Print this Article


කෙනකු දීර්ඝායුෂ ලබද්දී තවත් කෙනකු අල්පායුෂ්ක වන්නේ ඇයි?

කෙනකු දීර්ඝායුෂ ලබද්දී තවත් කෙනකු අල්පායුෂ්ක වන්නේ ඇයි?

කර්මය හා කර්ම විපාක පිළිබඳ සියලු දේ දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණි. කරත්තයක රෝදය නො ගැලවී තිබෙන්නේ කඩ ඇණයකින් සිර වී ඇති නිසා ය. ඒ අයුරින් ම සත්ත්වයා ද දුක් විඳීමින් සිටින්නේ තමන්ගේ ම කර්මයෙන් සසර දුකට සිර වී සිටින නිසා ය. මෙ‍සේ සත්ත්වයා කර්මානුරූප ව සිර වී සිටීම තරම් බරපතළ දෙයක් ‍වෙන නැත්තේ ය.

පින් කළ සත්ත්වයෝ මනුලොව උපදිති. දෙවියන්, බඹුන් අතරත් උපදිති. පව් කළ සත්ත්වයෝ බොහෝ දුක් ඇති නිරයෙහි උපදිති. තිරිසන් ප්‍රේත, අසුර ආදී ‍ලෝකයෙහිත් උපදිති. ලෝක සත්ත්වයා වරින් වර සැප දුක අතර දෝලනය වන්නේ තමන් විසින් ම කර ගන්නා පින් පව් නිසා ය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි තරුණයෙක් මෙ‍සේ ඇසු‍වේ ය.

භවත් ගෞතමයන් වහන්ස, මෙයට හේතුව කිමෙක් ද? එනම් මේ මිනිස් ලොව උපන් මිනිසුන් අතර උස් පහත් බවක් දකින්ට ලැබෙයි. ඇතැම් අයට ආයුෂ නැත්තේ ය. ඇතැම්හු දිගාසිරි විඳීති. සමහර මිනිසුන්ට ලෙඩදුක් අඩු ය. බොහෝ ලෙඩ දුකින් පීඩිත මිනිස්සු සිටිති. එසේ ම ඇතැමුන් ඉතා විරූපී ය. තව අය මනහර රූ ඇතිව සිටිති. එසේ ම ඉතා දුප්පත් අය මෙන් ම මහා ධනවත්තු ද සිටිති. සම්භාවනීය කුලවන්තයන් මෙන් ම හීන කුලීනයෝ ද සිටිති. මෝඩයෝත් සිටිති. මහා නුවණැත්තෝ ද සිටිති.

ගෞතමයන් වහන්ස, මනුලොව උපන් මේ මිනිසුන්ගේ පැහැදිලි ව ම උස් පහත් වෙනසක් දකින්ට ලැබෙයි. මෙය මෙසේ වන්නේ කවර හේතුවක් නිසා ද?

මොහු මෙසේ අසා සිටියේ ඔහු මුහුණ දුන් අනපේක්ෂිත කරුණක් නිසා ය. මොහුගේ පියා කොසොල් රජුගේ පුරෝහිත බමුණකු ව සිටියේ ය. හේ සැවැත්නුවරට නුදුරින් පිහිටි තුදු නමැති බ්‍රාහ්මණ ගමෙහි ප්‍රධානියා ය. ඔහු ජීවත් ව සිටියදී අධික මසුරෙකි. භාග්‍යවතුන් වහන්සේට ද අපහාස කළේ ය. මරණයට පත් වූ පසු සිය නිවසෙහි ම සුනඛයකු වී උපන්නේ ය. සුභ නමැති බ්‍රාහ්මණ පුත්‍රයා මුලින් සිතුවේ පියා බඹලොව උපන්නේ ය කියා ය. වේදයෙහි ඉගැන්වූයෙත් එලෙස ය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඒ නිවස ඉදිරියෙන් වඩිනවිට සුනඛයා බුරන්ට පටන් ගත්තේ ය. එවිට උන්වහන්සේ “තෝදෙය්‍ය, තා පෙරත් බිරුවෙහි ය. දැනුත් බුරන්නේ නොවේදැ යි” ඇසුවේ ය. බල්ලාට පෙර ආත්මය මතක් වී වහා දිවගොස් අසල අළු ගොඩ මත වකුටු වී වැදහොත්තේ ය. මෙය ඇසූ ඔහුගේ පුත්‍රයා කිපුණේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහු සංසිඳවා, තෝදෙය්‍ය බ්‍රාහ්මණයා වූ ඒ සුනඛයාම බව ඔහුට ඔප්පුවෙන පරිදි

