Print this Article


දෑයකට උරුම වුණු කප් තුර එයැම හැඟේ

දෑයකට උරුම වුණු කප් තුර එයැම හැඟේ

සහ ජීවනය හද මඬළෙහි සහවාස
ගහ වැල පවා හඳුනන ගුණ සිවු දේස
මහ නා සමිඳු කොටුගොඩ ධම්මාවාස
සිහ නද නිහඬ කොට සමුගති පුරවාස

විත් දම් අමිල අසුනට හඬ විහිදු පසු
සිත් සැනසුණා නියතයි දම් හඬින් දෙසු
සත් සිත් නිවු දිවිතුරු මෙත් දියෙන් මුසු
අත් නළල තබා පුද දෙති සුදන විසු

හෙළ සකු පාලි ගැට පද විවරණය කොට
පෙළ අටුවා ලිහා සරලව දෙසන විට
නිල බල නොවේ මිනිසත්කම සමඟ සිට
තිලකුණු දම් දියෙනි තෙමුවේ සතර වට

නිතරම අරුත් රසයෙන් ඔද වැඩුව බසින්
පොත පත ලියූ අපමණ සිත් නිවන ලෙසින්
ගත නොව සිතම පැවිදිව වැඩ විසුව වෙසින්
ඇත දෙවු විමන් පහළව හිමි දකිනු රිසින්

ගැමි මහ නගර වාසී සැම සමඟ අගේ
නැමියාවකින් විසි සෙවනක් සදිසි නුගේ
බැමි සිඳ කෙලෙස් වැල් බිඳ බිඳ පැමිණි මගේ
හිමි වැඩ සිටිය තැන දෙවුරම් වෙහෙර වගේ

බුරුමෙන් ලැබූ “අග මහ පණ්ඩිත” නාමෙන්
හිරු සඳු පරිදි විශ්වය බැබළුව සාමෙන්
ගරු කටයුතු සැම දන සැමදා පේමෙන්
තුරු මල් පවා නමදිති හිමි ගුණ පෑමෙන්

වසරේ දොළොස් පෝයට එකලෙස නිබඳ
ගැඹුරේ කිමිද දම් ගඟ පොත් ලියූ සබඳ
අඳුරේ සිටි දනෝ මුදවා ගත් පින ද
නුදුරේ මහිමි චිතකයෙ ඇත දම් සුවඳ

සිසු පෙළ සසුන බබළති හිමි මුදාහළ
ඇසු සඳහම් හඬ නා හිමි වදාහළ
විසු දන විස්වයේ බොදු මඟ පබාකළ
මුසු කළ සුවඳ ඇත මුත්, දිව් මුදාහළ

පිනකට පහළවුණු බෝසත් ගමන් මගේ
දෑයකට උරුම වුණු කප් තුර එයැම හැඟේ
විලකට සියපතක් වන් පිපි සුවඳ දිගේ
නිවනට තවත් නම් දුර නැති බවක් හැඟේ