Print this Article


සංවිධානය වූ චරිතය තමන්ට අභිමානයකි

සංවිධානය වූ චරිතය තමන්ට අභිමානයකි

සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් සමිද්ධි සූත්‍රය තුළ තරුණ සමිද්ධි හිමියන් තාරුණ්‍යය නියම ලෙස භාවිත කරන ආකාරය පැහැදිලි කළහ. මෙම සූත්‍රය තුළදී දේවතාවිය සහ සමිද්ධි හිමියන් අතර ඇතිවන සංවාදය වර්තමාන තාරුණ්‍යයට මහත් මඟ පෙන්වීමක් ලබා දෙන්නක් බඳු ය.

සංවිධානය වූ චරිතයක අභිමානය සමිද්ධි හිමියන් ගේ වචන තුළින් මනාව ප්‍රකට වේ. අප බොහෝ විට කරුණාව භාවිත කරනවාට වඩා වැඩි වේගයකින් අවි භාවිත කිරීම සිදුකරයි.

දහම පැත්තෙන් ගත් කල ද බොහෝ අය කල්පනා කරනුයේ දහම වයසක මහල්ලන්ට අයත් දෙයක් බව ය.ඒ බව භූමාටු දේවතාවියගේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත.

සමිද්ධි හිමියන් තපෝදා නැමති උණුදිය සහිත විලට පැන් පහසුවීමට වැඩි අවස්ථාවක අල්පේශාක්‍ය භූමා ටු දේවතාවියක් උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියා ය. එහිදී සමිද්ධි හිමියන් ඇය ඇමතූ අවස්ථාවේ ඇය මෙවැනි ප්‍රශ්නයක් උන්වහන්සේට යොමු කළා ය.

“ඔබ වහන්සේ නොවළඳා සිඟා කති වළඳා සිඟා නොකති.”

මෙහිදී දේවතාවිය අදහස් කරන්නේ පංචකාම සම්පත්තීන් විඳින්න තියෙන තරුණ කාලයෙහි ඔබ එය අත්හැර මහණ දම් පුරනවා. පළමුව පංචකාම සම්පත්තීන් විඳ පසුව මහණ වෙන්න යනුවෙනි.

මෙම දේවතාවිය තවදුරටත් උන්වහන්සේට පැහැදිලි කරන්නේ ඔබ ළදරුවියේ පැවිදි වූ කෙනෙක්. ඔබ දැන් තරුණයි. ඉතා කළු කෙස් ඇත්තෙක්. කාම ක්‍රීඩා නොකළ කෙනෙක් මිනිසුන්ට අයත් කාම සැප වළඳන්න පසුව මහණ දම් පුරන්න වශයෙනි.

මෙම දේවතාවියගේ ප්‍රකාශය ධර්මය නොදන්නා කෙනකුගේ අදහසකි. ඔවුන් හිතනුයේ පැවිදි විය යුත්තේ , සිල් සමාදන් ව ආධ්‍යාත්මික ජීවිතය සකසා ගත යුත්තේ මහලු වයසේදී බවය. ජීවිතයේ අනෙක් සියලුම සැප ලැබ, නිවන්සැප වයසට යෑමේ දී මරණයේ දී ලැබෙනු ඇති බවය.

යමක් කමක් කර කියාගත නොහැකි අවස්ථාවේ නිවන් යාම බහුතරයකගේ අදහසයි. යම් විටෙක තරුණ වයසක කෙනෙකු ධර්ම මාර්ගයට යොමු වුවහොත් බොහෝ අය ඒ පිළිබඳව සෘණාත්මක ව කතා කිරීමට සහ සිතීමට පෙළඹේ. ගෙදර ප්‍රශ්න, පවුල් ප්‍රශ්න ජීවිතය කළකිරී ඇති ලෙස බොහෝ නිගමනවලට පැමිණේ.

අපරාදෙ හොඳට ඉගෙන ගත් දරුවෙක් මේ විදියට දහමට නැඹුරු වෙලා ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඇයි මේ වයසෙම එහෙම තීන්දුවක් ගත්තෙ ආදී වශයෙන් ඒ ගැන කතා කිරීමට පෙළඹේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ දහමට නැඹුරු වීමට නිශ්චිත වයසක් ඇතැයි සමාජය තුළ දුර්මතයක් පවතින බැවිනි.

මෙම දේවතාවියගේ ප්‍රශ්නය ද එසේම ය. එහිදී සමිද්ධි හිමියන් නැවත ඇයට දේශනා කරනුයේ මම මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගත වන සැපයක් පස්සේ නොදුවමි. ඒ වෙනුවට කල්ගත ව ලැබෙන සැප හැරදමා මේ ආත්මයෙහි ලැබෙන සැප පස්සේ දුවමි. මම කාලය ඉක්මවා නොයෑමට මෙලෙස තරුණ කාලයේ දී ම ආධ්‍යාත්මික සුවය සොයන බවයි.

වයසට යාමේ දී බොහෝ ආබාධ ඇතිවේ. ඒ කාලය තුළ වැඩි වේගයකින් ආධ්‍යාත්මික සුවය සෙවීම අපහසු ය. විශේෂයෙන් වයසට යාම යනු විශ්‍රාමික ජීවිතයයි. සමාජය සමඟ ගැටී බොහෝ කාරියන් සිදු කරනුයේ තරුණ කාලය තුළය. කෙනෙකු වඩාත් ධර්මයට ළංවිය යුත්තේ මේ කාලය තුළදී ය. එවිට බොහෝ නොකටයුතුකම් ඔවුන් තේරුම් ගනී. එසේම තමාගේ පිරිසුදු බව ඒ තුළ තහවුරු කරගත හැකි ය. එය සමාජයට ද යහපත් ව බලපානු ලැබේ.

