Print this Article


පිරිවෙනටත්  බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

 

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]

බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


බොදු පුබුදුව වඩන කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය

පානදුර පැරණි ගාලු පාරේ සුන්දර බොල්ගොඩ ගඟබඩ ඉතා චිත්තාකර්ෂණීය භූමි භාගයක පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරස්ථානය පිහිටා තිබේ.

වර්ෂ 1998 දී සියඹලාගොඩ ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් මෙම විහාරස්ථානය ඇරඹිණි. විශාල මඩ වගුරක්ව කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි ආකාරයට පැවති මෙම භූමි භාගය දැඩි පරිශ්‍රමයක් දරා අක්කරයක පමණ ප්‍රමාණයකින් යුත් අලංකාර පුදබිමක් බවට පත් කිරීමට සියඹලාගොඩ ජිනරතන හිමි දැක්වූයේ නොමද කැප කිරීමකි.

මෙම භූමි භාගය අද වන විට විහාර මන්දිරය, චෛත්‍යරාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ, ධර්ම ශාලාව, දේවාල මන්දිර, සිරි සීලරතන අනුස්මරණ දාන ශාලාව, දෙමහල් පුස්තකාලය සහිත සංඝාවාසය සහ ඉකුත් 2019 වසරේ ඉදි කළ ප්‍රතිමා ගෘහය සහිත සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යන විහාරාංගයන්ගෙන් සමලංකෘත ප්‍රදේශවාසී සැදැහැවතුන් ගේ මුදුන්මල්කඩ ව පවත්නා පුණ්‍ය භූමියකි.

තව ද සියඹලාගොඩ ජිනරතන හිමියන් විසින් මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වර්ෂ 2001 දී “ශ්‍රී ගංගාතිලක මූලික පිරිවෙණ” නමින් පරිවේණස්ථානයක් ද ආරම්භ කරන ලදී. පානදුර ප්‍රදේශයේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පිරිවෙණක් නොමැති වුව ද සෙසු නිකායද්වයේ පිරිවෙන් කිහිපයක් ම පිහිටුවා තිබේ. එම අඩුපාඩුව ද මඟහරවාලමින් මෙම පරිවේණස්ථානය ජිනරතන හිමියන් විසින් ආරම්භ කරන ලද්දේ ප්‍රදේශවාසී මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ සේ ම අනෙක් නිකායද්වයෙහි සම්භාවනීය නාහිමිවරුන් ගේ ද පූර්ණ ආශිර්වාදය මධ්‍යයේ ය. මෙම පිරිවෙණෙහි එක් විශේෂත්වයක් නම්, එදා මෙදාතුර මෙහි අධ්‍යාපනය ලබා මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත් කළ කිසිදු ගිහි පැවිදි සිසුවකු ඉන් අසමත් නො වීමයි. මෙම ශ්‍රී ගංගාතිලක මූලික පිරිවෙණේ 10 වන සංවත්සරය ඉකුත් 2011 වසරේ දී මහත් හරසරින් සැමරූ අතර ඒ වෙනුවෙන් “ශ්‍රී ගංගාතිලක පරිවේණෝදය” නමින් විශේෂ ශාස්ත්‍රීය සංග්‍රහයක් ද පළ කෙරිණි.

මෙම සෑම ශාසනික කාර්යයක් සඳහා ම සියඹලාගොඩ ජිනරතන හිමි මූලික මාර්ගෝපදේශකත්වය ලැබුවේ ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා වන කීර්තිශේෂභාවෝපගත ආභිධම්මික උයන්ගොඩ සීලරතන, වෛද්‍යාචාර්ය දෙහිගස්පේ හේමරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගෙනි. ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය පියවරෙන් පියවර සංවර්ධනය කිරීමේ දී අතිපූජ්‍ය අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමි, දිවියාගහ යසස්සි නාහිමි සහ දෙල්තොට චන්දානන්ද නා හිමිගෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වය හා ආශිර්වාදයත්, දායකකාරකාදී සත්පුරුෂ සාධු ජනයාගෙන් ලද අනුග්‍රාහකත්වයත් සියඹලාගොඩ ජිනරතන හිමි සැමදා කෘතවේදීව සිහිපත් කර සිටියි.

ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරස්ථානයේ සේ ම මාතර අකුරැස්සේ සියඹලාගොඩ ශ්‍රී අභිනවාරාමයේ ද විහාරාධිපතිත්වය දරන සියඹලාගොඩ ජිනරතන හිමි මෙකී උභය විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන එදාමෙදාතුර සුවිශේෂී ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික සේවාවන් රැසකට නිසි නායකත්වය සපයයි.


ධර්මයට අනුව අනුශාසනා කරන්න

බුදු දහම නිසි ලෙස අවබෝධ කරගෙන නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා වර්තමාන ගිහි පැවිදි පිරිස් නොමඟ ගොස් ඇත. හින්දු භක්තිකයන් ලෙස මූර්ති ඇදහිල්ලක් බුදු දහමෙහි දක්නට ඇත.

බුදු දහමෙහි සඳහන් වන ශික්ෂා පද දෙවියකුගේ නීති රීති හෝ තහනම් පාඨමෙන් පිළිගත යුතු නොවේ.

බුදුදහම අනුව ජීවිතය හැඩ ගස්වාගත යුතු වුවත් දැන් ඇදහිලි ක්‍රමයක් සකස් කරගෙන තිබේ.

හින්දු ඇදහිලි ක්‍රමය, විහාරස්ථානයන්හි දේවාලය ඇති වීමත් සමඟ ම බෞද්ධයෝ ආරූඪ කර ගත්හ. මුදල් ගරා ගැනීමේ උපක්‍රමයක් ලෙස සමහර භික්ෂූන් විහාරස්ථානයෙහි දේවාලය තනවා ගත්හ. විහාරයටත් වැඩියෙන් ගෞරව සම්මාන දැන් හිමි වී ඇත්තේ දේවාලවලට ය.

එබඳු සංවිධානයත් ඇති වූයේ බුදු දහම ගැන නිසි අවබෝධයක් නොලැබූ භික්ෂූන්ගේ මෙහෙයවීම නිසයි. බුදු දහම දේව ධර්මයක් ලෙස පෙරළා ගැනීම අඳුරේ ගොස් අතපත ගෑමක් වැනි ය.

ගිහි - පැවිදි වැඩි දෙනකු දැනටමත් නොමග ගොස් හමාර ය. එබැවින් භික්ෂුව ධර්මයට අනුව නායකත්වය පිළිගෙන අනුශාසනය කළ යුතුම ය.