Print this Article


සීලයේ පිහිට

සීලයේ පිහිට

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පවත් වන කාලයේ දී ගම් වැසියන් විසින් ලුහුබඳිනා ලද සොරුන් පස් දෙනෙක් පලා ගියහ.

සැඟවීමට තැනක් හෝ අන් පිහිටක් හෝ නොමැති ව වනයෙහි ගල්තලාවක් මත වැඩ විසූ එක්තරා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ නමක් දැක උන්වහන්සේ වෙත පැමිණ වැඳ වැටී සොරු පිරිස, “ස්වාමීනි, අපට පිහිට වනු මැනව‘යි ඉල්ලා සිටියෝ ය. “භික්ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූහ. “නුඹලාට සීලයට වඩා පිහිට වන දෙයක් නැත. එම නිසා හැම දෙනාම පන්සිල් ගනිත්වායි” යනුවෙනි. හාමුදුරුවන් ගේ වචනය පිළිගෙන සොරු පන්සිල් සමාදන් විය. හාමුදුරුවෝ ඒ සොරුන්ට මෙසේ අවවාද කළහ. “පින්වතුනි, දැන් නුඹලා සිල්වත්. නුඹලා මේ සීලය ජීවිතය සේ උතුම් කොට ආරක්ෂා කළ යුතුයි. මෙතැන් පටන් නුඹලා ගේ ජීවිතය නසන්නට තැත් කරන අයට ද්වේශ කරන්නට එපා.”

ඔවුහු හාමුදුරුවන් ගේ අනුශාසනය පිළිගත්හ. සොරු සොයා පැමිණි ජනපද වැසියෝ සෑම සොරෙක්ම ඝාතනය කළහ. මරණය ආසන්නයේ පන්සිල් ගත් පින නිසා ඔවුහු සැම දෙනාම කාමාවචර දෙවියන් ලෙස උපත ලැබූහ.

දිව්‍යය ලෝකයෙහි අති දීර්ඝ කාලයක් ගෙවා අප ගෞතම බුදුන් වහන්සේ ගේ කාලයේ මිනිස් ලොව ඉපදුණහ. කලෙක දී ධර්මය අසා පැවිදි ව මහණ දම් පුරා සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් දුටුවහ .