[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාජය තුළ ද ජයග්‍රහණය දකින්න

පරාජය තුළ ද ජයග්‍රහණය දකින්න

මනසින් උසස් යැයි සම්මත වූ නිසා මිනිසා යැයි අප සැම හඳුනාගත්ත ද ගෙවන හැම මොහොතකම අප ඉන්නේ කෙළවරක් නැති ප්‍රශ්නාර්ථයන්හි ය. මිනිස් ආත්මයක් ලබන්න පින තිබුණත් එය ගෙවා දමන්නේ නොසතුටින්, කළකිරිමෙන් නම් අප හැමෝට ම සිහියට නැෙඟන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ලට පිළියම් සොයා දුන් සේක. මේ ජීවිතයේ අප මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ධර්මානුකූල පිළිතුරු සොයා ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි.

අවසරයි අපේ හාමුදුරුවනේ, අපිට මනුස්ස ආත්ම භාවයක් ලැබීම ම මේ කතිකාවට ප්‍රවේශයක් කරගන්නට හැකි නම්

මනුස්ස ආත්ම භාවයක් ලැබීම පිළිබඳ ව අපිට පැති කිහිපයක් ඔස්සේ පැහැදිලි කරගන්න පුළුවන්. ලෝකයේ දුර්ලභ ම ප්‍රතිලාභය මනුස්ස ආත්ම භාවයක් ලැබීම. ඒ සඳහා හේතුවන ධර්මතාවයන් විවිධ සූත්‍ර දේශනාවල විවිධ අයුරින් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මහා පරිමාණ කුසලානිසංසවල ආනුභාවයක් ලෙසයි මනුස්ස ආත්ම භාවයක් ලැබෙන්නේ.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන දේශනා අනුව දාන,සීල,භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම යි ප්‍රධානම කුසල ශක්තිය බවට පත් වෙන්නේ. සීලය, මිනිසත්කමක් ලැබීමට ප්‍රධානතම බල ශක්තියක් බවට පත්වෙනවිට ඒ මිනිසත්කම සුඛ විහරණයෙන් යුතු වන්නේ දානය පුරණය කළ ප්‍රමාණය අනුවයි.

දුර්ලභ වූ මනුස්ස ආත්ම භාවය සීලය මුල්කරගෙන ලැබෙන විට ඒ මනුස්ස ජිවිතය සුවපත් ලෙස, සැපවත් ලෙස උපභෝග පරිභෝග සම්පත්තිය ලබා දෙන්නේ දානය නිසයි. මේ සීලමය, දානමය කුසල ක්‍රියාවන්හි ආනිසංස වශයෙන් මනුස්ස ආත්ම භාවයක් ලැබෙනවා කියන එක පැහැදිලියි.

බොහෝ දුර්ලභව ලබාගත් මනුස්ස ජිවිතයකටත් උපන් දා පටන් ප්‍රශ්න, කරදර ඇති වන්නේ ඇයි හාමුදුරුවනේ

මනුස්සයෙක් ඉපදීම ම ජනක කම්මයක් නේ. ශක්තිමත් ජනක කර්මයකින් මනුස්ස ආත්ම භාවයක් ලැබෙනවා. එහෙත් එයට උපපීලක, උපඝාතක ආදී වශයෙන් තව දුරටත් කර්ම ශක්ති එකතු වෙනවා. වටිනා මනුස්ස භාවයක් ලැබුවත්, එම කර්ම වළකාලන ඇතැම් කර්ම ඉදිරිපත් වෙන්න පුළුවන්. අප එය හඳුන්වනවා උපපීලක විදිහට. අපි ඊට නිදර්ශනයක් ගමු. ධනවත් නිවසක උපත ලැබුවත් ලෙඩෙක් විදිහට නම් ඉන්නේ ඒ මනුස්ස ජිවිතයෙන් පලක් තියෙනවද?. ඒ වගේම උපඝාතක කර්මය නිසා අකාලයේ මියයන්න පුළුවන්. මේ කර්ම ශක්තීන් වගේම තමන්ට වළක්වා ගත නොහැකි සිද්ධි දාමයකුත් තියෙනවා. ඊට වගකිවයුත්තේ සොබාදහමයි. සොබාදහමේ ආනිසංස මනුස්ස ජිවිතේට බලපාන්න පුළුවන්.

ස්වභාවදහමේ ක්‍රියාකාරීත්වය පංච නියාමන ධර්මයකින් සමන්විතයි. සෘතු නියාම,බීජ නියාම,ධර්ම නියාම,චිත්ත නියාම, ආදී නියාම කර්මය අඩු වැඩි වෙන්න බලපානවා. කෝවිඩ් 19 වගේ රෝගයන්ට මෙවැනි කාලයක දී මේ සොබාදහමේ නියාමයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙය හඳුන්වා ගන්න පුළුවන් ප්‍රයෝග සම්පත්ති, ප්‍රයෝග විපත්ති විදිහටත්.

බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කොට වදාළේ කර්ම ශක්තියටත් සොබාදහම් ශක්තියටත් වඩා බලවත් ඉහළින් ඇති ශක්තිය මානසික ශක්තිය ලෙසයි.

“මනෝපුබ්බංගමා ධම්මා “ හැමදේට ම මුල් වෙන්නේ සිත . ඕනෑම අවස්ථාවක පුද්ගලයකුගේ උත්සාහයෙන් අමාරුවේ වැටෙන්නත් පුළුවන්. දියුණු වෙන්නත් පුළුවන්. චිත්ත ශක්තියක් ඇති පුද්ගලයා කර්මය පරාද කොට දමනවා. එක දෙයක් අප සිහිතබා ගත යුතුයි.

මේ මොහොතේ මේ පවතින තත්වයත් සමඟ විශිෂ්ඨ මනුස්ස ආත්මභාවයක් ලබා සිටියත් අප පරිස්සම් නොවුණ හොත් නිසි උපදෙස් නොපිළිපැද්දොත් මේ වෛරසය කෙනෙකුට වැළෙඳන්න පුළුවන්. එයයි ප්‍රයෝග විපත්තිය. එයින් ගැළවුණාට පසුව ප්‍රයෝග සම්පත්තිය ලබනවා. මේ දෙකම කර්මය ඉක්මවා සිටින අවස්ථා. මේ ප්‍රශ්න කරදර එන්නේ මනුස්සයා විසින් කරගන්නා අකුසල ඉදිරියට ඒම හා ලෝක ස්වභාව තත්වය නිසා බව අප සිහිතබා ගත යුතුයි.

වර්තමානයේ අප කතා කරන ධනාත්මක චින්තන සංකල්පය නේද මේ සියල්ල තුළින් මතුව එන්නේ

පැහැදිලි ලෙසම ලෝකයේ තියෙන එකම ඉගැන්වීම, මනුස්සත්වය පිළිබඳ උත්තරීතරභාවය උගන්වන එකම දහම බුදු දහම පමණයි. බුදු දහම අනුව මේ සියල්ලම කර්මයෙන් සිදුවෙනවා ය කියා එය විසඳාගත යුතු යැයි සිතා ඊට යටත් විය යුතු නැහැ අප කිසි කෙනෙක්. බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්න අවධියේ ම එක්තරා කාණ්ඩ දෙකක් හිටියා.පිරිසක් තර්ක කළා මේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා ය කියා. තවත් පිරිසක් කියා සිටියා කර්මය කියා දෙයක් නැහැයි කියා. ඉපදුණා, කෑවා, බීවා මැරුණා එපමණයි කියා. නැවත ඉපදීමක් නැහැ කියා. බුදුරජාණන්වහන්සේ මේ අන්ත දෙකම බැහැර කළා.

ඔබ යම් වැඩකට යහපත් සිතුවිල්ලක් උපදවා ගත්තේ නම් එහි යහපත් ප්‍රතිඵලය ලබන තාක් කල් මහන්සිය අත් නොහරින්න කියා උන්වහන්සේ දේශනා කළා. මේ සඳහන් කරන ධනාත්මක චින්තන කතාව පටන් ගන්නෙම බුදුන් වහන්සේගේ ධර්මයෙන්. උත්සහාය නිසා එම කාරණය සාර්ථක ඵල ලබනවා ය. අසාර්ථ වුවත් එය ද ජයග්‍රහණයක් ලෙස සිතන්න යැයි උන්වහන්සේ දේශනා කළා.

මිනිසුන්ට ප්‍රශ්න කරදර එනවිට සිතන දෙයක් තමයි මේ කාලයේ තමන්ට අපල උපද්‍රව බහුලයි කියන කාරණය

එහෙම හිතන උදවිය ඕන තරම් ඉන්නවා. එහෙම කරදර, බාධක එනවිට කේන්දරේ අරගෙන එහෙ මෙහේ දුවනවා.

ඇයි එහෙම කරන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ බයෙන් සැකෙන්. අද කුමක් වේවිද? හෙට කුමක් වේවිද? කියන සැකය බිය අපි තුළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ තත්වය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හඳහන කියන කාරණය දෙස බුදුන් වහන්සේ දේශනා කළේ එයට ගැති වෙන්න එපා කියලයි. මිනිසාගේ උත්සාහ සම්පත්තිය ඉදිරියේ තරු කුමක් කරන්න ද?. පුද්ගලයාගේ උත්සාහය ඇති තැන තාරුකා ග්‍රහලෝක කුමක් කරන්න ද? ග්‍රහලෝක වල ඇති ග්‍රහචාරය අනුව බරපතළ අපල ඇති කෙනා උත්සාහවන්ත ව වැඩ කරනවා නම් ග්‍රහයෝ පවා තමන්ට කීකරු වෙනවා.

