[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යළි පිබිදෙන කූරගල පුදබිම: ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑයේ’ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

යළි පිබිදෙන කූරගල පුදබිම:

‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑයේ’ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

කූරගල පුදබිම සම්බන්ධයෙන් අපි පසුගිය සතියේ වාර්තා කෙළෙමු. රජ කාලයෙන් පසුව කූරගල පුදබිමේ සිදු කෙරුණු මහා පින්කම් මාලාව පසුගිය මැදින් පුන් පොහෝ දින මහත් උත්සවාකාරයෙන් සිදු කෙරුණි. මේ පින්කම් මාලාවේ විශේෂිතම අරමුණ වූයේ කූරගල කඳුමුදුනේ ඉදි කෙරෙන ‘අස දිසි ශාක්‍ය සුගත මහා සෑයේ‘ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයයි.

පින්කම් මාලාව ආරම්භ කෙරුණේ උදෑසන 15,000කට අධික උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමෙනි. ගස් ගල් යට පවා උවැසි උවැසියෝ සිල් සමාදන් වූහ. අතිවිශාල ජනකායක් වුවද කිසිදු කලබලයකින් තොරව ඔවුහු සියලු ආගමික වත් පිළිවෙත් සිදු කළහ.


අසදිසි ශාක්‍ය සුගත සෑයට මුල් ගල තබමින්

අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ කූරගල පුදබිම බෞද්ධාගමට මූලිකත්වය ලැබෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම ‘කූරගල ‍මෞලි මංගල්‍යය‘ ලෙස හඳුන්වා කූරගල මහා පින්කම සිදු කරන්නට කටයුතු කෙළේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් හෙවත් නෙල්ලිගල හාමුදුරුවන් විසිනි. කූරගල මස්තකයෙහි ඉදි කෙරෙන සෑයට ගඩොල් දෙලක්ෂ හැත්තෑදාහක් පමණ වැය වන බව නෙල්ලිගල හාමුදුරුවෝ බුදුසරණට පැවසූහ. උසින් අඩි 100ක් වන සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවය ඇරැඹුණේ පස්වරු 4.00ටය. ඒ වෙනුවෙන් මහා සංඝ රත්නය 500 නමකට වඩා සහභාගි වූහ. සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් ද සමඟ මේ පින්කමට සහභාගි වූ පිරිස 35,000ක් පමණ විය.

අක්කර 54ක් වූ කූරගල පුදබිම අතුරු සිදුරු නැතිව පිරෙන්නට විය. එය මෑත ඉතිහාසයේ බළන්ගොඩ ප්‍රදේශයේ පින්කමකට වැඩිම පිරිසක් සහභාගි වූ අවස්ථාව ලෙස හැඳීන්විය හැකි ය.

මේ මහා පින්කම වෙනුවෙන් වැඩම කළ ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ සියලුම පිරිස් පංචශීලයේ පිහිට වූහ. වැඩම කළ තෛ‍්‍රනිකායික සංඝයා වහන්සේ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමි හා අමරපුර මහා නිකායේ සභාපති සාහිත්‍යසූරී ගන්තුනේ අස්සජි මහා නා හිමියෝද වූහ. එමෙන්ම මල්වතු හා අස්ගිරි අනු නාහිමිවරුන්ද වැඩම කර සිටියහ.

මේ සම්බන්ධව බුදුසරණට අදහස් දක්වමින් නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ පවසා සිටියේ, මාසයකටත් අඩු කාලයක් තුළ පර්වත මස්තකයට ගඩොල් 25,000ක් පමණ ගෙන යන්නට හැකිවීමෙන් පෙනී යන්නේ ජනතාව මේ පින් බිම වෙනුවෙන් කටයුතු කරන්නට ඉමහත් වෙහෙසක් ගන්නා බවයි.

සාධු නාද මධ්‍යයේ කූරගල කන්ද තරණය කළ භික්ෂූන් වහන්සේ, ශ්‍රද්ධාවත් ජනතාවගේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සුරතින් ගඩොල් එකින් එක චෛත්‍යය ඉදිවන භූමිය වෙත සමීප කෙරුණි.

විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක, සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ඇතුළු දේශපාලඥයෝද මේ කාර්යයට උර දුන්හ.

ඒ අනුව සබරගමුවේ විශාලතම චෛත්‍යය කූරගල කන්ද මුඳුනේ ඉදිකිරීමට නෙල්ලිගල හිමියෝ මූලාරම්භය යෙදූහ.

කවදත් පැහැදිලි සැලැස්මකට අනුව කටයුතු කරනු ලබන නෙල්ලිගල හාමුදුරුවන්ගේ අධිෂ්ඨානය වන්නේ කූරගල අස දිසි ශාක්‍ය සුගත මහා සෑය ලබන වසරේ පෙබරවාරි 04 වැනිදා ජනතා වන්දනාමානයට පත් කිරීමට ය. ඒ උදාර වූ කාර්යය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය මාධ්‍ය දායකත්වය දැරීමද විශේෂිත වන්නේ ය. මේ කාර්යය වෙනුවෙන් ඉදිරියේදී ද ආයතනයේ මුද්‍රිත මාධ්‍ය කටයුතු සිදු වන්නේය. බෞද්ධයන්ට අහිමි වන්නට ගිය වසර දහස් ගණනක පින් බිමක් ඒ අනුව යළිත් බෞද්ධයන්ට පමණක් නොව ජාතියටම උරුම කර දෙන්නට නෙල්ලිගල හාමුදුරුවෝ සමත් වූහ.

කූරගල පුදබිමේ සිදු කරන්නා වූ මේ මහා මෙහෙය වෙනුවෙන් ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය කූරගලදී පැවැත්වීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීමට රජය විසින් කටයුතු කරනු ඇතැයිද මේ අවස්ථාවේදී ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ය.

එය බෞද්ධ ජනතාවට වාසනාවන්ත වූ පණිවුඩයකි. සතුන් ඝාතනය කර බිලි පූජා පැවැත්වූ බිමක් යළිත් බෞද්ධ වන්දනාවෙන්, මල් සුවඳ දුමින් සුවඳවත් වී වන්දනීය පූජනීය භූමියක් බවට පත්වීම ගැන සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේයයන්ම සතුටු විය යුතු ය.

  මැදින් අව අටවක 

අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]