Print this Article


අංගුත්තර නිකායෙන් 10: ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් 10:

ඒකක නිපාතය

සූත්‍ර අංක 43

පදුට්ඨ චිත්ත සූත්‍රය

මහණෙනි, මේලොව ඉතා දුෂ්ට, දූෂිත වූ සිත් ඇති පුද්ගලයකු මෙ සමයෙහි කලුරිය කරන්නේ නම් හිසින් ගෙනෙන ලද්දක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදනේ යැයි මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින් ද යත් ඔහුගේ සිත නපුරු ගති ඇති, ද්වේෂයෙන් දූෂිත ව තිබූ බැවිනි. මහණෙනි, සිත දූෂිත වීම් හේතුවෙන් මරණින් මතු සැපතින් තොර අපාය නම් දුගති වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය.

අටුවාව - නිරය, නරකය යනු ආස්වාද රහිත බව ය.

දුග්ගති නම් දුකට පිහිටක්, පිළිසරණක් නැති ස්වභාවයයි. අපාය යනු සැපතින් ඉවත් වූ තේරුමයි.

සූත්‍ර අංක 44

පසන්න චිත්ත සූත්‍රය

මහණෙනි, මම මෙලොව පැහැදුණ සිත් ඇති (තෙරුවන් කෙරෙහි ගුණ දැන) පුද්ගලයකු ගැන මගේ සිතින් ඔහුගේ සිත දනිමි. මේ පහන් සිත් ඇති පුද්ගලයා මෙ සමයෙහි (එවන් සිතින්) කලුරිය කරන්නේ නම් හිසින් ගෙනෙන ලද්දක් බිම තබන්නාක් මෙන් ස්වර්ගයෙහි උපදින්නේ ය. මහණෙනි, එයට හේතු වන්නේ ඔහුගේ සිත (මියයන අවස්ථාවේ) ප්‍රසන්න හෙයිනි. මහණෙනි, මෙසේ චිත්ත ප්‍රසන්තාවයෙන් මිය යන සත්ත්වයා සැපයෙන් අග්‍ර ස්වර්ග (සග්ග) නම් වූ ලෝකයෙහි උපදින්නාහු ය.

සූත්‍ර අංක 45

ආවිලචිත්ත සූත්‍රය

මහණෙනි, කැළඹුණු, නොපැහැදිලි, මඩ වූ දිය විලක් වේ ද, එහි ඇස් පෙනෙන පුරුෂයකු ඉවුරෙහි සිට බලනුයෙ,් විලෙහි ඔබ මොබ හැසිරෙන්නා වූ ද, නැවැතී සිටින්නා වූ ද, සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන්, කැට කැබිලිති, මත්ස්‍ය සමූහයා ද නොදක්නේ ය. ඊට හේතු කවරේද? ජලය කැළැඹී මඩ වූ හෙයිනි.

මහණෙනි, එපරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් කැළැඹුණු සිතින් යුක්තව ආත්මාර්ථයත්, පරාර්ථයත්, උභයාර්ථයත්, ආත්මාර්ථ, පරාත්ථ දෙකමත්, මනුෂ්‍ය ධර්මයෙන් වැඩි වූ ආර්ය භාවයත් සෝවාන් ආදී මග පල ලැබීමට සිදු කිරීමට සමත් වූ ඥාන දර්ශන විශේෂයක් (විදර්ශන අර්හත් ඥාන) ප්‍රත්‍යක්ෂ කරන්නේ ය යන කරුණ සිදු නොවන්නකි. එයට හේතුව නම් සිත නොපහන් බවයි. නොපැහැදුනු බවයි.

අටුවාව - මෙහි ඇවිලෙන යනු නීවරණ පසින් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ගැවැසීගත් බවයි.