Print this Article


ඔවුනොවුන් බිඳවන කේලාම් කියනවා ද? අකුසලය බරපතළයි

ඔවුනොවුන් බිඳවන කේලාම් කියනවා ද? අකුසලය බරපතළයි

අතීතයේ කාශ්‍යප බුදුරදුන් සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනකු බුදු සසුනෙහි පැවිදිව සීලයෙන් හා ආචාර සම්පත්තියෙන් ද, ඔවුනොවුන් හා සමගියෙන් ද යුතු විය. එක්තරා පසල් ගමක පිහිටි ආරාමයක විවේක සුවයෙන් වාසය කළහ.

කේලාම් කියා ඔවුනොවුන් බිඳවීමේ සිත් ඇති එක්තරා භික්ෂුවක් එම ආරාමයට පැමිණියේ ය. නේවාසික භික්ෂූන් දෙනම එම ආගන්තුක භික්ෂුවට වත් දක්වා උන්වහන්සේ පිළිගෙන සෙනසුන් සපයා දී පසුදින අලුයම උන්වහන්සේ ද කැටුව ගමට පිඬු සිඟා වැඩියහ. ගම්වැසි උවසු උවැසියෝ උන්වහන්සේලා කෙරෙහි පැහැදී ආහාර පානාදියෙන් මැනවින් සංග්‍රහ කළහ. පිණ්ඩපාතයෙන් අනතුරුව විහාරය බලා ආපසු පැමිණි ආගන්තුක භික්ෂුව තුළ “මෙම ගොදුරු ගම ඉතා සුන්දර ය. ගම්වැසියෝ ද ඉතා ශ්‍රද්ධා සම්පන්න ය. ඉතා ප්‍රණීත ආහාර පානාදිය පූජා කරති. විහාරය ද අවශ්‍ය පහසුකම්වලින් යුක්ත ය. එබැවින් මෙහි පහසුවෙන් වාසය කළ හැකි ය. එසේ වුවත් මෙම නේවාසික භික්ෂූන් දෙනම මෙහි වාසය කළහොත් මට පහසුවෙන් වාසය කළ නොහැකි ය. අන්තේවාසිකයකු ලෙස වාසය කිරීමට සිදුවෙයි. එබැවින් උන්වහන්සේලා දෙනම ඔවුනොවුන් කෙරෙහි බිඳුවා, විහාරයෙන් නෙරපා, මා පමණක් මෙහි වාසය කළහොත් සැපෙන් විසිය හැකි ය.” යනුවෙන් එක්තරා පවිටු සිතිවිල්ලක් හටගත්තේ ය.

එක් දිනක් මහා තෙරුන් වහන්සේ නේවාසික සහායක භික්ෂුවත්, ආගන්තුක භික්ෂුවත් යන දෙනම ම තමන් වහන්සේ වෙත කැඳවා අවවාද ලබා දුන්හ. මහා තෙරුන්ගේ අනුශාසනයෙන් අනතුරුව නේවාසික භික්ෂුව උන්වහන්සේට නමස්කාර කොට තමන් වසන සෙනසුනට වැඩම කළ ද, ආගන්තුක භික්ෂුව මඳ වේලාවක් එහි රැඳී සිටියේ ය. මහා තෙරුන් වහන්සේ එයට හේතු විමසූහ. මහා තෙරුන් වහන්සේට යමක් පැවසීමට ඇතැයි පැවසූ ආගන්තුක භික්ෂුව උන්වහන්සේ වෙත ගොස් නේවාසික භික්ෂුව සම්බන්ධයෙන් කේලාම් බස් පැවසී ය. මහා තෙරුන් අභියස හිතවත් කම පෙන්වන නමුත් උන්වහන්සේ නොමැති තැන පස මිතුරකු සේ දොස් පවරණ බවත් දැන් වීය. ආගන්තුක භික්ෂුවගේ පිසුණු වදන ඇසූ මහා තෙරුන් වහන්සේ මුල් අවස්ථාවෙහි එය විශ්වාස නො කළ අතර, තමන් වහන්සේ සමඟ වැලි කෙළියේ පටන් මිතුරුව සිට, පැවිද්දට පත්වීමෙන් පසුවත් සමගියෙන් හා අන්‍යොන්‍ය ගෞරවයෙන් යුක්තව වාසය කරන කල්‍යාණ ගුණ ඇති තම සහායක භික්ෂුව කිසි දිනෙක එසේ නො කියන බවත් සපථ කළහ.

සහායක භික්ෂුව වෙත ද ගොස් මහා තෙරුන් පිළිබඳ කේලාම් කියා උන්වහන්සේ කෙරෙහි සිත කළකිරවී ය. මෙසේ කේලාම් බස් කියා ඔවුනොවුන් බිඳ වූ අතර, නේවාසික භික්ෂූන් දෙනම පසු දින පිඬු සිඟා ගොස් ආපසු පැමිණ දන් වළඳා ඔවුනොවුන් හා කිසිදු කතාවක් නොකර එදින රාත්‍රී කාලයේ කිසිවකුටත් නොදන්වා ම ආරාමයෙන් පිටව ගියහ.

