Print this Article


මල් පිපෙන සදහම් අරණ

බෝසතාණන් වහන්සේගේ ලොව පහළවීම

මහාමායා දේවිය දිනක් උදෑසන පිබිදී සුවඳ පැණින් නා පිරිසුදු වී පෙහෙවස් සමාදන් වී මහා දන් දෙමින් කල් ගෙව්වා ය. රාත්‍රියෙහි නින්දට ගිය එතුමියට සිහිනයක් පෙනිණ.

සතර වරම් දෙවිවරු ඇය සයනය පිටින්ම ඔසවාගෙන හිමාලයට ගෙන ගියහ. එහි ගල් තලාවක් මත මහා සල් රුකක් යට සයනය තබා පසෙකට වූහ. අනතුරුව අග බිසෝවරු සතර දෙනා මහාමායා දේවිය අනවතප්ත විලට ගෙන ගොස් නහවා දිව සළු හඳවා සුවඳ විලවුන් ගැල්වූහ. එම විල අසල රිදී පර්වතයක් තුළ රන් විමනක් විය. ඒ තුළ පෙරදිගට හිසලා දිව්‍යමය යහනක් පනවා දේවිය එහි සතපවන ලදී.

මේ මොහොතේ සුදු ඇත් පැටියෙක් අසල වූ පර්වතයක ඇවිද එයින් බැස රිදී පර්වතයට නැඟ උතුරු දෙසින් දේවිය වෙත පැමිණියේ ය. සුදු නෙළුමක් සොඬින් ගෙන ඇත් පැටියා කුංචනාද කොට රන් විමනට පිවිස මව් යහන වටා තෙවරක් පැදකුණු කොට දකුණු ඇළයෙන් කුසට පිවිසියේ ය. ඒ මොහොතේ දස දහසක් සක්වල කම්පා විය. මහා පී‍්‍රති ඝෝෂාවක් පැතුරිණි. සක්වල අසිරිමත් සිදුවීම් රැසක් ම සිදු විය.

පසුදින උදෑසන මහාමායා දේවිය සුදොවුන් රජතුමාට ඒ සිහිනය ගැන දන්වා සිටියා ය. රජතුමා උගත් බමුණන් හැට හතර දෙනෙක් මාළිගාවට කැඳවා සිහිනය ගැන දන්වා එහි ඵල විපාකය කෙසේ දැයි විමසූහ. එවිට බමුණන්, මහ රජ බිය නොවනු මැනවි ඔබගේ දේවියගේ කුස දරු ගැබක් පිළිසිඳගෙන ඇත. ඔහු උතුම් පුත් රුවනකි. ඒ පුත්රුවන ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන්නේ ය. පැවිදි වුවහොත් බුදුවන්නේ ය, කියා සිටියෝ ය.

එතැන් සිට අප මහ බෝසතාණෝ මව්කුස තුළ සුව සේ වැඩුණාහ. දේවිය ද කිසිදු රෝග පීඩාවකින් තොරව සුවෙන් කල් ගෙව්වා ය. දරු ගැබට දස මසක් පිරෙද්දී මහාමායා දේවියට තම මව්පියන් දකින්නට දෙව්දහ නුවරට යන්නට සිත් විය. සුදොවුන් රජු කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවර දක්වා මඟ දෙපස සරසවා මහා පෙරහරින් ඇය පිටත් කර යැවී ය.

මේ නගර දෙක අතර ලුම්බිණි නම් සල් උයනක් තිබුණි. ඒ වෙසක් සමයේ උයනේ ගහකොළ මල් පල බර වී නැවුම් සිරියක් ඉසිලී ය. මහාමායා දේවිය උයනේ සිරි විඳිමින් මඟුල් සල් රුක අබියසට පැමිණියා ය. කුමරු පියුම් පිට, සත් පියවරක් ඉදිරි ගමන් කළේ ය. සත්වන පියවර තබා සිටගත් කුමරු

මම ලොවට අග්‍රවෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අවසාන උපතයි. මින් මතු ඉපදීමක් නැත යන අභීත සිංහ නාදය කළේ ය.

****

දුක හඳුනා ගනිමු

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී පළමුවරට පස්වග තවුසන්ට ආර්ය සත්‍යවන දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය දේශනා කළ සේක.

දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මඟ පිළිබඳ ආර්ය සත්‍ය සතර යන්න මෙහි තේරුම ය. දම්සක් සූත්‍රයේ මෙම ආර්ය සත්‍ය පිළිබඳ දැක් වේ.

ඉපදීම දුකකි. ජාති යනු ඉපදීමයි. මිනිසකු වශයෙන් හෝ තිරිසනකු වශයෙන් ඉපදීම දුකක් බව මෙයින් අදහස් වේ. දිරා යෑම දුකකි. ජරාව නම් දිරා යෑමයි. දත් දිරා යෑම, කෙස් පැසීම, ඇඟ රැළි වැටීම, ශරීරය දිරායන ආකාරයයි.

ලෙඩවීම දුකකි. උපන් මිනිසාට ලෙඩ වීම දුකකි. එය ස්වභාවයකි. කයට ද, සිතට ද ලෙඩ සෑදේ. මෙහි විශේෂ වනුයේ කය ලෙඩවීමයි.

මියයෑම දුකකි. ජීවිතයේ අවසානය මරණයයි. එය සොබා දහමේ නියතයයි. තමන් කැමති අය ඇසුරු කිරීමට ලැබීම සතුටකි. ඒ වගේම අකමැති අය ඇසුරට ලැබීම දුකකි. තමන් පි‍්‍රය කරන පුද්ගලයන්ගෙන්, දේවල්වලින් වෙන්වීම දුකකි.

කැමති දෑ නොලැබීම දුකකි. කෙටියෙන් පවසන්නේ නම් මේ මුළු ශරීරය ම දුකකි.

****

අපේ හාමුදුරුවෝ

දිගු දෑස් පුළුල් කොට
බලයි අප දෙස හැම විට
සෙමෙන් වඩිනා විට
වඳිමි මම ගුරු හිමියනට

****

අතහැර යන්න

හරි ආසයි පාසල වෙත යළි යන්න
දහම් පාසලට මට ඉරිදට යන්න
වෙහෙර බෝ සමිඳු බුදුහිමි වැඳ ගන්න
කොරෝනාව ලක්බිම අතහැර යන්න

****

වෙසක් පෝය

****

දෙවියන්ගේ ඇරයුම