Print this Article


සංහිඳීයාවේ තෝතැන්න කතරගම ඇසළ පෙරහර

සංහිඳීයාවේ තෝතැන්න කතරගම ඇසළ පෙරහර

මෙවර කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ ශ්‍රද්ධාවන්ත මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලේක්හවුස් ආයතනයෙනි


කතරගම කිරිවෙහෙර වහන්සේ

කතරගම යනු සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාගේම වන්දනාමානයට ලක්වෙන පුණ්‍ය භූමියකි. කතරගම පුද බිම හා බැඳුණු ඉපැරැණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ද පිහිටීම නිසා මේ පින් බිමට බෞද්ධ ජනතාව විශාල ලෙසින් පැමිණීමට හේතු වී තිබේ. මුස්ලිම් ජනතාව ද සිය ආගමික ස්ථාන කරා පැමිණෙන්නේ ඉමහත් බැතියෙනි.

‘කතරගම ගැන කතාකරන විට එහි දේවාලය හා කතරගම පෙරහර ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුම ය.

කතරගම පෙරහර ඉතිහාසයට අනුව එහි පෙරහර 3ක් අද දක්වාම පවත්වන බව පෙනෙන්නට තිබේ. ‘රුහුණු මහ කතරගම දේවාලය‘ නමින් හැඳීන්වෙන කතරගම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් අවුරුදු මංගල්‍යය පෙරහර, ඇසළ මංගල්‍යය පෙරහර හා ඉල්මහා කාර්තික මංගල්‍ය පෙරහර යනුවෙන් පෙරහර 3ක් පවත්වයි. එයින් කතරගම ඇසළ පෙරහරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය දින 15ක් තිස්සේම පැවැත්වෙන්නේ දෙවියන්ට ඉමහත් භක්තියකින් යුතුව කරන සැලකීමක් ලෙසිනි.


කතරගම දේවාලය


දේවාලයේ කටයුතු බාරව සිටින කපු මහත්වරු

කතරගම පෙරහරේ ප්‍රධාන අරමුණු 4කි. ඒ අපල උපද්‍රව දුරු කිරීම, දේවාශිර්වාදය ලැබීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම හා ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම ය.

පෙරහර ආරම්භය කප් සිටුවීමෙන් සිදු කෙරේ. ඇසළ මාසයේ පෙරහර කාල සීමාව පුරාම කතරගම දෙවියන් කපෙහි වාසය කරන බවට විශ්වාසයක් ජනතාව තුළ පවතී. ඒ නිසා සිටුවන ලද කප පූජා වස්තුවක් ලෙස සැලකේ. කතරගම පෙරහරට සම්බන්ධ චාරිත්‍ර අතර ගිනි පෑගීම, බිම පෙරළෙමින් චාරිත්‍ර හා භාර හාර ඉටු කිරීම, කටු ගැසීම ආදී දුෂ්කර කාර්යයන්හි නියැළෙමින් දෙවියන් ඉදිරියේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට බැතිමත්හු කටයුතු කරති.

කතරගම ඇසළ පෙරහරේ පළමු පෙරහර හඳුන්වන්නේ මඟුල් පෙරහර නමිනි. එම පෙරහර පසුගිය 10 වැනිදා වීදි සංචාරය කළේ ජනතා සහභාගිත්වයෙන් තොරව ය. ඒ පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වයන් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ය.මඟුල් පෙරහර පැවැත්වෙන දිනයේදී කැවුම්, කොකිස්, කිරිබත් සකස් කිරීම රජ කාලයේ සිට පැවත එන්නකි. කැවිලි සකස් කරන්නේ දේවාලයේ තේවාකරු වන ගම්පහ විදානේය. පෙරහර පටන් ගැනීමේ චාරිත්‍රය වන්නේ වත බැඳීමයි. ‘වත බැඳීම’ නම් දේවාභරණ රැගෙන යන ඇතා පිට වස්ත්‍ර ඇතිරීමයි.

