Print this Article


අනාගතය සුබ වීමට නම්...

අනාගතය සුබ වීමට නම්...

ලැබුවා වූ මේ නව වසර සියලු අතින්ම සාර්ථක වීම, සුබවීම අප කාගේත් ඒකායන පැතුම යි. සියල්ල දෛවයට හෝ වාසනාවට බාර දී සාර්ථකත්වයන් ලද නොහැක. මිනිසාගේ ස්වාමිය, මිනිසා ය.

තමන් යා යුතු දිශානතිය තීරණය කිරීමට වෙනත් බාහිර බලවේගයකට ඉඩ නො තැබිය යුතු ය. ගෙවී ගිය වසර තුළ සිදුවූ සියලු වැරැදි අඩුපාඩුකම් සකසා ගතහොත් ලැබූ වසර සුබ වසරක් වනු ඇත. විශේෂ යෙන් වඩා ශක්තිමත්ම පිරිස වන තරුණ පරපුර මෙය ඉතා හොඳින් තේරුම්ගත යුතු ය.

තවත් මෙවන් වසර කිහිපයක් පසු කිරීමෙන් පසු ඔබේ තරුණ වයස ද වියැකී යයි. ඔබේ ජීවිත සාර්ථකත්වය කරා යොමු කරගත යුත්තේ ඔබම ය. වසරක් ආරම්භයේ අප අනෙකාට සුබ පතනුයේ නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා! යනුවෙනි. ලැබූ වසර තුළ නිදුක් නිරෝගිබව රැක ගනිමින් සුබ වසරක් බවට පත් කරගත යුත්තේ තම ක්‍රියාකාරකම් තුළිනි.

හෙට දවසේ බොහෝ වගකීම් දැරීමට නියමිත තරුණයා සැබෑ මංගල සුබ දේ හඳුනාගත යුතු ය. එසේ නො වන විට අවමංගල කටයුතු ජීවිතයේ මංගල යැයි වරදවා තේරුම් ගෙන කටයුතු කරයි. එය ජාතියක්, ආගමක් හැටියට අවාසනාවන්ත තත්ත්වයකි.

මහා මංගල සූත්‍රයේ දී මංගල කාරණා තිස්අටක් දේශනා කොට ඇත. සූත්‍රය අවසානයේ දී ඉතා වැදගත් කාරණයක් මෙහි අවධාරණය කරනු ලබයි. එනම්

ඒතාදිසානි කත්වාන
සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං
තේසං මංගල මුත්තමන්ති

පරාජය නොවී සිටීමට අවශ්‍ය නම්, මෙම මංගල කාරණා පිළිපැදීම අවශ්‍ය ය. එසේ නො වන විට දෙ ලොවම පරාජයට පත් වේ. මෙම ලිපිය තුළදී සියලු මංගල කාරණා එකින් එක විස්තර කළ නොහැකිමුත් එහි සාරය තේරුම්ගනු ලැබීමෙන් ලැබුවා වූ මේ වසර පමණක් නොව දොලොවම ජයගත හැකි ය.දෙවියන් විසින් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටිනුයේ අභිවෘද්ධිය සලසන උතුම් කරුණු දේශනා කරන ලෙස ය. එයට පිළිතුරු ලෙස මංගල හෙවත් සුබ කාරණා තිස් අටක් දේශනා කළහ.

ගුණ නුවණින් අඩු, දෙ ලොව අවැඩ පිණිස පවතින මිත්‍රයන් ඇසුරු නො කිරීම අභිවෘද්ධියට හේතුවේ. එසේ නො වන විට පරිහානිය ඇතිවේ. මෙය තේරුම් ගැනීමේ දී ගෙවුණු වසරේ ඔබේ අත්දැකීම් ඉතා වැදගත් ය. ඇසුරට සුදුසු වූ මිත්‍රයකු නැතිනම් හුදකලාව කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ. අයහපත් මිතුරන් දස දහසකට වඩා එක යහපත් මිත්‍රයා වටී. ඇතැම් සමාජ ජාල තුළින් සකසාගන්නා මිත්‍රයන් ද හොඳින් අධ්‍යයනය කළ යුතු ය. වැරැද්ද, නිවැරැද්ද පෙන්වාදෙන මිතුරන් පමණක් ඇසුරට ගත යුතු ය. අනෙක් අය සීමාව තුළ තබාගැනීම වරදක් නොවේ.

ගරුකළ යුතු, පිදිය යුතු මව්පියන් වැඩිහිටියන් පිදීම ජීවිතයට අතිශයින් සුබ වේ. සුදුසු ප්‍රදේශයක ස්ථානයක ගැවසිය යුතු තැන් හොඳින් තේරුම් ගැනීම අවශ්‍ය ය. සසරට මඟ වියදම් ලෙස පින් එකතු කරගත යුතු අතර, පින් යනු යහපත් හොඳ ක්‍රියාවන්හි ප්‍රතිඵලයන් ය. ගුණදහමෙහි පිහිටා කටයුතු කිරීම මත ගෞරවය රැකගෙන ගමන් යා හැකි ය.

දැනුමෙන් සන්නද්ධවීම සහ යම් ක්ෂේත්‍රයක නිපුණත්වයට පත්වීම ඉතා සුබ ය. එවිට කය, වචන සංවර වේ. ඒ සංවරකම සහ උගත්බව නිසාම සමාජයේ ගෞරවයට පාත්‍රවන පුද්ගලයා ඒ තුළින් ම ධනය, බලය ලබා සැපවත් ජීවිතයකට උරුමකම් කීමට සමත් වේ. එසේ පත්වන තරුණයාට හෝ තරුණියට වචන අවභාවිත නො කොට ගෞරවාන්විත ජීවිත ගෙවීමට ශක්තිය ලැබේ. තමා හැදූ වැඩූ මවට පියාට සැලකීම බුද්ධෝපස්ථානයකි.

