[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මය විකෘති කිරීම තථාගතයන් වහන්සේට සිදුකරන අපහාසයක්

ධර්මය විකෘති කිරීම තථාගතයන් වහන්සේට සිදුකරන අපහාසයක්

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක සාහිත්‍යසූරී ගන්තුනේ අස්සජි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කුඩා අවධියේදී ම පැවිදිභාවයට පත්වෙලා ශී‍්‍ර ලංකා අරමපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක ධූරය දක්වා පැමිණි කාල පරිච්ජේදය පිළිබඳ ව අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ජාවට ප්‍රවේශයක් ලබාගනිමු.

මම ගන්තුනේ බොහොම සුන්දර ගැමි පරිසරයක ජන්මලාභය ලබාගෙන ගන්තුනේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා. 7 වන පන්තියේ අධ්‍යාපනය ලබන අවධියේ පියා ගේ ඉල්ලීම පරිදි මගේ බලවත් කැමැත්ත අනුව පැවිදිවීම සඳහා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේට බාර කළා. ඒ අනුව අලපලාවල ඉඹුල්ඉන්නේ.මහින්ද ඤාණතිස්ස අනුනායක හිමිපාණන් වහන්සේ, සතර කෝරළයේ ප්‍රධාන සංඝනායක මඩවල ආනන්ද ඤාණතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1956 නොවැම්බර් 12 වනදා ගන්තුනේ අස්සජී යන උත්තරීතර ශාසනික නාමයෙන් උල්ගල පුරාණ විහාරයේදී (ශෛලාන්තායතන විහාරය) උතුම් පැවිදි බවට පත් වුණා.

අනතුරුව ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සාරානන්ද පිරිවෙනටත්, පිළිමතලාව හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනටත් වැඩම කළා. සමාන්‍යපෙළ, ප්‍රාචීන, ප්‍රාරම්භ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් 1963 වර්ෂයේ දී විද්‍යොදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. 1963 සිට 1967 දක්වා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළ බුද්ධ ධර්මය ප්‍රධාන විෂය කොට විශේෂවේදී පාඨමාලාව හැදෑරුවා.

මගේ උපසම්පදාව සිදුවුණේත් එම කාලවකවානුවේදී ම යි. උපසම්පදා පුණ්‍යකර්මය නොදැක සිටි සතර පේරුවේ දායක කාරකාදීන්ට දැක බලාගැනීම සඳහා විහාරස්ථානයේ ම උපසම්පදා පුණ්‍යොත්සවය සිදුකිරීමට නායක හාමුදුරුවන් වහන්සේ ගත් තීරණය අනුව 1967 ජනවාරි 17 දින සීමාවක් සම්මත කොට එදිනම මගේ පැවිදි ආචාර්යන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන්ම,අත්තරගම සරණතිස්ස (දුම්බර හිමි) නායක හාමුදුරුවන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, වැලිතර ඤාණවිමල මහානායක හිමිපාණන් වහන්සේගේ කර්මාචාර්යත්වයෙන් උතුම් වූ උපසම්පදාව ට පත්වුණා.

උපසම්පදාවීමෙන් අනතුරුව1967 වර්ෂයේ දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා. දෙවන පංති ඉහළ පෙළ සාමාර්ථයක් සහිතව උපාධිය සමත්වීම නිසා විද්‍යොදය සහ ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලයන්හි බෞද්ධ අධ්‍යයන අංශයේ වසර 13ක් කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට හැකි වුණා. එම කාලයේදී ම ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා.

විශ්ව විද්‍යාල පත්වීම ස්ථිර නොවී තිබුණ නිසා, පාසල් පත්වීමක් බලාපොරොත්තුවෙන් සිටි අවධියේ මීරිගම බෞද්ධ ගුරු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳෙන ලෙසට ලැබුණ ආරාධනාව බාරගෙන එහි ආචාර්යවරයකු වශයෙන් සේවය ආරම්භ කළා. හොඳ හැදියාවක් තිබුණ ධර්මයට ලැදි ගුරු ශිෂ්‍යය පිරිසක් සිටි නිසාම ඔවුන් සමඟ වසර 7 ක් පමණ බොහොම සතුටින් ගුරු විද්‍යාලය තුළ සේවය කළා.

නැවතත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය මණ්ඩලය තුළ ස්ථිර පත්වීමකට තේරීපත්වුණත් , ගුරු හාමුදුරුවන් වහන්සේ අසනීප තත්ත්වයෙන් වැඩ සිටි නිසා ආචාර්ය උපාධියවත් සම්පූර්ණ කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

1990 වර්ෂයේ දී විශ්ව විද්‍යාලයෙන් ඉවත්වෙලා නායක හාමුදුරුවන් වහන්සේ හොඳීන් රැකබලාගෙන, විහාරස්ථානයේ කටයුතු සිදුකරමින් දහම් පාසල් නිර්දේශ පත්‍ර සකස්කිරීම , දහම් පාසල් පාඨ ග්‍රන්ථ රචනා කිරීම, දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, පාසල් බුද්ධ ධර්ම නිර්දේශ පත්‍ර සහ පාඨ ග්‍රන්ථ ලිවීම ආදී ශාස්තී‍්‍රය කටයුතු අඛණ්ඩව සිදු කළා.