දෙවන දිනයේ පැවැත්වෙන්නේ අපූරු පෙරහරකි. එය වර්තමානයේ හඳුන්වන්නේ දෙවොල් පෙරහර නමිනි. එම පෙරහර ද පසුගිය 11 වැනිදා පවත්වන ලදී. එම පෙරහර දුවන පෙරහර නැත්නම් වේගවත් පෙරහර යනුවෙන්ද හඳුන්වන අතර ‘හොර පෙරහර‘ නමින් හැඳීන්වීම ද විශේෂී ය. හොර පෙරහර නමින් හඳුන්වන්නේ තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම සනිටුහන් කිරීමයි.

මහ පෙරහරේ දෙවියන් වැඩම කිරීම සිදු කරන්නේ මහ දේවාලයෙන් ලබා ගත් පිරිත් පැන් දේවාලය පුරා ඉසීමෙන් අනතුරුව ය. එහිදී ඝණ්ඨා නාදයෙන්ද දෙමළ ජනතාවගේ ‘හරෝ - හරා‘ නාදයෙන් ද පෙරහර අලංකාර වේ. පන්දම් එළියෙන් පෙරහර ආලෝකමත් කෙරේ. එසේම මල් ඉසින්නන්, මාර්ගය පිරිසිදු කිරීමට කහදිය ඉසින්නන් මෙන්ම ස්තෝත්‍ර හා ද්‍රවිඩ ගීතිකා ද ඇතුළත් පෙරහරේ දිස්වන්නේ රජ කාලයේ පෙරහරක ස්වරූපයකි.

පෙරහරේ ඉදිරියෙන්ම යන්නේ ඉරහඳ නිරූපණය කරන සේසත් දරන්නන්ය. දිසා කොඩි දරන්නෝ ද එහි සිටිති.

උඩරට, පහතරට, සබරගමු ආදි සියලු සාම්ප්‍රදායික නැටුම් මෙන්ම මොණර නැටුම්, කාවාඩි නැටුමින් ද පෙරහර අලංකාර කරනු ලැබේ. එමෙන්ම ඇසළ පෙරහර අලි ඇතුන්ගෙන් ද අලංකාර වන්නකි.

කතරගම ඇසළ පෙරහර පැවැත්වීමේ සාම්ප්‍රදායික අරමුණ වන්නේ වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප‍ී‍්‍රතිය සැමරීමයි. කතරගම පුදබිම තුළ දුටුගැමුණු රජ සමයේ පටන් ආරම්භ වූ පුද පූජා සහ පුද සිරිත්වලට මුල් තැනක් හිමිවීම විශේෂත්වයකි.

වසර 44ක එළාර රජුගේ පාලනය පරදවා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර කතරගම දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා කතරගම දේවාලය ඉදිකර පූජාකර තිබේ. එමෙන්ම දෙවියන්ට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස් කොට ඒ අනුව කටයුතු කරන ලෙස රජතුමා නියෝග කර තිබුණි.

මෙවර පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නා හිමියන් පැවසුවේ කතරගම දෙවියන් හා වල්ලිඅම්මාගේ මංගල්‍යය සිහිකරමින් රජකාලයේ සිට පැවැති පෙරහර මංගල්‍යය මෙවර ද සියලු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සිදුකරනු ලබන බවයි.

‘‘ දෙමළ ජනතාව කතරගම දෙවියන් හඳුන්වන්නේ ‘මුරුගන්’ නමින්. කතරගම දෙවියන්ට දක්වන ගෞරවයක් හා භක්තියක් ලෙස තමයි දෙමළ ජනතාව උතුරේ සිට සති දෙකක් තුනක් පමණ වන සතුන් ගහන මාර්ගය ඔස්සේ පා ගමනින් පාද යාත්‍රාවේ පැමිණ කතරගම දෙවියන්ට පුද සිරිත් කරන්නේ. 35.000කට අධික ජනතාවක් එලෙසින් පැමිණෙනවා. පාවහන් පවා නොමැතිව විශාල දුෂ්කරවෘත ගෙවමින් ඔවුන් සිදු කරන්නා වූ මේ මහත් වූ ගෞරව පූජාව මෙරට වෙනත් කිසිදු ආගමික ස්ථානයක් වෙනුවෙන් සිදු කරන්නේ නැහැ.

