Print this Article


සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමිපාණන් වහන්සේ

සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමිපාණන් වහන්සේ

පින්සාර දිවියක සිංහාවලෝකනය

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගිහි නම අතුකෝරළගේ බන්දුලහාමි ය. බන්දුලහාමි මෙලොව එළිය දුටුවේ 1931 මැයි මස 02 දින දී ය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් 1931 මැයි මස දෙවැනි දා වෙසක් පුනු පොහෝ දිනයක් වීම යි. බන්දුලහාමි උපන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න

කෝරළයේ කුඹුරුගමුව නම් ග්‍රාමයේ ය. අතුකෝරළගේ මද්දුමහාමි සහ සූරියආරච්චිගේ හීන් එතනා යන මව්පියන්ට මෙම දරුවා සමඟ දූ දරුවන් නව (9) දෙනෙක් වූහ.

ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පින්වත් දරුවා කුඹුරුගමුවේ හල්වින්න විද්‍යාලයට ඇතුළත් විය. මව්පියෝ ශ්‍රද්ධාවත් බෞද්ධයෝ ය. විසිවන සියවසේ මැද භාගයේ විසූ බොහෝ ගම්බද බෞද්ධයින් මෙන් මොහුගේ දෙමාපියෝ ද තම පුත්‍රයා සසුනට පිරිනැමීමට තීරණය කළහ. පසු කලෙක ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවල පතාක යෝධයකු බවට පැමිණි චරිතයක ආරම්භය එය විය.

පැවිදි බව ලැබීම

බන්දුලහාමි කුඹුරුගමුවේ වජිර හිමි යන නමින් පැවිදි කරන ලද්දේ ඔහුගේ දොළොස්වැනි (12) වියෙහි දී ය. එය සිදුවූයේ 1943 වර්ෂයේ දී ය. කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ පැවිදි ගුරුවරයා වූයේ ගොඩකවෙල මහින්දාරාම විහාරාධිපති වූ ද, සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක වූ ද, තඹගමුවේ ධම්මදින්න රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

විදුලකරට වැඩමවීම

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සමකාලීනයකු වූ තඹගමුවේ ධම්මදින්න රතනපාල නායක ස්වාමින්ද්‍රයෝ කුඹුරුගමුවේ වජිර හිමියන් තමන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ, තමාගේ මිත්‍රයකු පරිවෙණාධිපති ධූරයට පත්ව සිටි විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් කිරීමට තීරණය කළහ. මෙම තීරණය බොහෝ පාර්ශ්වවල හිත සුව පිණිස වූ බව දැන් ඉතා ප්‍රකට කරුණකි. මේ අන්දමට කුඹුරුගමුවේ වජිර හිමියෝ එවකට ලංකාවේ පැවැති ප්‍රාචීන අධ්‍යාපනය මධ්‍යස්ථාන දෙකෙන් එකකට ඇතුලු වූහ. ඒ 1946 වර්ෂයේ දී ය. ස්ථිර වාසස්ථානය වූයේ විද්‍යාලංකාර පිරිවෙන යි.

උපසම්පදාව ලැබීම

විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළු වී හත් වසකට පසුව දෙවිසි වියෙහි දී තඹගමුවේ ධම්මදින්න රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කුඹුරුගමුවේ වජිර හිමියෝ උපසම්පන්න වූ සේක. අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තරුණ වජිර හිමියන් ගැන කො තරම් පැහැදුණේ ද යත් තමන් වහන්සේගේ උපස්ථායක ධූරය වජිර හිමියන්ට පැවැරූ සේක. එතැන් පටන් අත් නොහැර යන සෙවනැල්ලක් සේ 1970 දී කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වන තුරුම වජිර හිමියෝ උන්වහන්සේ රැක බලා ගත් සේක.

සෑම වසරකම සැප්තැම්බර් මස 21, 22, 23 තෙදින තුළ ලක්දිව අවම ප්‍රත්‍ය පහසුකම් ඇතිව වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට හා අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට දානමාන පූජා කිරීම්, ආධාර බෙදාදීම් හා බුදු කුටි, පුස්තකාල ආදිය ඉදි කරමින් ප්‍රඥාසාර ගුණානුස්මරණ පින්කම් සිදු කරනුයේ දහස් සංඛ්‍යාත දායක පිරිස් ද සහභාගි කරවා ගනිමින් ය. වජිර හිමියන්ගේ මෙවැනි ක්‍රියාවලින් ද සිතිවිලිවලින් ද නිරූපණය වන්නේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ දක්වන ණයගැති භාවය යි.

