Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]  බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

 

****

අනඳමෙත් මාහිමියන් කර වූ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන - 06

ශ්‍රී ධර්මානන්ද පිරිවෙනේ ස්වර්ණමය යුගය

අප මහා නාහිමියන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ සහකාර කථීකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපනවේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියෝ බහුතරයකගේ බලවත් අයැදුම පිළිගනිමින් 1974 අප්‍රේල් 29 වෙනි දින පරිවෙණාධිපති ධූරයේ වැඩ භාර ගත්හ.

ධර්මානන්දයේ තවත් ස්වර්ණමය යුගයක් නිර්මාණය වන්නට අවැසි පසුබිම වඩාත් පුළුල් පදනමකින් නිර්මාණය වුණි. මෙතෙක් තනි මහලක ඉදිකිරීම් සම්පූර්ණව පැවති පිරිවෙන් ශාලාවක ඉහළ මාලයේ කටයුතු අනතුරුව සම්පූර්ණ කෙරිණි. එමෙන් ම, විද්‍යාගාරයක් සහිත සුවිසල් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකොට සඟරජ හිමියන් ගේ සියවැනි ජන්ම දිනය සමරා සඟරජ හිමියන් ලවා 1995. 08. 23 වන දින ස්මාරක වශයෙන් විවෘත කරවන ලදී.

පිරිවෙනට අත්‍යවශ්‍ය අංගයක් වූ පුස්තකාල මන්දිරය ශ්‍රී සීලානන්ද පුස්තකාලය යනුවෙන් නම් කොට ඇත.

මෛත්‍රී මූර්ති හිමියෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම ශාසනික වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ මහානායක ධූරයද හොබවමින් සිය වගකීම් ඉටු කරති. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සහකාර ලේඛකාධිකාරීවරයෙකි. එසේ පුළුල් ශාසනික හා ජාතික මෙහෙවර සඳහා යොමු වීම ද අගය කරමු. ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් ( ධර්මගිරි ආශ්‍රමය ) විහාරාධිපති වශයෙන් ද විවිධ සේවාවන්හි නිරතවීම පැසසුම් කටයුතු ය.

මෙම අවධියෙහි අ.පො.ස ( උසස් පෙළ ) වාණිජ අංශයක් ද ආරම්භ කොට ඇත. මූලික පිරිවෙනේ සිට ප්‍රවීන විභාග දක්වා පැවති අධ්‍යාපනයෙහි සුවිශේෂ ප්‍රගතියක් සටහන් වන පුළුල් වැඩ පිළිවෙළක් ඇරඹියේ ය. පේරාදෙණිය හා කැලණිය ශාස්ත්‍රවේදී බාහිර ( බී. ඒ. ) උපාධි සඳහා අධ්‍යාපන කටයුතු අතිශයින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කෙරෙන උපාධි අධ්‍යයන අංශය විශිෂ්ට ප්‍රතිඵල දක්වමින් සෑම වසරක ම ප්‍රථම භාග, ද්වීතීය භාග හා උපාධි පරීක්ෂණයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක ප්‍රතිඵල ලබා දීමට සමත්ව ඇත. ජාතික විද්‍යාල හා කරට කර සිටින අයුරින් ක්‍රීඩා තරගවලදී අපේ සිසුහු පෙරමුණේ සිටිති. මෙම කාලය තුළ විවිධ ක්ෂේත්‍රයන්හි සමත්කම් දක්වමින් වාර්තා පිට වාර්තා පිහිටුවීමට අපට හැකිවිය. තවද පිරිවෙනෙහි ගිහි පැවිදි සිසුහු ආගමික කටයුතු කෙරෙහි යොමු කරන ලදහ.

සබරගමු පළාතේ මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, විද්‍යායතන පිරිවෙන් අතර සම්භාවනීය තක්ෂලාවක් වශයෙන් මෙම ආයතනය පවත්වා ගැනීමට උන්වහන්සේ මහත් කැපවීමකින් කටයුතු කරති. ආනන්ද මෛත්‍රෙය සංඝරාජ හිමියන් නමින් ශිෂ්‍යත්ව අරමුදල් පදනමක් ද උඩරට අමරපුර නිකායේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක තවලම්පොල සද්ධාතිස්ස නාහිමියන්ගේ පරිත්‍යාගයෙන් තවත් ශිෂ්‍යත්ව අරමුදලක් ද මෙම අවධියේ පිහිටුවා ඇත. පිරිවෙන් භූමිය තුළ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සම්පූර්ණ කළ අතර, ප්‍රාකාර ආදියෙන් භූමි ප්‍රදේශය ක්‍රමවත් කොට ඇත.

උන්වහන්සේ ගේ ක්‍රියාශීලිත්වය ද, විවිධ සේවාවන්හි ප්‍රවීණත්වයද සලකමින් 1992 මාර්තු 03 වන දින සබරගමු පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වශයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කර ගන්නා ලදහ.

උන්වහන්සේගෙන් පුරප්පාඩු වූ පරිවෙණාධිපති ධූරය සඳහා 1992 මාර්තු 03 වන දින සිට මෙම පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළ ශාස්ත්‍රාචාර්ය හල්වින්නේ ගුණසිරි හිමියෝ පත් කොට ගන්නා ලදහ. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමියන්ගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ මේ වන විට ආයතනයේ අධ්‍යාපන හා බාහිර කටයුතුවල ප්‍රගතිශීලී ඉදිරි ගමනක් සටහන් වනු පෙනේ.

ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් ඉතිහාසයෙහි අමතක නො වන එමෙන්ම අතිශයින් ශෝචනීය සිදුවීමක් සටහන් වන්නේ වර්ෂ 1998 ජූලි 18 වෙනි දා ය. ඒ අතිඋත්තරීතර අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙයාභිධාන සංඝ රාජෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ සංවේගදායි පුවත යි.ලෝකපූජිත සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සව කටයුතු හා පුණ්‍යානුමෝදනා කටයුතු රජය ද, ගිහි පැවිදි පිරිස ද, විවිධ ආයතන ද, මෙම පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ද සිදු විය. මෙවන් වෙහෙසකර ගමන් මඟක් ඔස්සේ බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනහි ඓතිහාසික ගමන් මඟ 21 වන සියවසේ එළිපත්ත කරා පිය නඟමින් සිටි. ආයතන මගින් අපේක්ෂිත විවිධ අරමුණු නො සිතූ අයුරින් ඵලදරා ඇතැයි අගතියෙන් තොරව පැවසිය හැකිය.