දින 15ක් පමණ පවත්වන කතරගම පෙරහරට පූර්වයෙන් දේවාල මලුව හා මාර්ගවල සුදුවැලි ඇතිරීම විශේෂයෙන්ම සිදු කරන්නක්. එය දෙවියන්ට සිදු කරන්නා වූ ගෞරවයක් වගේම ජනතාව දෙවියන් වෙනුවෙන් මලුවේ පෙරළෙමින් සිදු කරන්නා වූ භාරහාර වෙනුවෙන් ඔවුන්ට කිසිදු අපහසුතාවකින් තොරව එම කාර්යයන් සිදු කිරීම වෙනුවෙන් මේ සුදුවැලි ඇතිරීම සිදු කරනවා.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පවත්වනු ලබන මේ පෙරහරේ තවත් විශේෂ අංගයක් වන්නේ බස්නායක නිලමේවරයාගේ වලව්වේ තිබෙන ගොම මැටි ඇතිරූ විශේෂ කාමරයක සිට භික්ෂූන් වහන්සේ පිරිත් සඡ්ඣායනා කිරීමයි.

හයවැනි පෙරහර පැවැත්වෙන දින මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගන්නවා. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ බස්නායක නිලමේවරයා සිය නිල ඇඳුම ඇඳ පෙරහරේ ගමන් කිරීමයි. ඔහු එසේ ගමන් කරන්නේ ඇතාට පෙර වීම විශේෂයි. මෙරට කිසිදු පෙරහරක නිලමේ ඇතාට පෙර ගමන් කරන්නේ නැහැ.

දුටුගැමුණු රජතුමාට යුද්ධය ජයග‍‍්‍රහණය කිරීම සඳහා සහාය දුන් කඩොල් ඇතාගේ දළ යුගලය එදින දිවා කාලයේ රන්කොත් මාලිගයෙන් පිටතට ගෙන ජනතා ගෞරවය පිණිස ප‍‍්‍රදර්ශනය කරනවා.

පෙරහරේ විශේෂ චාරිත්‍රයක් වන ගිනි පෑගීම සිදු කෙරෙන්නේ පෙරහර නිමවීමට දින 3කට පෙර සිටයි. එහිදී දේවාලය ඉදිරිපිට විශාල ගිනිමැලයක් දල්වා බැතිමතුන් විසින් ප්‍රාර්ථනා කරනු ලබන දේ සිහිකර ගින්දර නිවුණු නමුත් ගිනි අඟුරු මතින් ගමන් කර ගිනි පෑගීමේ චාරිත්‍රය සිදු කරනවා.

අවසානයේ දී කිරි වෙහෙරේ දී කිරි වෙහෙර විහාරාධිපති හිමියන් ඇතුලු සියළු පෙරහරට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති කතාවක් බස්නායක නිලමේ විසින් සිදු කරනු ලබනවා. එය ‘රාජාසන කතාව‘ යනුවෙන් ලබනවා.

පසුදින දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ දිය කපන කපු මහතා විසිනි. ඒ කිසිවකුට නොපෙනෙන සේ වල්ලිඅම්මා තොටුපොළින් දියට බැස දිය කපන තොටුපොළ දක්වා යාමෙන් අනතුරුවයි. සියලු වස් දොස් දුරු වී රටට සාමය සතුට උදාවනු පිණිසත් එමෙන්ම කතරගම දෙවියන්ට පින්දීමත් එයින් සිදු කරනවා.

සර්ව ආගමික පෙරහරක් ලෙස හඳුන්වන කතරගම දේවාල පෙරහරේ දුටුගැමුණු රජතුමාගේ අඩි 15ක පමණ උසින් යුතු රූපය පෙරහර ඉදිරියේ ගමන් කරවීමෙන් රජුට උපහාර කිරීමක් සිදු කරනවා.”

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් පවසන්නේ ජනතා සහභාගිත්වයෙන් තොරව මෙවර කතරගම පෙරහර මංගල්‍යය පවත්වන බවයි.