වැඩිදා සිට පිරිවෙන හැර නො යෑම

විද්‍යාලංකාර පිරිවෙනේ අවසාන පරීක්ෂණය තෙක්ම වජිර හිමියෝ උද්යෝගිමත් ශිෂ්‍යයෙක් හැටියට එම පිරිවෙනෙහි ශිල්ප ශාස්ත්‍ර හැදෑරූහ. වජිර හිමියන් තවමත් කල්පනා කරන අන්දමට විද්‍යාලංකාර පිරිවෙන උන්වහන්සේගේ මනස තියුණු කළේ ය. දර්ශනය සහ චරණය නිසි මඟට යොමු කළේ ය. ලොවෙහි විවිධ පැතිකඩ පෙන්වා දුන්නේ ය. ධර්මය හා විනය ප්‍රගුණ කරවී ය. ඒ සියල්ලට ම වඩා කරුණාවෙන් පිරි ප්‍රයෝජනවත් පුරවැසියකු බවට පත් කළේ ය. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, අධ්‍යාපනයට, ආගම, ධර්මයට හා සමාජ සංවර්ධනයට විද්‍යාලංකාර පිරිවෙන කළ ප්‍රදාන බොහෝමයකට සාක්ෂිකරුවකුවීමට අමතරව ශ්‍රී ලංකාව යටත් විජිත වාදයෙන් මුදවා ගැනීමට විද්‍යාලංකාර පිරිවෙන දියත් කළ බොහෝ අරගලවල කොටස්කරුවකු වීමට ද වජිර හිමියන්ට අවස්ථාව සැලසිණ.

එකල කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන් විසින් සම්පාදනය කළ කාලය සඟරාව මුද්‍රණ ද්වාරයෙන් පිටකළ තැන් පටන් පාඨක අතට පත්වන තෙක් සියලු කටයුතු කළේ වජිර හිමියන් විසිනි. සඟ, වෙද, ගරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ ජාතික සංවිධායකයන් වූ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ ප්‍රගතිශීලි ව්‍යාපාරයට සහය වෙමින් 1956 ඇති වුණු ජාතික, සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනමය මහා විප්ලවයේ කොටස්කරුවකු වීමට කුඹුරුගමුවේ වජිර හිමියන් වාසනාවන්ත විය. මෙසේ එදා විද්‍යාලංකාරය තුළ යෝධයන් සේ ක්‍රියා කළ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, හැඩිපන්නල ශ්‍රී පඤ්ඤාලෝක, වල්පොල ශ්‍රී රාහුල, නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර වැනි ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇසුරින් ලද පරිචය තම ජීවිතය පොදු මහජනතාව උදෙසා කැප කිරීමට හේතු භූත වූවා විය හැක.

විශ්ව විද්‍යාලයේ ප්‍රථම කණ්ඩායමට ඇතුළත් වීම

මේ වන විට වජිර හිමියෝ විද්‍යාලංකාර පිරිවෙනේ 13 වසරක නේවාසික ජීවිතයක් ගත කොට තිබුණාහ. පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පැමිණීමත් සමඟ වජිර හිමියෝ විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ කෙනකු හැටියට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුලු වූහ. ප්‍රථම වර්ෂ පරීක්ෂණය අවසන් කළ උන්වහන්සේ බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන විෂය හැටියට තෝරාගෙන විශේෂවේදී ගෞරව උපාධිය සඳහා ඉදිරිපත් වූ සේක. එම ප්‍රතිඵල සමඟ 1963 වර්ෂයේ දී ම කුඹුරුගමුවේ වජිර හිමියෝ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ තාවකාලික සහකාර කථිකාචාර්යවරයකු හැටියට පත්කරනු ලැබූහ.

විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය සේවය ඇරඹීම

වජිර හිමියන්ගේ අවුරුදු තිහක විශ්ව විද්‍යාල සේවය තුළ උන්වහන්සේ සහකාර කථිකාචාර්ය, කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය යන විවිධ තනතුරු හෙබවූහ. වරෙක බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ද, තවත් වරෙක පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ද සේවය කොට උන්වහන්සේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත්තේ 1996 වර්ෂයේ දී ය.

විශ්‍රාම ගැනීමට ප්‍රථම විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක, ශිෂ්‍ය නිවාස පාලක, සනාතන සභාවේ සාමාජික, පාලක සභාවේ සාමාජික යන තනතුරු දරමින් උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට අනූපමේය සේවයක් ඉටු කළහ. විශ්‍රාම ගැනීමෙන් පසුව පීඨයටත් විශ්ව විද්‍යාලයටත් උන්වහන්සේගෙන් සිදු වූ සේවය ඇගයීම් වශයෙන් වජිර හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සාමාජිකත්වයට පත් කර ගන්නා ලදහ.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හැරවුම් ලක්ෂය

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධ්‍යාපන සේවයේ හිනිපෙත්ත නම් උන්වහන්සේ 1988 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය තනතුරට පත් කිරීම ය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සියලු පාර්ශ්වවල සිත් දිනාගත් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක දිගට අවුරුදු හයක්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තනතුර ඉසුලූහ. ඉන් පෙර 1982 වර්ෂයේ සිට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් ලත් පන්නරය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මහෝපාධ්‍යාය ධූරය සාර්ථකව කරගෙන යාමට රුකුලක් වූ බවට සැකයක් නැත.

මහෝපාධ්‍යායන් වහන්සේ හැටියට උන් වහන්සේ විශ්ව විද්‍යාලයේ පාඨමාලා වඩාත් සක්‍රීය කළහ. විශ්වවිද්‍යාල පරීක්ෂණ ජාතික මට්ටමට ඔසවා තැබූහ. ආයතනවලට දුන් මූල්‍ය ප්‍රතිපාදන වැඩි කළහ. අධ්‍යයන මණ්ඩලයට නව සාමාජිකයින් බඳවා ගත්හ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට, ජාතික විශ්ව විද්‍යාලවලට ලැබෙන සියලු ප්‍රතිලාභ හඳුන්වා දුන්හ. ඒ සියල්ලට ම වඩා උන්වහන්සේගෙන් සිදුවූ සේවය නම් ජාත්‍යන්තර අනුබද්ධ ආයතන කිහිපයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම ය. වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශිෂ්‍ය ගණයාට සහ ආචාර්ය මණ්ඩලයට කො තරම් හිතවත් වූයේ ද යත් 1988 - 1989 භීෂණ සමයේ දී ශ්‍රී ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල සියල්ල අවුරුදු දෙකකට පමණ කාලයකට වසා තිබියදීත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය එක් දිනක් හෝ නො වසා පවත්වාගෙන යෑමට උන්වහන්සේට හැකියාව ලැබීම දැක්විය හැකි ය. වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යව සිටි කාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ද, ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය ද, උන්වහන්සේගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගනු පිණිස එම ආයතනවල පාලක සභාවලට කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්කර ගත්තේ ය.

නව සංශෝධන යටතේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ප්‍රතිව්‍යුහගත කිරීමේ භාරදූර කාර්යය පැවරුනේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේට ය. තමන් වහන්සේගේ අත්දැකීම් හා කුසලතා ද පරිණතයට අනුව කටයුතු කොට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ අවශේෂ ජාතික විශ්වවිද්‍යාල හා සම මට්ටමකට පත් කිරීමට උන්වහන්සේට හැකිවිණි. අවුරුදු දෙකක පමණ කාල පරිච්ඡේදයක් තුළ තමාට පැවරුණු කාර්යය සියලු දෙනාගේ සංතෘප්තියට හේතු වන පරිද්දෙන් නිම කළ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1998 වර්ෂයේ දී වැඩ බලන මහෝපාධ්‍යාය තනතුරෙන් ඉල්ලා අස්වූහ.

සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් පිදුම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන අංශ, පීඨ හා සනාතන සභා යන අංශවලින් ප්‍රතිමණ්ඩිතව ව්‍යුහගත කරන ලද්දේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. අනුබද්ධ ආයතනවල සිටි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගත විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට හැකි වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසා ය. එපමණක් ද නොව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අලුත් පිරිස් බඳවා විශ්ව විද්‍යාලයේ කාර්ය භාරය පෘථුල කරන ලද්දේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ප්‍රති සංවර්ධන කිරීමේ කාර්යයේ දී ඉටු කළ මා හැඟි සේවය සැලකිල්ලට ගෙන විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව උන්වහන්සේට 2007 වර්ෂයේ දී පැවැති උපාධි ප්‍රදානෝත්සවයේ දී සම්මාන සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය පිරිනැමීමට තීරණය කළේ ය.

කුලපති පදවි ලබයි

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාස්ත්‍රීය ජීවිතයේ මස්තකප්‍රාප්තිය සලකණු කරමින් 2005 වර්ෂයේ දී උන්වහන්සේ සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කරන ලදහ. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිල වශයෙන් ද පෞද්ගලිකව ද, පෘථුල වශයෙන් විදේශවල සංචාර කළහ. බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර සමිති සමාගම්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ උන්වහන්සේ ය. ඉන්දියාව, නේපාලනය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ලාඕසය, චීනය, දකුණු කොරියාව සහ රුසියාව වැනි රටවල සංචාර කිරීමට උන්වහන්සේට අවස්ථාව සැලසිණ.

චාම් බවේ ප්‍රතිමූර්තිය

අති සරල ජීවිතයක් ගත කරන, සංතෘප්ත කෙනකු හැටියට අපි වජිර හිමියන් හඳුනාගෙන සිටිමු. උන්වහන්සේ උදාර චරිතයකින් හෙබියහ. කිසි දිනෙක බලය හා ධනය පසු පස නො ගියහ. අප සියලු දෙනාට උන්වහන්සේ වජිර හාමුදුරුවෝ ය. උන්වහන්සේ කිසිවකුට වජිර නායක හාමුදුරුවෝ නොවෙත්. උන්වහන්සේගේ එකම පැතුම ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ අභිවෘද්ධිය ය. එමනිසා දුකට පත් පීඩිත ජනතාවට සේවය කරන සාමාජික සංවිධාන රැසක කටයුතු කිරීමට උන්වහන්සේ ඉදිරිපත්ව සිටිති.

නොසැලුන සමාජවාදියා

(සැබෑ බුද්ධ පුත්‍රයා)

පසුගිය වසර 50 තුළ උන්වහන්සේගේ ස්වාධීන චින්තනය කිසිදිනෙක වෙනස් නොවීය. බෞද්ධ දේශපාලන දර්ශනය ගැන හදවතින් ම ආදරය දක්වන කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැබැවින් ම සමාජවාදියෙකි. තමන් වහන්සේගේ මතය නො බියව නොපැකිල ප්‍රකාශ කිරීමට කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරිපත් වූ අවස්ථා බොහොමයක් අප දැක ඇත. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය තනතුරට පත් කළ අවස්ථාවේ දී විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති පදවියෙන් අස්වෙතැයි බොහෝ දෙනා සිතුව ද උන්වහන්සේගේ පිළිතුර වූයේ රජකම සඳහාවත් උන්වහන්සේ ධර්ම විද්‍යාලාධිපති තනතුර අත් නො හරින බව ය. අප දන්නා පරිදි වජිර ස්වාමින්ද්‍රයන් වහන්සේ බුද්ධිමතුන්ගේ පර්ෂදවලට පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ගේ පර්ෂදවලට ද එකසේ පෑහී කටයුතු කිරීමට හැකියාව ඇත්තෙකි. උන්වහන්සේ කිසිවිටෙකත් ප්‍රශංසාවෙන් හෝ ගර්හාවෙන් කම්පා නොවූ සේක.

වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පඬිවරයකු වන්නේ මේ අනුව ය. නො එසේ නම් පුහු මානය සහ දැනුම පිළිබඳ පුරාජේරුව නිසා නොවේ. උන්වහන්සේගේ චරිතයෙහි විශේෂ ලක්ෂණය වනුයේ උපේක්ෂාව සහ සංවිධානාත්මක හැකියාව යි.