පරීක්ෂණයක් කියා දුන්නේ ය. එනම් සුනඛයාට කිරිබතක් කවා අඩ නින්දේ සිටිය දී පියා නමින් අමතා, සඟවා ඇති වස්තුව ඉල්ලන්ට කියා ය. පරීක්ෂණය හරි ගියේ ය. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා විසින් සඟවන ලද වස්තුව යළි ලැබුණේ ය. පුත්‍රයාගේ ඇස් ඇරුණේ ය. පියාට අත් වූ ඉරණම ගැන මහත් සංවේගයට පැමිණි හේ, ඉහත ප්‍රශ්න අසා සිටියේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ මෙය යි.

“මානවකය, සත්ත්වයෝ කර්මය තමන්ගේ දෙය කොට ඇත්තා හ. කර්මය තමන්ගේ දායාදය කොට ඇත්තා හ. කර්මය උප්පත්ති ස්ථානය කොට ඇත්තාහ. කර්මය සිය ඥාතියා කොට ඇත්තාහ. කර්මය පිහිට කොට ඇත්තා හ. සත්ත්වයන් උස් පහත් වශයෙන් බෙදනු ලබන්නේ කර්මය යි.”

“මානවකය, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය කරයි ද, සතුන් කෙරෙහි දයා කරුණා රහිතව වසයි ද, ඔහු හෝ ඇය ඊළඟ ආත්මයේ බොහෝ දුක් ඇති නිරයෙහි උපදියි. ඉදින් මරණින් මතු නිරයෙහි නො ඉපදී යළි මනු ලොවට ආයේ නම් අල්ප ආයු ඇතිව උපදියි. සතුන් මැරීමෙන් වැළකී සිටිනා අය දෙවියන් අතර උපදී. ඉදින් දෙව්ලොව නූපදීයි නම්, මනුලොව උපන් කල්හි දිගාසිරි ලබයි.

එමෙන්ම මානවකය, යමෙක් මෙලො‍ව දී මිනිසුන්ට හෝ සතුන්ට හෝ දඬුමුඟුරින්, අවි ආයුධයෙන් හිංසා කරයි ද, ඔහු මරණින් මතු නිරයේ උපදියි. ඉදින් මරණින් මතු නිරයෙහි නූපදියි නම් මනුලොව උපන් කල්හි බොහෝ රෝග පීඩාවන්ට බඳුන් වෙයි.”

“එසේ ම සතුන්ට හිංසා නොකොට, උදව් උපකාර කරමින්, ගිලන්බවින් නැඟිටීමට උදව් කරයි. නම්, අන්‍යයන් සුවපත් කිරීමෙහි යෙදී සිටියිනම්, හේ මරණින් මතු දෙවියන් අතර උපදියි.

ඉදින් දෙවියන් අතර නූපදියි නම්, මනුලොව උපන් කල්හි නිරෝග සුව ලබයි.”

“එසේම යමෙක් වහා කිපෙයි ද, ක්‍රෝධ බහුලව වසයි ද, ගැටුණු සිතින් වසයි ද, අමනාප සිතින් වසයි ද, කෝපයෙන් බොහෝ කොට දොස් පරොස් කියමින් සිටියි ද, හේ මරණින් මතු නිරයට යයි.

ඉදින් මරණින් මතු නි‍රයෙහි නූපදියි නම්, මනුලොව උපන් කල්හි දුටුවන් අපහදවන, විරූපි පෙනුමක් ලැබෙයි.

එසේ ම යමෙක් තරහ අමනාප දුරු‍කොට මෙත් සිතින් වසයි ද, ක්‍රෝධය බැහැර කරයි ද, අන්‍යයන් බොහෝ කොට කිවූ නමුත් තමා ඉවසා සිටියි ද, කිසිසේත් ද්වේශය ඇති නො කර ගනියි ද, හේ මරණින් මතු දෙවියන් අතරට යයි. ඉදින් මරණින් මතු දෙවියන් අතර නූපදියි නම්, මනුලොව උපන් කල්හි ඉතා මනහර රූපයක් ලබයි.”

“එසේම යමෙක් අන්‍යයන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරයි ද, අන්‍යයන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි අමනාප වෙයි ද, ඒ හේතු කොටගෙන මරණින් මතු නිරයට යයි.