ආගන්තුක භික්ෂුව පසු දින ගමට පිඬු සිඟා වැඩියේ ය. නේවාසික භික්ෂූන් දෙනම පිළිබඳ විමසූ දායක පිරිසට දන්වා සිටියේ පෙරදින රාත්‍රියේ ඔවුනොවුන් හා දබර කොට අමනාප වී ආරාමයෙන් පලා ගිය බවයි. සමගි වන්නැයි තමා කොතෙක් කරුණු දැක් වූවත් එය නොපිළිගත් බවත් තවදුරටත් පැවසී ය. ගම් වැසියෝ ද ආගන්තුක භික්ෂුවගේ කතාව විශ්වාස කොට එම ආරාමයෙහි නේවාසිකව එහි වැඩ සිටියහ. ටික දිනක් ඇවෑමෙන් තමා කළ දරුණු පාප කර්මය සිහිවීමෙන් දැඩි ලෙස චිත්ත සන්තාපයට පත් ආගන්තුක භික්ෂුව දැඩි සේ ගිලන් ව, මරණයට පත් වී අවීචිමහා නිරයේ උපන්නේ ය.

ආරාමයෙන් බැහැර ගිය නේවාසික භික්ෂූහු දෙනම පිළිවෙලින් ගම් නියම්ගම් පසු කරමින් යන්නේ එක් තැනක දී නොසිතූ පරිද්දෙන් ඔවුනොවුන් හමු වූ අතර සිදු වූ සියල්ල මැනවින් අවබෝධ කර ගත්හ. ඉක්බිති උන්වහන්සේලා පෙර පරිද්දෙන් සමඟිව තමන් වැඩ විසූ ආරාමයට පැමිණ වාසය කළහ. උන්වහන්සේලාගේ පුනරාගමනයෙන් සොම්නස් වූ දායක පිරිස නිතර සිව් පසයෙන් උපස්ථාන කරමින් අවශ්‍ය පහසුකම් සැලසී ය. ප්‍රත්‍ය පහසුකම් මෙන් ම විවේක සුවයත් ලැබූ නේවාසික භික්ෂූන් දෙනම විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් වූහ. මේ අතර කේලාම් කියා ඔවුනොවුන් බිඳ වූ ආගන්තුක භික්ෂුව බුද්ධාන්තරයක් නිරයේ දුක් විඳ මෙම කල්පයෙහි රජගහ නුවර සමීපයේ පූතිමුඛ නම් ප්‍රේත ව උපන්නේ ය.

ඔහුගේ කය රන්වන් පැහැයෙන් යුක්ත වූයේ නමුදු මුඛය පණුවන්ගෙන් ගැවසී ගත්තේ ය. එසේම මුඛයෙන් හමන දුර්ගන්ධය ඉතා ඈතට පැතිර ගියේ ය. එක් දිනක් නාරද මහා තෙරුන් වහන්සේ මෙම පූති මුඛ පේ‍්‍ර්තයා දුටු අතර කවර කර්මයක් නිසා මෙසේ වී දැයි ඔහුගෙන් විමසූහ.

නාරද තෙරුන්ට පිළිවදන් දුන් පූතිමුඛ ප්‍රේතයා, තමා පෙර ආත්ම භාවයේ කේලාම් කියා සිල්වත් භික්ෂූන් දෙනමක් බේද කොට ආරාමයෙන් පලවා හල හෙයින් මෙසේ දුක් විඳින ප්‍රේතයකු බවට පත්ව සිටින බවත් එබැවින් කේලාම් බස් කීමෙන් වළකින ලෙසත් පැවසී ය. වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බරපතළ අකුසලයක් බව මෙම ප්‍රේත කතාවෙන් පැහැදිලි වේ. ගිහි වුව ද, පැවිදි වුව ද කේලාම් කීම නිරයේ පමණක් නොව ප්‍රේත ලෝකයක ඉපිද දුක් වීමට සිදුවන අකුසල චර්යාවකි. තෘෂ්ණාවෙන් හා ලාභාපේක්ෂාවෙන් පිරුණු පුද්ගලයා කෙතරම් උපක්‍රමශීලිව ඔවුනොවුන් බිඳවමින් කටයුතු කරන්නේ ද යන්න ආගන්තුක භික්ෂුවගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටාවන්ගෙන් පැහැදිලි වේ. කොතරම් යහපත් ව, සමගියෙන් වාසය කළත්, පුහුදුන් බව නිසා කේලාම් ඇසීමෙන් ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසික සෘද්ධිවිහාරිකයන් අතරත්, භික්ෂූන් හා දායක දායිකාවන් අතරත් ගැටුම් ඇතිවේ. ගිහි සමාජයට ද මෙය එකසේ ම සාධාරණ වේ.

කේලාම් කියන්නාට එයින් තාවකාලික සතුටක් ලැබුණත් එයට අනුරූප අයහපත් විපාක කල්පයකින් වුව ගෙවා නිම කළ නොහැකි බව ඉහත කතාවෙන් ද සනාථ වේ. කෙනෙකු බිඳවන අදහසින් කියන සෑම වචනයක් ම කේලමක් වේ. එබැවින් එය මහා සාවද්‍ය අකුසල කර්මයක් වේ. එයින් වැළකීම සමඟිය හා සාමය පිණිස හේතු වේ.