එහෙයින් වයසට ගොස් දුබලතා සමඟ නිවැරැදි වෙනවාට වඩා තරුණ වයසේ දී ම යහපත් මාර්ගය සොයා ගැනීම ඉතා වැදගත් ය.

සිඟාල ගෘහපතියා තරුණයෙකි. සදිසාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කළේ එතුමාට ය. දීඝජානු තරුණයෙකි දෙලොව සුගතියට අවශ්‍ය දහමක් දේශනා කරන්න යැයි සඳහන් කළේ ඔහු ය. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය එහි ප්‍රතිඵලයකි.

යසකුල පුත්‍රයාගේ යහළුවන් පනස් හතර දෙනාම තරුණයන් ය. තම මිත්‍රයා නිවැරැදි දර්ශනයක් වැළඳ ගැනීම නිසා යහළුවෝද බුදුන් සරණ ගියහ.

භද්ද වග්ගිය කුමාරවරු යම් දඩබ්බර පිරිසකි. තමා සෙවීම වැදගත් බව දේශනා කිරීමත් සමඟ ඔවුහු ධර්මයෙහි පිහිට ලැබූහ.

සංස්කෘත සාහිත්‍යයට අනුව යෞවනය ඇතැම්විට ගංගාවක් සේ සැඩ ය. ගලා යාමට දිසාවක් නැති වූ විට පිටාරගලා යා හැකි ය. තරුණ නැඟිටීම් ඇති වන්නේ ඔවුනට අවශ්‍ය දිසාව නොපෙන්වන අවස්ථාවල දී ය. එහෙයින් ඔවුනට අවශ්‍ය පිළියම ධර්මය තුළ ගැබ්ව ඇත. ඒ සඳහා ඔවුන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. කායික මානසික ශක්තිය නිකරුණේ අපතේ යැවීම බුද්ධිගෝචර නොවේ.

සමිද්ධි හිමියන් ලස්සන, ජවසම්පන්න තරුණ භික්ෂුවක් ලෙස තම කාලය නිවැරැදිව යොදා ගත්හ. දේවතාවිය අමතා උන්වහන්සේ දේශනා කළේ තමන් මෙතරම් ම තරුණ කාලය තුළ දහමට නැඹුරු වූයේ දහම එහිපස්සික ඕපනයික, සන්දිට්ඨික, අකාලික තමන්ට සැපයක් යැයි දැනෙන ගුණයන් ඇති නිසා බවයි.

මෙහිදී ඒහිපස්සික යනු ඇවිත් බැලිය හැකි, බලන්න යමක් ඇති, එසේම කෙනෙකුට, බලෙන් හෝ ගෙනත් පෙන්විය හැකි නිසා ය. බොහෝ දේ එසේ පෙන්විය නොහැක. සහතික දිය නොහැක. අභ්‍යන්තරය හිස් ය. ඇතැම් දර්ශන මතවාද මෙන් ය. බුදු දහම එසේ නොවේ. ඡ්‍යොතික රත්නයක් මෙන් සැම කල්හි සතර දිශාව ආලෝකවත් කරයි. වෙන හැම දේකටමත් වඩා මුලින්ම තම සිතේ පවත්වාගත යුතු බැවින් ඕපනයික වේ. ඇතැම් දෑ සම්බන්ධයෙන් අපරාදේ වැනි හැඟීම් පසුකාලීන ව ඇති වේ. මට එහෙම නොකරන්න තිබ්බේ වැනි පසු තැවීම් ඇතිවේ. එහෙත් දහම සම්බන්ධයෙන් එසේ නොවේ. දහම සාන්දෘෂ්ටික ය. තමාටම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය.

ඵලය ලැබීම තමන්ම අත්විඳී, වැඩිකල් නොගොස් එවෙලේම ප්‍රතිඵල ලැබිය හැකි බැවින් දහම අකාලික වේ.

ලෝකයෙහි සියල්ල කාලීකය. ඒ අතර ධර්මය අකාලික ය. යම් පැළයක් රෝපණය කළත් එහි ඵලය හට ගැනීමට කාලයක් ගත වේ. දහම එසේ නොවේ.

අහෝ සැපයි , අහෝ සැපයි කියා යමක් විඳිය හැකි නම්, එය ධර්මයෙන් ලබාන විමුක්තිය පමණි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ යන ගුණය ඒ අරුතින් ධර්මයෙහි ඇති තවත් ගුණයකි. පණ්ඩිත අය එසේ සැප යැයි සැලකීම ධර්මයෙහි අන්තර්ගත ගුණයකි. සමිද්ධි හිමියන් දේවතාවියට දේශනා කරනුයේ මෙම ගුණ නිසා තමන්ගේ තරුණ ජීවිතය දහමෙන් පෝෂණය කර ගැනීමට තීරණය කළ බව ය.

අප ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ තරුණයකු ලෙස ය. එවන් පසුබිමක තරුණයන් දහමට නැඹුරුවීම පිළිබඳ දෙවතාවක් නොසිතිය යුතු ය. සිදුවිය යුත්තේ ද එයමය.

විහාරස්ථාන, එමෙන්ම ආගමික වැඩසටහන් සංවිධානයේ දී තරුණ පිරිස ඉලක්ක කර ගැනීමට අත්‍යවශ්‍ය ය. නිරන්තර ව පන්සලට පැමිණෙන පිරිස් සමඟ ආගමික කටයුතු සංවිධානය කරනවා වෙනුවට නොපැමිණෙන තරුණයාත් කැඳවාගෙන කටයුතු මෙහෙයවීම අවශ්‍ය වේ. ඒ තුළ සාරවත්, ගුණවත්, පව, පින විශ්වාස කරන සමාජයක් බිහි කර ගත හැකි වේ.