ශ්‍රී ලාංකික භික්ෂූන් පිරිසක් මඟින් බුදු දහමේ පණිවිඩය තායිලන්තයට ලබා දුන් බව ද කියැවේ. තායිලන්තයට බුදු දහම ලැබීම පිළිබඳ මෙවැනි මත පවතී.

2 වන ප්‍රශ්නය

තායිලන්තයේ බුදු දහම ව්‍යාප්ත වී ගිය අයුරු දක්වන්න.

පිළිතුර -

බුදු දහම ව්‍යාප්ත වූ බොහෝ රටවල්වල රාජ අනුග්‍රහය ඇතිව බුදු දහම ව්‍යාප්ත වී තිබේ. එරට බුදු දහම ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූ පාලකයකු වශයෙන් රාම්කම්හැම් (රාමක මේන්) හැඳින්විය හැකි ය. ඔහු එරට රාජ්‍ය කරන කාලයේ ලක්දිව බුදු සමය බෙහෙවින් ව්‍යාප්තව පැවතුණි. පොළොන්නරු යුගය වූ මෙකල ලක්දිව බුදු දහෙමි පැවති උන්නතිය පිළිබඳ ව රාමක මෙන් රජුට දැන ගැනීමට ලැබුණි. ඔහු තායි භික්ෂූන් පිරිසක් ලක්දිවට එවා බුදු දහම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට සැලැස්වීය. එමෙන්ම උන්වහන්සේලා ලංකාවේ දී උපසම්පදා කරවා ගෙන එරටට ගෙන්වා සීහල භික්ෂු වංශය නමින් අලුත් භික්ෂු නිකායක් ද පිහිටවී ය. සුකෝදය නගරට කේන්ද්‍ර කොට ගෙන එරටට බුදු දහම ව්‍යාප්ත කිරීමට ද කටයුතු කළහ. තායිලන්ත භික්ෂූන් වහන්සේලා කොටස් දෙකකට බෙදී සිටිති. එනම්,

01. ධම්ම යුක්තික නිකාය

02. මහා නිකායික භික්ෂු පිරිස යනුවෙනි.

එරට භික්ෂූන් වහන්සේලා පාලනය වන්නේ සංඝරාජ හිමිනමක් යටතේ ය. උත්තරීතර නායකයා වශයෙන් සලකනු ලබන්නේ එම සංඝරාජයාණන් වහන්සේ ය. එරට රජු සංඝරාජයන් වහන්සේ පත්කරනු ලැබේ. සංවිධාන හත නම් සංඝ සමාජය පාලනය කිරීමද සුවිශේෂත්වයකි. එම සංවිධාන හත නම්, සංඝ රාජයන් වහන්සේ, උත්තරීතර සංඝ සභාව, සංඝ මන්ත්‍රී මණ්ඩලය, ප්‍රාදේශීය පාලක මණ්ඩලය, භික්ෂු කොමසාරිස්වරු, දිස්ත්‍රික් කාමසාරිස්වරු, ග්‍රාම සංඝ සභාව යනුවෙනි.

3 වන ප්‍රශ්නය

තායිලන්ත ජන ජීවිතය බුදු දහමින් පෝෂණය වී ඇති ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර -

එරට සියලුම පිරිමි අය තාවකාලිකව හෝ පැවිදි වී සිටිය යුතු ය.

පැවිදි වී සිටි බවට ලැබෙන සහතිකය විවාහයේ දී හා රැකියාවේ දී වැදගත් වීම.

දිනපතාම උදෑසන පිණ්ඩපාතයේ යන භික්ෂූන් වහන්සේ නමකට පිණ්ඩපාත දානය පිරිනැමීම.

විවාහ මංගල්‍ය උත්සවය බෞද්ධ සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සිදු කිරීම.

ගමේ ප්‍රජා මධ්‍යස්ථානය හා අධ්‍යාපන මධ්‍යස්ථානය ආරාමයට බවට පත්වීම.

ගිහි ජනතාව නිරන්තරයෙන් පන්සල ඇසුරු කිරීම.

බුදුදහමේ ආරක්ෂකයා ලෙස රජතුමාට පූජනීය තත්ත්වයක් ලැබීම.

සියලු දෙනාම ගෙලෙහි බුදු පිළිමයක් පැළඳීම.

විශේෂ උත්සවයක් වශයෙන් කඨින පූජා උත්සවය පැවැත්වීම.

අවමංගල්‍ය කටයුතු විහාරස්ථානයේ සිදු කිරීම.