අනතුරුව මම පැවිදිවුණ අමරපුර චූලගන්ඨි නිකායේ කාරක සභික, සහකාර ලේකම්, නියෝජ්‍ය ලේකම්, ප්‍රධාන ලේඛකාධිකාරී මහෝපාධ්‍යාය සහ මහානායක පදවිවලට පත්වුණා. මගේ තරුණ අවධියේ මම ප්‍රකාශ කර සිටියේ අපවත්වන තුරු නායක පදවියට පත්නොවන බවයි. එසේ වුවත් පත්වීමට සිදුවුණා.

ඒ අතර ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභිකයකු ලෙස පත්කිරීමට චුලගන්ඨි පාර්ශ්වය කටයුතු කළා. එහිදී මා විසින් නිර්මාණාත්මක, සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කළා. එවකට පැවැති ව්‍යවස්ථාව වෙනස්කිරීමේ මණ්ඩලයේ වගකීම් කොටසක් ඉටුකිරීමටත් පැවරුණා. මම ඉදිරිපත් කළ යෝජනා සංඝ සභාව සම්මත කළ නිසා ඒ අනුව අලුත් සැලැසුමකට අනුව ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ අධ්‍යාපන හා ප්‍රකාශන සහකාර ලේඛකාධිකාරී ධුරයට පත්වුණා. එවකට සභාපති ප්‍රධාන පදවිය වශයෙන් පැවතුණා මිස, උත්තරීතර මහා නායක පදවියක් තිබුණේ නැහැ. මගේ යෝජනාවකට අනුව උත්තරීතර මහානායක පදවිය ව්‍යවස්ථාව තුළින් ආරම්භ වුණා. බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ, අනුපිළිවෙළින් කොස්ගොඩ ධම්මවංශ හිමි,මඩිහේ පඤ්ඤාසීහ හිමි යන නායක හිමිපාණන් වහන්සේලා නව ව්‍යවස්ථාවට පෙර ප්‍රථම සභාපති පදවිය උසුලණු ලැබුවා. සියලුම. පාර්ශ්වයන්ට සභාපති පදවිය ලැබෙන ආකාරයටත්, අමරපුර නිකායේ ඕනෑම පාර්ශ්වයක වඩාත් සුදුසු ස්වාමීන් වහන්සේ උත්තරීතර මහානායක ධූරයට පත්වන ආකාරයටත් සංඝ සභාවේ අනුමැතිය ඇතිව අලුත් ව්‍යවස්ථාවට අනුව උත්තරීතර මහානායක පදවිය ඇති කළා.

නව ව්‍යවස්ථාවට අනුව ප්‍රථම උත්තරීතර මහානායක ධූරයට මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ පත්වුණා.

ඒ අනුව උඩරට අමරපුර පාර්ශ්වයේ කන්දේගෙදර සුමනවංශ හිමිපාණන් වහන්සේ සභාපතීන් වහන්සේ ලෙස පත්වුණා. වර්තමානයේ උත්තරීතර මහානායකව වැඩ සිටි අපවත්වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේත් සභාපති ලෙස කටයුතු කළා . ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති වශයෙන් මාව නිතරඟයෙන්ම තේරී පත්වන විට, කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ උත්තරීතර මහානායක පදවියට පත්ව සිටියා. උන්වහන්සේ මහා ලේඛකාධිකාරී වන විට මම සහකාර ලේඛකාධිකාරී, උන්වහන්සේ සභාපති වන විට මම නියෝජ්‍ය ලේඛකාධිකාරී. උන්වහන්සේ උත්තරීතර මහානායක පදවියට පත්වන විට මම සභාපති වශයෙන් ගැලපීමක් ඇතිව පැමිණිලා තිබෙනවා. උත්තරීතර මහා නායක හිමියන් තදබල ලෙස ගිලන් වුවහොත් වැඩබලන උත්තරීතර මහානායක පදවිය සභාපතීන් වහන්සේට හිමිවිය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන නිසා වැඩබලන උත්තරීතර මහානායක ධූරය දැනට මා වෙත ව්‍යවස්ථා බලයෙන් පැවරී තිබෙනවා. වර්තමානය වන විට පැවිදි ජීවිතයට වසර 64 කට අධික කාලයක් සම්පූර්ණවී ඇති බවත් සතුටින් ප්‍රකාශ කළ යුතුයි..