‘‘කොවිඩ් වසංගත තත්ත්වය මත වුණත් පෙරහර මංගල්‍යයට අවශ්‍ය සියලු කටයුතුවලට කිරිවෙහෙර දායකත්වය ලබා දී තියෙනවා. විශේෂයෙන්ම රජ කාලයේ සිට පැවතගෙන එන චාරිත්‍ර ඒ ලෙසින්ම සිදු කරනවා. එහිදී කිරිවෙහෙරට අයත් ප්‍රධාන කාර්යයක් වන්නේ පිරිත් නිලයේ රාජකාරි කටයුතු කිරීමයි.

විශේෂයෙන්ම පෙරහර නිමිත්තෙන් සති පිරිත සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙසින් පවත්වනවා. ඒ සති පිරිත ජූලි 15 වැනිදා ආරම්භ වුණා. මේ සියලු කටයුතු සිදු කරන්නේ නිරෝධායන නීතිවලට අනුකූලව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව බව පැවසිය යුතුයි. ‘‘

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත වුව ද සම්පූර්ණ පෙරහර පවත්වනු ලබන බවයි.

‘‘කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට අයත් ප්‍රධානතම කාර්යය වන්නේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමයි. ඊට අමතරව පෙරහර පැවැත්වීම, දේවාලය හා ඊට අයත් අනෙකුත් සියලු දේ නඩත්තු කිරීම වැනි කාර්යයන් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම දේවාලයේ කපු මහත්වරු සමඟ මේ කටයුතු නිසි ලෙසින් කළ යුතු වෙනවා. එමෙන්ම මේ වන විට දේවාලයේ මූල්‍ය විගණන කටයුතු ආරම්භ කර තිබෙනවා.

කතරගම නඩත්තුවට අතීතයේ විශාල භූමි වපසරියක් ලබා දී තියෙනවා. දැන ගන්නට ඇති පරිදි එය අක්කර 90,000ක්. කොහොම වුණත් දැන් කතරගම පුදබිමට අයත් අක්කර 35,000ක් තියෙනවා. ඒ භූමි වපසරිය නිසි පරිදි කළමනාකරණය කළොත් කතරගම නඩත්තු කිරීම අපහසු නැහැ.

දෙවියන් උදෙසා කළ යුතු සියලු වත් පිළිවෙත් නිසි ලෙසින්ම අප සිදු කරනවා. එයට සංචරණ සීමා තිබුණා කියා වෙනසක් නැහැ. උදෑසන 4.30ට, පෙරවරු 10.30ට වගේම පස්වරු 6.30ට අප සුවඳ පූජා, ශබ්ද පුජා, ආලෝක පූජා පවත්වා දේව දානය පුජා කරනවා. මුරුතැන් පුජාව නිසි වත් පිළිවෙත් අනුව සිදු කරනවා. ඒ වගේම කිසිදු අඩුවක් නැතිව අප මෙවර පෙරහරේ සියලු කටයුතු කරනවා. වසංගත තත්ත්වය නිසා ජනතා සහභාගිත්වය සිදු කරන්නේ නැහැ. නමුත් සජීවී ලෙසින් රූපවාහිනි විකාශයක් සිදු කෙරෙනවා‘‘

කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ.එම් නන්දසිරි මහතා පවසන්නේ මහජන සහභාගිත්වයෙන් තොරව මෙවර පෙරහර පැවැත්වෙන නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා රාජ්‍ය මට්ටමින් කළ යුතු සේවාවන් අවම වී ඇති බවයි.

‘‘ ජන සහභාගිත්වයක් නැති නිසා රාජ්‍ය සේවකයන් යෙදවීම 75%කින් පමණ අඩුවෙලා තියෙන්නෙ. ඒ වගේම ආරක්ෂක අංශවල අයත් ඉතා අවම පිරිසක් පමණක් යොදා ගැනීමට තීරණය වී තිබෙන්නේ.

