Print this Article


වගකීම් විරහිතව භාවිත නොකළ යුතු නිදහස

වගකීම් විරහිතව භාවිත නොකළ යුතු නිදහස

නිදහස යන වදනට අරුමෝසම් අරුත් ඇති සමයක නිදහසෙහි නියම අර්ථය නිශ්චිතව ම ප්‍රකාශයට ඇති හොඳම මාර්ගය බෞද්ධ දර්ශනය බව නොරහසකි. බුදු දහම හා නිදහස අතර ඇත්තේ ගසට පොත්ත මෙන් වූ සබැඳියාවකි. නමුත් මෙහි අරුත නොවිමසන්නවුන්, මිසදිටුවන් බුදු සමයෙහි නිදහස වගකීම් විරහිත වූවක් බව පවසයි. නමුදු බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඵලය සියලු සසර බැමිවලින් නිදහස්වීම බව සමාජයට අමතක වී ඇති කරුණකි.

කිසිදු අයුරකින් අන්‍ය සමයවාදීන් හෙළා නොදැක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ “සත්‍ය කුමක්ද” යන්න අවබෝධය පුද්ගලයා සතුවන බවත්, පුද්ගලයාගේ ස්වාමියා තමා ම බවත් පවසමින් ප්‍රඥාව හා අධිෂ්ඨානය ආධාරයෙන් සියලු කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් විය යුතු බවත් වදාළ සේක. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අන්තගාමී නොවූ මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය වදාළ සේක.

කේසපුත්ත වැසි කාලාම වැසියන් උදෙසා බුදුරදුන් දේශිත කාලාම සූත්‍රයේ දී යම් කෙනෙකුට සත්‍ය මෙයම දැයි ඇතිවන සැකයේ දී නිදහස්ව විමසා බලා ආරංචි, පරම්පරාගත පිළිගැනීම්, කට කතා, ආගමික ග්‍රන්ථවල කරුණු, තර්කය, නීතිය වශයෙන් රාමුගත නොවී තම තම නැණ මඟින් විමසා තීරණයකට එළඹිය යුතු බව වදාළහ.

එපමණක් නොව බුදුරදුන් සෑමවිටම තම ශ්‍රාවකයාට බුදුදහම විෂයයෙහි ඇතිවන සියලුම ගැටලුවල දී ප්‍රශ්න අසා විමංසනයට ඉඩකඩ සලසා දුන් සේක. පුද්ගලයා තුළ වූ නිදහස් චින්තන ආකල්පවල සීමාවන් මෙහි ය, මෙතැන යැයි සීමා මායිම් ලඝු නොකොට නිදහස නම් මෙයැයි තේරුම් ගැනීමට බෞද්ධ දර්ශනය අවස්ථාව සලසා දී තිබේ. නමුත් මිසදිටු ලෙස යමකු තම නිදහස වගකීම් රහිතව භාවිතා කරන්නේ නම් එහි වරද තමා අතම බව අප වටහා ගත යුත්තකි.

“අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ජති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤොා් විසෝධයේ”
(ධම්ම පදය - අත්ත වග්ගය)

මෙලෙස ධම්ම පදය ඇසුරින් යම් පුද්ගලයකු කරන කුසල අකුසල කර්මයන්ගේ ආදීනවයන් තමාම භාර ගත යුතු බවත්, හොඳට හොඳත්, නරකට නරකත් ලැබෙන බව පෙන්වා දුන්නේ පුද්ගලයා විෂයයෙහි ඇති වගකීම් පෙන්වා දෙමිනි.

එසේම තව ද,

“ආරම්භක ධාතු, නික්කමධාතු, පරක්කමධාතු, පුරිසපරක්කම, පුරිසථාම, පුරිසබල, පුරිසවීරිය” ආදී වශයෙන් පුද්ගලයා තුළ ඇති පුද්ගල ශක්තිය, ස්වාධීනත්වය තහවුරු වන පරිදි තම නිදහස් චින්තනය වගකීමෙන් භුක්තිවිඳිය යුතු බව පෙන්වා දුන් සේක.

වර්තමානය වන විට බුදුදහමේ ඇති නිදහස නිවැරැදිව නොදැක තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ද ලෞකික, ලෝකෝත්තර අභිවෘද්ධිය වනසාලන්නේ ද ඇතැම් බෞද්ධයෝම ය. කනගාටුවට කරුණත් මෙයම ය. වර්තමාන පිරිස් තමාගේ ගෘහ ජීවිතය, පැවිදි ජීවිතය, ලිංගිකත්වය තුළ දකින අසීමිත නිදහස හේතුවෙන් සමාජ සංස්ථාවන් බොහෝ අර්බුදකාරී අවධීන්ට මුහුණදෙයි. තමා කළ යුත්ත, නොකළ යුත්ත, තේරුම් ගැනීම විෂයයෙහි තමාට අයිතියක් ඇති සේ ම එමඟින් තමන්ට මෙන්ම අන්‍යයන්ට වන දෙය අවබෝධ කර ගැනුමට පුද්ගලයා බුද්ධිමත් විය යුත්තේම ය. බුදුරදුන් වදාළ නිදහස් චින්තනය අප තව තවත් විවෘත කොටගත යුත්තේ එනිසා ය.

කුඩා කල සිටම දරුවා සහ මව්පින් අතර ඇති බැඳීම් දුරකථනයට, රූපවාහිනියට මායිම් නොකර සංවාද, විසංවාද තුළින් විමසා බලා නිදහස් චින්තනයෙන් කටයුතු කිරීමට පෙළඹෙන පුද්ගලයා තුළින් දූෂකයකු, මිනීමරුවකු, මංකොල්ලකරුවකු බිහි නොවීම ඒකාන්ත ය. ඒ කෙසේ ද යත් කුඩා කල පටන් විමසා බලා නිදහසේ කටයුතු කරන දරුවා කුසල්, අකුසල් හා ආදීනවයන් හඳුනා කටයුතු කරන නිසා ය.

එලෙස බලන කල බුදු දහම උගන්වන නිවැරැදි නිදහස් චින්තනයෙන් යුතු වගකීම් සහගත පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයකු මෙලොවට දායාද කරනවා මිසක නිදහස් අහිකුණ්ඪක පුද්ගලයකු බිහි නොකරන බව සිහි තබා ගත යුතු ය.