Print this Article


බුදුගුණ සිහි කර දෙව්ලොව ගිය හැටි

බුදුගුණ සිහි කර දෙව්ලොව ගිය හැටි

අප බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් විහාරයෙහි වැඩ වෙසෙන අවස්ථාවේ දේව චාරිකාව සඳහා මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩියහ.

එක්තරා දිව්‍ය පුත්‍රයෙක් තම විමානයේ සිටින විට මුගලන් මහ රහතන් වහන්සේ වඩින අයුරු දුටුවේ ය. ඒ අවස්ථාවේ දිව්‍ය පුත්‍රයා මුගලන් මහ රහතන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කර එකත්පස්ව සිටියේ ය.

“දේව පුත්‍රය, ඔබ මෙතරම් සැප සම්පත් අනුභව කරන්නේ කුමන පිනක විපාකයක් ලෙසද?”

“ස්වාමීනී;

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ධාතුන් වහන්සේ තැන්පත් කර දාගැබක් ඉදිකර භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස එකතුව එම දා ගැබට මල් පූජා කළහ. පසුව පිරිස ඉන් නික්ම ගිය පසු එතැනට පැමිණි මම සුළඟට තැන තැන විසිරී ගිය මල් අසුනෙහි තිබෙනවා දැක ඒ මල් විසිතුරු ලෙස සකස් කර බුදුගුණ සිහිපත් කරමින් ඉතාමත් සතුටින් නික්මගියෙමි. මා කරන ලද පුණ්‍ය කර්මය ගැන සතුටින්ම සිට මිය ගියේ ය. එහි විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමානයක උපත ලැබී ය.

මුගලන් මහරහතන් වහන්සේ විසින් දේව චාරිකාවේ වඩින අවස්ථාවේ කරන ලද කුසල කර්මය ගැන දිව්‍ය පුත්‍රයාගෙන් අසා දැන මිනිස් ලොවට වැඩ බුදුරදුන්ට දන්වන ලදී. බුදුරදුන් මෙම කතාව නිමිති කරගෙන දම් දෙසූහ. බොහෝ පිරිසට ඒ දහම් දෙසුම වැඩදායක විය.