Print this Article


 හෙළ කලාකරුවාගේ විස්මිත නිමැවුම අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

 හෙළ කලාකරුවාගේ විස්මිත නිමැවුම අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

" මා කලා වැව මිටියාවතේ මිණුම් කටයුතු කළේ, කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී රූස්ස වනාන්තරයෙන් වැසුණු ගොවි බිම්වල ජනපද ගොවීන් පදිංචි වන්නට බොහෝ කලකට පෙර ය. එවකට මේ ප්‍රදේශ හරහා මාර්ග කිසිවක් තිබුණේ නැත."

ථේරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමා දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකාවේ වෙයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලා වැව දෙසට මුහුණලා නෙළා ඇති අවුකන බුදු පිළිම වහන්සේ ඉන් එකක් ලෙස දැක්විය හැක.

බ්‍රිතාන්‍යය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටයුතු කළ මිනින්දෝරු නිලධාරියකු වූ “රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර්” මෙරට ඓතිහාසික සම්ප්‍රදායයන්, වාරි කර්මාන්තය සහ ඓතිහාසික යුග පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ විද්වතෙකි. ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් අවුරුදු 40 ක් පුරා මේ දිවයින පිළිබඳ ප්‍රාමාණික දැනුමක් උකහා ගත්තේ ය.

මිනින්දෝරු කට්ටලය සහ මිනුම් පටිය රැගෙන පුරාණ රාජධානි සමය බිඳ වැටීමෙන් පසු එතෙක් මිනිසුන් පය නොගැසූ ඝන වනාන්තර තුළ ඔහු ඇවිද ගියේ ය. ඓතිහාසික යුගයේ පුරාණ රාජධානිවල නටබුන් දැක හැඳීන ගත්තේ ය. ඒ නිසාම මෙරට ශ්‍රේෂ්ඨ ඓතිහාසික සම්ප්‍රදායයන්ට බ්‍රෝහියර් මහත් සේ ගරු කළේ ය.

බ්‍රෝහියර් ස්වකීය චාරිකා අලළා තබන ලද වාර්තා සටහන් ඇසුරින් “ඉඥඥඪද ඛ්ඥරතධද” නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ය. බ්‍රෝහියර්ගේ ආධ්‍යාත්මය හඳුනා ගැනීමට ඇති හොඳම සටහනක් වන්නේ අවුකන පිළිම වහන්සේ, හිරුඑළිය නොවැටෙන ඝන වනාන්තරයේ ප්‍රථමයෙන් නෙත ගැටුණු අවස්ථාවේ ඔහු විසින් තබන ලද සටහන් ය. බ්‍රෝහියර් අවුකන මැනුම් කටයුතු කරන්නේ 1920 දශකයේ දී ය.

ඔහුගේ සටහන් අතර මෙසේ හමුවේ “ලොව මිනිසා විසින් නිර්මාණය කළ විශිෂ්ටතම කලා නිර්මාණය අවුකන බුද්ධ ප්‍රතිමාව යැයි මම විශ්වාස කරමි. මා කලා වැව මිටියාවතේ මිණුම් කටයුතු කළේ, කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී රූස්ස වනාන්තරයෙන් වැසුණු ගොවි බිම්වල ජනපද ගොවීන් පදිංචි වන්නට බොහෝ කලකට පෙර ය. එවකට මේ ප්‍රදේශ හරහා මාර්ග කිසිවක් තිබුණේ නැත. මිනින්දෝරු කණ්ඩායම වනාන්තරය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටියේ ත්‍රිකෝණමිතික ස්ථානයක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගනු පිණිස ය. අප කැලෑව පාදා ගනිමින් ඉදිරියට යද්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් ප්‍රතිමාව පාදුර්භූත විය. මම තුෂ්ණිම්භූත වීමි. මා දකින්නේ සත්‍යයක් ද මායාවක් දැයි මට අදහාගත නොහැකි විය.

හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසියකු ලෙස ජීවත කාලය පුරා සිතේ පැවති අභිමානය ඒ නිමේෂයේ දී බොඳ වී ගියේ ය. දැවැන්ත ප්‍රතිමා වහන්සේ ඉදිරියේ මා කුඩා අගුටුමිට්ටකු බවට පත්ව සිටියේ ය. අභිමානය ඉවත හළ මම මේ චමත්කාරජනක විස්මිත නිර්මාණය නරඹන්නට වූයෙමි. සියවස් විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම සිංහලයාගේ පරම යුතුකම හා වගකීම සම්බුද්ධ ශාසනය රැක ගැනීමයි...

භූමිය හරහා හැමූ මෝසම් සුළඟට හා වර්ෂාවටත් මේඝ ගර්ජනාවලටත් චණ්ඩ අකුණු සැරවලටත් මුහුණ දෙමින් සුවිසල් ප්‍රතිමා වහන්සේ මහේශාඛ්‍ය ලීලාවෙන් නැගී සිටියහ. මට වැටහී ගියේ රුදුරු ආක්‍රමිකයන්ගේ කුරිරු හස්තයන්ගෙන් බේරි ප්‍රතිමා වහන්සේ පැවැතීම මහා ආශ්චර්යයක් බව ය.

මෙවැනි මනස්කාන්ත පසුබිමක මේ උත්කෘෂ්ඨ නිර්මාණය කරන්නට හැකියාව තිබෙන්නේ නියත වශයෙන්ම ශ්‍රේෂ්ඨයකුට පමණි. මෙවැනි රළු ගල් පව්වක මෙලෙස සූක්ෂම කැටයම් සහිත සියුම් ඉරියව් මතු කරමින් ජීවය පිඹිය හැකි වන්නේ උත්කෘෂ්ඨ කලාකරුවෙකුට ම පමණි.”

මහාවංසයේ දැක්වෙන පරිදි ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමා වහන්සේ නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ කලා වැවට බටහිරින් අවුකන ප්‍රතිමාවහන්සේ පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා “බරණ” නැමැත්තකු බවත්, ඔහුට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්‍ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර, එය “ගල්වඩුවාගම” නමින් අදත් දක්නට ඇත.

අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත්ත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචළිත වන්නේ ගුරු ගෝල තරගයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ බවයි.

දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් පිළිමවහන්සේත්ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත්, වැව ලෞකික දියුණුවත් සංකේතවත් කරයි.

ලොව සුපතළ අවුකන පිළිම වහන්සේ පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. උසින් අඩි 38 අඟල් 10 කි. සිරස් පත සමග උස අඩි 42 අඟල් 06 කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් ඇත.

මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්‍ෂණයක් නම් එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙනවිත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සලකුණක් මතට වැටීමයි.

මෙයින් පෙනී යන්නේ මේ සා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙළීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය හෙළ කලාකරුවාගේ විස්මිත කලා කුසලතාවය මැනවින් ලොවට කියාපාන කදිම සාධකයකි.