මෙවර උතුරේ සිට පැමිණෙන බැතිමතුන්ගේ පාද යාත්‍රාව සිදු කෙරෙන්නේ නැහැ. එම නිසා නවාතැන් ගන්නා ජනතාව වෙනුවෙන් සපයනු ලබන පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් උත්සව සමයන්හි පාද යාත්‍රාවේ පැමිණෙන ජනතාවට කතරගමට පැමිණීමට පෙර සිට අතරමඟදී පවා පහසුකම් සලසන්නට සිදුවුණා. අකමැත්තෙන් වුවත් පාද යාත්‍රාවට අවසර නොදෙන්නට සිදුවුණා. එසේම පෙරහර සමයේ සිදු කරන වෙළෙඳ බලපත්‍ර ලබාදීමත් අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් ලොකුම ප්‍රශ්නය තමයි පෙරහර නිසා වසරක්ම ජීවත් වෙන ජනතාව ගැන සොයා බැලිය යුතු වීම. ඇතැම් අය පෙරහර පවත්වන සති දෙකක පමණ කාලයේ දී තමයි අවුරුද්දටම ඕන කරන ආදායම සොයා ගන්නෙ. පවුලේ අය ඔක්කොම එකතුවෙලා කරන ව්‍යාපාර මඟින් ඔවුන් සොයා ගත් ආදායම අද වෙනකොට බින්දුවටම වැටිලා. ඒ ජනතාව වෙනුවෙන් කුමක් හෝ කළ යුතු වෙනවා. ‘‘

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක රංගන මහතා පවසන්නේ මෙවර පෙරහරේදී ද පසුගිය වසරේ මෙන්ම චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් සීමා වීම නිසා ප්‍රාදේශීය සභාවෙන් කළ යුතු කාර්යයන් අවම වී ඇති බවයි.

‘‘කොහොම වුණත් අපි කතරගම පුද බිමේ අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. දෙවියන් වෙනුවෙන් කරනු ලබන චාරිත්‍රවල කිසිදු අඩුවක් කරන්නේ නැහැ. දේවාල මලුවට ජලය ඉසීම ඇතුළු පෙරහරට අවශ්‍ය සියලු කටයුතු අප විසින් සිදු කරනවා. පෙරහර බලන්න අවසර නැතත් ජනතාව කතරගමට පැමිණෙනවා. ඔවුන් කතරගම දේවාලයට මෙන්ම වැඩසිටිකන්ද, සෙල්ල කතරගම, සිතුල්පව්ව වැනි පුදබිම් කරා ගමන් කරන්නේ නගරය හරහා. එමනිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වනවා. පෙරහර පවත්වන නිසා මේ දිනවල පස්වරු 3.00න් පසුව කතරගම දේවාල භූමියට ඇතුළුවීමට අවසර නැහැ. පැමිණෙන සියලු ජනතාවට අවශ්‍ය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියල්ල ලබා දිය යුතුයි. ප්‍රාදේශීය සභාවට ලැබෙන සියලු ආදායම් මේ වන විට අහිමිවෙලා තියෙන්නෙ. ඒ වුණත් අවශ්‍ය සියලු කටයුතු කෙසේ හෝ සිදු කරනවා.”

ජන සහභාගිත්වයෙන් තොරව වුවද සියලු චාරිත්‍ර වාරිත්‍ර හා නැටුම් කණ්ඩායම්වලින් අලංකෘත කතරගම පෙරහර මංගල්‍යය පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර මේ වන විට පෙරහර වීදි සංචාරය කරයි. අවසන් පෙරහර 23 වැනිදා ඇසළ පුන් පොහෝ දින පැවැත්වේ. 24 වැනිදා දිය කැපීමෙන් මෙවර පෙරහර මංගල්‍යය අවසන් වනු ඇත.

චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් මුල් තැන ලබා දී හෝ පෙරහර මංගල්‍යය පැවැත්වීම ගැන නාහිමිවරුන්ට, බස්නායක නිලමේ, කපු මහත්වරු ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැමට කෘතවේදීත්වය පළ කළ යුතු ය.එමෙන්ම මෙවර කතරගම පෙරහරේ ශ්‍රද්ධාවත් මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලේක්හවුස් ආයතනය විසින් දැරීම ද විශේෂ කාර්යයකි.