“දළදා ඉතිහාසය හා සංස්කෘතියට” ආචාර්ය උපාධිය

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දළදා වහන්සේගේ ඉතිහාසය හා සංස්කෘතිය අරබයා සිදු කරන ලද මාහැඟි පර්යේෂණය ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් සම්භාවිත වූයේ 1974 වර්ෂයේ දී ය. දළදා වහන්සේ සම්බන්ධයෙන් කරන ලද පුරෝගාමී පර්යේෂණය මෙය ය.

මෙම උපාධි නිබන්ධනය ඉදිරිපත් කළ ආකාරයෙන් ම මුද්‍රණය කිරීමට එවකට පැවති උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 1983 දී තීරණය කළේ ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනයි

“දළදා ඉතිහාසය හා සංස්කෘතිය” නමින් පළ කරන ලද මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙම පර්යේෂණයට 1984 වර්ෂයේ දී ජනාධිපති සාහිත්‍ය සම්මානය පිරිනැමිණ. එම වර්ෂයේ හොඳම පර්යේෂණ කෘතිය ලෙසට සම්මානනීය වූයේ එය ය.

පන්සල, පල්ලිය, කෝවිල එකතු කළා

උන්වහන්සේගේ අචල විශ්වාසය මේ රට සමෘද්ධිය කරා ගෙන යාමට නම් ආගමික සහනශීලතාවට ජනයා පුරුදු පුහුණු කළ යුතු බව යි. මේ රටේ අද පවතින අර්බුද විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාව බහු වාර්ගික බහු ආගමික යන අදහස සියලු දෙනා විසින් පිළිගත යුතු බව උන්වහන්සේ තරයේ විශ්වාස කරති. එම විශ්වාසය ක්‍රියාත්මක කිරීම පිණිස මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්වහන්සේගේ මැදිහත්වීම යටතේ සියලු ආගම්වලට අයත් පූජ්‍ය පූජකයන් වහන්සේලා අතර සමගිය තහවුරු කිරීම පිණිස අන්තර් ආගමික සංවිධානයක් ඇරඹුණු බව දනිමු.

ඉහත දක්වන ලද්දේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්සාර චරිතයේ ලක්ෂණ කිහිපයක් පමණකි. උන්වහන්සේ ළඟින් ඇසුරු කරන අයට පෙනී යන කරුණක් නම් එම පින්සරු බව උන්වහන්සේගේ චරිතයේ කුදු මහත් සෑම ක්‍රියාවකින් ම නිරූපණය වන බවයි.

පහතරට සංඝනායක හා සිරීපාදයේ ආධිපත්‍ය දැරූ වේහැල්ලේ ධම්මදින්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පරපුරේ වැලෑන වත්තේ සෝභිත, කරවිල කන්දේ සෝනුත්තර, කුඹුරුගමුවේ සුමංගල, තඹගමුවේ රතනපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඇවෑමෙන් එම පරපුර ඒකාලෝක කරමින් සබරගමුවටත් මුලු ලක්දිවටත්, ලෝකයටමත් කිත් ගොස පතුරවමින් අද වැඩ සිටින්නේ කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයෝ ය.

අනූවන ජන්ම දිනය නිමිත්තෙන් කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේගෙන් සිදු වූ ලෝක ශාසනික සේවාව අගයා මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය මඟින් “කොළඹ දිසාවේ හා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය” හා “ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥාසාර රතනපාල” ගෞරව නාම පිරිනැමීමක් ද සිදුවේ. උන්වහන්සේට දිගාසිරි සම්පත් ලැබේවා!


වජිර සමිඳු...

සඟවිල සුපිපුණු රන් පියුමක් සේ
සරසවි ගිරි හිස ගුරු තරුවක් සේ
මිණිපුර ඔප කළ විදුර මිණක් සේ
නාමය සුදිළේ වජිර සමින්දේ........

විදුලකරේ සදහම් නද පතුරා
සුවහස් සිසුනට නිසි මඟ පෙන්වා
ගුරු දෙවි කිරිවත්තුඩුවේ පැණසර
නාහිමි නාමය නිති බැබලූවා........

කුලපති - උපකුලපති ධූර හොබවා
අග්ගමහා පණ්ඩිත නම් තැබුවා
දෙස රැස නිසි තැන තබමින් ඔසවා
වජිර සමිඳු නාමය ලොව දිනුවා........