ඉදින් මරණින් මතු නිරයෙහි නුපදියි නම්, යළි මනුලොව උපන් කල්හි අල්පේශාක්‍ය වූ දුක්ඛිත ප්‍රේත ජීවිතයක් ගෙවයි. එසේම යමෙක් අන්‍යයන්ට ඊර්ෂ්‍යා නො කොට, අන්‍යයන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳව සතුටු ව, ඔවුන්ට සෙත් පතයි ද, හේ මරණින් මතු දෙවියන් අතරට යයි. ඉදින් මරණින් මතු දෙවියන් අතර නූපදියි නම්, මනුලොව උපන් කල්හි ඉතා සම්භාවනීය මහේශාක්‍ය පුද්ගලයෙක් වෙයි.”

“එසේම යමෙක් දන් නො දෙයි ද, ආහාරපාන වස්ත්‍ර යාන කුටිසෙනසුන් තෙල් පහන් ආදී දේ දානයට නො දෙයිද, දානය සමාදන් නොවෙයි ද, දන් දීම පුහුණු නො කරයි ද, මරණින් මතු නිරයට යන්නේ ය.

ඉදින් මරණින් මතු නිරයෙහි නූපදියි නම්, යළි මනුලොව උපන් කල්හි ඉතා දිළිඳු ව උපදියි.”

“එහෙත් නිරතුරුව දන් දෙන, දානයෙහි සමාදන්ව සිටින, දන්‍ දීමට ලොල්ව සිටින තැනැත්තා දෙවියන් අතර උපදියි. ඉදින් මරණින් මතු දෙවියන් අතර නූපදියි නම්, මනුලොව උපන් කල්හි ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෙයි.”

“එසේම යමෙක් ගරු කළ යුත්තන්ට ගරු නො කරයි ද, පිදිය යුත්තන්ට නො පුදයි ද, වැඳීය යුත්තන්ට නො වඳීයි ද, මඟ දිය යුත්තන්ගේ ගමන් මඟ හරස් කොට සිටියි ද, මෙබඳු දෙයින් රැස් කරන ලද කර්ම නිසාවෙන් හේ මරණින් මතු නිරයෙහි උපදියි. ඉදින් මරණින් මතු නිරයෙහි නූපදියි නම්, මනුලොව උපන් කල්හි අන්‍යයන් යට‍තේ අසරණ ව වසන හීන කුලයෙහි උපදියි.”

“එසේ ම යමෙක් ගරු කළ යුත්තන්ට ගරුකොට, පිදිය යුත්තන් පුදා, වැඳීය යුත්තන් වැඳ සත්කාර සම්මාන කොට, අසුන ලැබිය යුත්තාට අසුන දී, මඟ දිය යුත්තන්ගේ ගමන හරස් නො කරන යහපත් තැනැත්තා ඒ කර්මයෙන් දෙවියන් අතර යයි. ඉදින් මරණින් මතු දෙවියන් අතර නූපදියි නම්, මනුලොව දී ඉතා සම්භාවනීය ගරු බුහුමන් ලබන කුලයෙහි උපදියි.”

“එසේ ම යමෙක් කුසල් කිම? අකුසල් කිම? කුමක් කිරීමෙන් අයහපත වෙයි ද? කුමක් කිරීමෙන් යහපත වෙයි ද? වැළකී සිටිය යුතු වැරැදි කවරේ ද? පුරුදු කළයුතු නිවැරැදි දේ කවරේ ද? යනාදිය නැණවතුන් කරා ගොස් විමසයි ද, ඒ හේතුවෙන් හේ බොහෝ ගුණදම් පුරුදු කර ගනියි. මරණින් මතු දෙවියන් අතර නූපදියි නම්, මනුලොව උපන් කල්හි මහා නැණවතෙක් වෙයි.

ඉදින් යමෙක් මෙසේ නො කරයි නම් ඔහුට වැරදින් වළකින්නට පිළිවෙළක් නැත්තේ ය. මරණින් මතු නිරයට යයි. නිරයෙහි නුපදියි නම්, මනුලොව උපන් කල්හි කිසිවක් නො වැටහෙන අඥාන මිනිසෙක් වන්නේ ය.”

මෙසේ මනුලොව උපදින මිනිසුන් අතර යම් යම් දෛ‍වෝපගත සැප දුක් විඳීම් ඇත්තේ ය. ඔහු කර්ම විපාකයක් වශයෙන් ඒ ඒ ජීවිත ගෙවමින් සැප දුක් විඳීති. සත්ත්ව ලෝකයෙහි සියලු උපත්වල උස් පහත් වෙනස්කම් පිණිස භවාන්තර ගණනක කර්මයන්ගේ බලපෑම ඇති බව භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.