අපේ නායක හාමුදුරුවනේ , උත්තරීතර මහානායක ධූරයේ කාර්යභාරය පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා නම්,

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22 ක ප්‍රධානියා බවට පත්වන්නේ උත්තරීතර මහානායක හාමුදුරුවන් වහන්සේ. අමරපුර නිකායේ පාර්ශ්වයන්ට අයත්වන සභාපති පදවිය ඇතුළු පදවි සහ සියලුම පාර්ශ්වයන්හි ස්වාධීනත්වය ආරක්ෂා වන ආකාරයට එහි කටයුතු අධීක්ෂණය කිරීමට උන්වහන්සේට පැවරී තිබෙනවා. මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ යන ප්‍රධාන නිකාය හතර ට අනුපිලිවෙළින් නිල වශයෙන් රාජ්‍ය ආරාධනා ලැබෙනවා. පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය පදවිය අනුක්‍රමිකව ලැබෙන්නේ මල්වතු පාර්ශ්වය, අස්ගිරි පාර්ශ්වය, අමරපුර මහා නිකාය , රාමඤ්ඤ මහා නිකාය යන ආකාරයටයි. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය පදවිය නිල බලයෙන් ලැබෙන්නේ ඉහත අනුපිළිවෙළ අනුව එම හතර දෙනා වහන්සේටයි. රාජ්‍ය උත්සවයක් සහිතව ජනාධිපතිතුමා විසින් උත්තරීතර නායක පදවියටත්,සභාපති පදවියටත් අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදුවනවා. යම් කරුණක් පිළිබඳව රජයෙන් විමසීම් කරන්නේ උත්තරීතර මහා නායක පදවිය තුළින් නිසා ජ්‍යෙෂ්ඨ සභිකයන් සමඟ සාකච්ජා කරමින් එයට ගැළපෙන මතයක් ඉදිරිපත් කිරීම උත්තරීතර මහානායක හාමුදුරුවන් වහන්සේගේ කාර්යයක්.

නුතනයේ බෞද්ධ අධ්‍යාපනික විෂයයෙහි ඔබ වහන්සේ කෙබඳු දායකත්වයක් ලබාදී තිබෙනවා ද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ වසර විසි ගණනක් සාමාජිකයකු වශයෙන් කටයුතු කළා.

බුද්ධ ධර්මය විෂය පොත් පෙළ ලිවීමට ප්‍රධානත්වය ලබාදුන්නා. ඉදිරිපත් කරන්නට යෙදුන ගුරු වන්දනා ගාථාව උපදේශක මණ්ඩලය අනුමත කළා. පාසල් උදේ රැස්වීමට නිර්මාණය කළ අධිෂ්ඨාන පත්‍ය කවිය බුද්ධ ධර්මය පෙළ පොත්වල සඳහන් වෙනවා .

ශී‍්‍ර ලංකා අමරපුර නිකායේ වැඩබලන උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේ ලබාගත් අත්දැකීම් අනුව හැදෙන වැඩෙන භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා සිහිපත් කරනවා නම්,

ශාසනය ඉදිරි පැවැත්ම සඳහා අලුතෙන් පැවිදිවන භික්ෂුන් වහන්සේලා ශාසනික හැඟීමෙන් යුතුව, ගුරු භක්තිය ඇතිව, ධර්ම විනයානුකූලව ඉදිරි ගමන යා යුතුයි. අපි මව්පියන්ගෙන් පවා වැඳුම් ලබන විශේෂිත ජීවිතයක් ගත කරන, දායකයන්ගේ සිව්පසය පරිහරණය කරන, පරපටිබද්ධ ජීවිතයක් ගත කරන පිරිසක් බව කල්පනා කිරීම අවශ්‍යයි. ලොකු හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තුවන හැසිරීම කුඩා සාමණේර නමකගෙන් ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු වීම අපහසුයි.

වර්තමාන සමාජයත් සමඟ සිදුවන යම් යම් පෙළඹවීම්වලට හසුවන ස්වාමීන් වහන්සේලාට එකවිට පහර එල්ල නොකර, උපේක්ෂාවෙන් යුතුව එම අඩුපාඩු ලොකු හාමුදුරුවන්ට පෙන්වා දෙමින් ඒ තුළින් දැනුවත් කරනවා නම් හොඳයි.

අනෙකුත් විෂයන්ට වඩා පාලි සිංහල සංස්කෘත බුද්ධ ධර්මය මූලික කරගත් පොතපත අධ්‍යනය නොකර ධර්ම දේශනා කිරීමට බණ පොත් ලිවීමට හැකියාවක් නැහැ. හිතූමනාපයට මතබේද ඇතිවන ආකාරයට ධර්මය විකෘති කිරීමට අපට අයිතියක් නැහැ.අටුවා ටීකා සහිතව ථේරවාදී ධර්මය හොඳීන් හදාරනවා නම් එසේ වන්නේ නැහැ.

ධර්මය විකෘති කිරීම තථාගතයන් වහන්සේට සිදුකරන අපහාසයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ග්‍රන්ථ නියාමන කොමිසම තවමත් කි‍්‍රයාත්මක නැහැ. ඉදිරියේදී තරුණ ස්වාමීන් වහන්සේලා ඒ සඳහා පෙරමුණ ගත යුතුයි.

  මැදින් අව අටවක 

අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]