මව්පියන්ගේ ආශිර්වාදය තරම් ආශිර්වාදයක් දරුවකුට නැත. බෝසතාණන් වහන්සේ පවා මුල්වරට නියතවිවරණ ලැබුයේ තම මවගෙනි. තමාට කතා කිරීමට ඉගැන්වූ, සෑම පැත්තකින්ම තමාගේ අභිවෘද්ධිය පැතූ මව්පියන්ට සැලකීම තරම් මංගල කාරණයක් ඇත්තේ නැත. තම බිරිඳට සැමියෙක් ලෙස යුතුකම් කිරීමත්, තම දරුවන්ට පියෙක් ලෙස කළයුතු දෑ සිදුකිරීමත් ඉතා සුබය. දරුවන්ගේ පෝෂණ මට්ටම, අධ්‍යාපන මට්ටම වෙන කෙනකු පිට පැවරිය නොහැක. එම යුතුකම් ඉටුකිරීමේ වගකීම පිරිමියා සතු ය. එසේ නො වන විට ජීවිතයට ආශිර්වාදයක් නො ලැබේ. එය අප්‍රසාදයට හේතුවේ. එවන් පසුබිමක දෙවියන්ගේ ආශිර්වාදය පවා නො ලැබී යයි.

සිත, කය, වචන යන තුන්දොර හික්මවා ගැනීම ඉතා වැදගත් ය. කෙ තරම් දක්ෂයකු වුවත් හික්මීමක් නැතිනම් එය අසුබයකි. ඇතැම්විට කාර්යාලය, නිවස තුළ අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරගනු ලබන්නේ එවැනි නො හික්මුණු තාරුණ්‍ය විසිනි. වර්තමානය තුළ ඇති මුහුණු පොතේ සාද එයට එක් නිදසුනකි. හැදෙන වැඩෙන ජීවිතයකට එය බාධාවකි.

කෙනෙකුගේ ජීවිතයට ආශිර්වාද ලැබෙන හේතු ගණනාවක් ඇත. විශේෂයෙන් ගෞරව කළයුතු අයට ගෞරව කිරීම, යටහත් පහත් බව, ලද දෙයින් සතුටුවීම සහ කළගුණ දන්නා බවයි. අටලෝ දහමෙන් කම්පා නො වීමත්, වීර්යයෙන් කටයුතු සම්පාදනය කර ගැනීමත් ඉතා අවශ්‍ය ය. සමාජ යථාර්ථයෙන් ඔබ්බට ගොස් ජීවිතය සෙවීම නිරර්ථක ය. එසේ ජීවිත සෙවීමට ගොස් කීයෙන් කී දෙනෙක් විනාශය අත්පත් කරගත්තේ ද යන වග පසුගිය වසර තුළ දී අපි සියල්ලෝ ම මනාව අවබෝධකර ගත්තෙමු.

පසුගිය වසර තුළ අත්පත් කර ගැනීමට නොහැකි වූ ඉලක්ක මනාව තේරුම්ගත යුතු ය. ඒ මත තම ජීවිතය විශේෂයෙන් බෙදා ගැනීම තුළ සැලසුම් සකසා ගැනීම ඉතා වැදගත් ය. සෑම තරුණයෙක් තරුණියක්ම තම ජීවිතය අංශ හතරකට බෙදා ගන්නේ නම්, ඉතා වැදගත් ය.

එම අංශ හතර මෙසේ ය. ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, සදාචාරාත්මක වශයෙනි. සියලු කටයුතු සංවිධානයේ දී යම් ආර්ථික ශක්තියක් ස්ථාවර බවක් අවශ්‍ය වේ. එසේ නොවුණහොත් අසහනය ඇතිවේ. තම ජීවිතය සෑම කල්හි ම අනුන් මත යැපීමට ඉඩ හැරීම තාරුණ්‍යයට මහත් නිගාවකි. එහෙයින් යහපත් ආර්ථිකයක් සකසා ගැනීම අවශ්‍ය වේ.

සංස්කෘතික වශයෙන් පවුල, ඥාතීත්වයන්, එම හර පද්ධතීන් නො නැසී පවතින ආකාරයට කටයුතු මෙහෙයවීම ඉතා වැදගත් ය. ජීවිතය සැලසුම් කරද්දී ආධ්‍යාත්මික සමබරතාව ඉතා වැදගත් ය. කුමන ආගමක් ඇදහුව ද ඒ ආගමට අනුව තම ඇතුළාන්තය සංවර්ධනය කර ගැනීමට සහ ඒ මත තම චරිතය වෙහෙසවාගත යුතු ය. සෞඛ්‍ය සම්පන්න බව අර්ථගන්වද්දී ආධ්‍යාත්මික සමබරතාව ඉන් එකකි. එම සමබරතාව නැති වූ විට ඔහු හෝ ඇය සෞඛ්‍ය පිරිහුණු ලෙඩෙකි.

කුමන පසුබිමක ජීවත් වුව ද සදාචාරාත්මකව කටයුතු කිරීම වැදගත් ය. එසේ නො වුණහොත් ඔහු පිරිහුණු කෙනෙකු බවට පත්වේ. පිරිහුණු තාරුණ්‍යය රටට, ජාතියට, ආගමට බරකි.

මෙම කරුණු නව වසර තුළ ඉතා අවධානයෙන් එකතු කරගන්නේ නම්, ලැබුවා වූ වසර සෑම අතකින් ම සුබ කර ගත හැකි ය.