Print this Article


පින් පුරවා ගැනීමට අවස්ථාවක්...

පින් පුරවා ගැනීමට අවස්ථාවක්...

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය ආරම්භ වන්නේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර සංකල්පයක් මල්ඵල ගන්වමින් එක් දහස් නමසිය හැටේ දශකයේ මුල්භාගයේ දී ය.

මිහින්තලේ රජමහා විහාරාධිපති ව වැඩ විසූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ ආනුශාසකත්වයෙන් ඇරැඹුණු මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව වසරෙන් වසර නවාංගයන් ද ඒකරාශි කරමින් උත්කර්ෂවත් ලෙස පවත්වාගෙන එනු ලබයි.

මෙවර ද පොසොන් පොහෝ දිනය වෙනුවෙන් මිහින්තලා පුද බිම ආලෝකවත් කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ අනුව එම පින්කමේ පූර්ව කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එහි ගියහ.

එහිදී මිහින්තලා පුදබිමේ ආරාධනා ගල වෙත පිවිසීම සඳහා වන අත්වැට පිළිසකර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාවට ලක්කර ඇත. ඒ මහා පුණ්‍ය කර්මයට දායක වීමට සැදැහැති පාඨක ඔබට ද අවස්ථාව හිමි වී ඇත.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා ඇතිව සිදු කෙරෙන මෙම පුණ්‍ය කර්මය සඳහා ශ්‍රම දායකත්වයෙන් මූල්‍යමය දායකත්වයෙන් සහාය දැක්විය හැකි ය. ඒ සඳහා 0714601781 යන දුරකතන අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි ය. මිහින්තලේ ලංකා බැංකුවෙහි මිහින්තලා රජමහා විහාර සංවර්ධන අරමුදල නමින් පවතින ගිණුමේ 5022045 යන ගිණුම් අංකයට මුදල් බැර කරමින් දායක වීමට හැකි ය.