එය මොනතරම් විශිෂ්ට ඉගැන්වීමක් ද? අපි හිතමු පිළිකාවක් ඇති පුද්ගලයාට වෛද්‍යවරු පවසනවා මාස තුනකින් සිය ජිවිතය අවසන් කියා. ඒ සඳහන් කළා වගේම මාස තුනයි ඒ පුද්ගලයා ජීවත් වෙන්නේ. නමුත් ඒ අදහසට විරුද්ධව සටන් කරන පුද්ගලයා පිළිකාව පරාජය කරනවා. නැහැ මම නැගිටින්න ඕන කියලා හිතනවා. අවසානයේ කුමක් ද වෙන්නේ. මානසික තත්වය බලපානවා.

මනසින් ග්‍රහණය කරන ආකාරයට ශෛල ක්‍රියාත්මක වෙනවා. මනසින් ග්‍රහණය කරන අකාරයට ප්‍රතිශක්ති කරණය වැඩි දියුණු වෙනවා. බලන්න මනස කෙතරම් ප්‍රබල ද කියලා. එහෙයින් ලැබූ මනුස්ස ආත්මභාවයේ නියම ප්‍රතිඵල ලබන්න මනස ශක්තිමත් කර ගැනීම ඉතාම වැදගත්. ගඟ පහළට ගලන විට එහි ගසාගෙන යනවාට වඩා උඩුගම් බලා පිහිනන්නට හැකිනම් ජිවිතයේ සැබෑ විමුක්තිය සොයා ගන්නට හැකියි..

අප බොහෝ වෙලාවට පරාජය බාර ගන්න සුදානම් වෙලා ඉන්නේ. මා මුලින් සඳහන් කළා සේ මානසික තත්වයේ ඇද වැටීම නිසා පිළිකා තත්වය වැඩෙනවා සේ මනසින් ග්‍රහණය කර ගන්නා ආකාරයට ප්‍රතිශක්තිය වැඩිකරගෙන එය පරාජය කරන්නත් පුළුවන්.

සැබෑවටම මනසට හැකියි ශරීරයේ ශක්තිය වර්ධනය කරන්නත් විනාශ කරන්නත්. පැහැදිළිව ම පෙනෙනවා හිත දුර්වලකම අපේ විනාශයට හේතුව බව . අවසානයේ අප මරණයට පත්වූයේ කර්මය විසින් නොවෙයි කියන දේ තේරුම් ගත යුතුයි.

අයහපත් කර්ම යටපත් කිරීමට ශක්තිය තියෙන්නේ තමන් ළඟ ම බව නේද ඔබ වහන්සේ පවසන්නේ

පැහැදිලිව ම අප කිසිම දේකට බිය විය යුතු නැහැ. ඉතාම හොඳ ආත්ම අවබෝධයක් තියෙන්න ඕන. සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම ම යහපත් ක්‍රියාවන්වල නිරත වීම ම තුළ අයහපත් කර්ම යටපත් කරන්න පුළුවන්. බුදු දහමින් පැහැදිලි කරනුයේ කර්මයට යටත් වෙන්න නොවෙයි. කර්මයන් අභිමුව නැඟී සිටින්න කියලයි. මා මුලින් සඳහන් කළා සේ ගලාගෙන යන සැඩ පහර එක්ක ගසා ගෙනම යනවාට වඩා එම සැඩ පහර එක්ක අරගල කරන කෙනා ජිවිතය ජය ගන්නවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කළේ සංසාරයේ ජල ප්‍රවාහයට අනුගත වීම නොව ඉන් මිදෙන මාර්ගයයි. උන්වහන්සේ දේශනා කළේ. එය පටිසෝතඝාමි ප්‍රතිපදාවක් මිස අනුසෝතඝාමි ප්‍රතිපදාවක් නොවන බවයි. උන්වහන්සේ පෙන්වා දුන්නේ. එහෙයින් අප ජිවිතයේ පසුතැවීම් තබා ගන්නවාට වඩා මේ මොහොතේ පටන් අප මනස ශක්තිමත් ව තබා වැඩ කළ යුතුයි .එසේ නොවුණ හොත් අපට ඊළග භවයේදීත් පසු තැවෙන්න සිදුවෙනවා.

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]kehouse.lk