Print this Article


දීඝවාපි පුදබිමේ ප්‍රතිසංස්කරණ අගමැති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

දීඝවාපි පුදබිමේ ප්‍රතිසංස්කරණ අගමැති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවන්හි දී මඳ වේලාවක් හෝ සමවත් සුවයෙන් වැඩසිටි පුදබිම් සොළොස්මස්ථානයන් ලෙස ඉතිහාසයේ සිටම බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වේ.


අගමැතිතුමා විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු ආරම්භ කළ අවස්ථාව

ඒ අතරින් නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි දීඝවාපී සෑරදුන් වහන්සේ බෞද්ධ වන්දනාකරුවන්ගෙන් කාලයක් ඈත්ව තිබුණේ ත්‍රස්තවාදී තර්ජන හේතුවෙනි. එම නිසා වසර 30කට අධික කාලයක් දීඝවාපි චෛත්‍යය සම්බන්ධ ව අවධානය යොමු නොවූ අතර, එහි කිසිදු සංවර්ධන කටයුත්තක් පවා සිදු නොවුණි.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව එම කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණ ද පසු කාලීනව එම කටයුතු කිසිවක් සිදු නොවුණි.

එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා යළිත් අගමැති ධුරයට පත්වීමෙන් පසුව මේ පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඒ අනුව දීඝවාපී චෛත්‍යය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක වැඩකටයුතු පසුගිය 11 වැනිදා ආරම්භ කෙරුණි.

එහිදී ආගමික වතාවත්වලින් අනතුරුව පිරිත් සජ්ඣායනා මධ්‍යයේ චෛත්‍යය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ අගමැතිතුමා විසින් චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගලක් තැබීමෙනි. එහිදී පූජා භුමිය අලංකාරවත් කිරීම සඳහා රුක් රෝපණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කළ අතර එය ආරම්භ කරමින් එහි ‘නා’ පැළයක් රෝපණය කිරීම ද අගමැතිතුමා අතින් සිදු විය.

මෙම ඓතිහාසික අවස්ථාවේ දී දීඝවාපී රජමහා විහාරාධිපති, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනාවක් පැවැත්වූහ.

යුද වාතාවරණය හමුවේ උතුරු හා නැඟෙනහිර ජනශූන්‍යය වෙමින් තිබූ අතර, දීඝවාපී ප්‍රදේශයේ සංවර්ධනය අඩාල වූ බවත් එවක යුද්ධය ජයගත් ජනාධිපතිතුමා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව ද උන් වහන්සේ අනුශාසනාවේ දී පැවසූහ.

එසේ ම එකල ජනාධිපතිතුමා ලෙස දීඝවාපී පුදබිම ගැසට් කිරීම මඟින් එය සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම මහත් වූ පුණ්‍ය කර්මයක් බවත් රටේ යුද ගිනි නිවා රට එක්සේසත් කිරීමටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළ බව සිහිපත් කළ නා හිමියන් විසින් නොවැම්බර් මසට යෙදී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ උපන් දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට ද කටයුතු කළහ.

දිගු කාලයක් මුළුල්ලේ ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිහානියට ලක්ව ඇති දීඝවාපී පුද බිම දශක කිහිපයක් පුරාවට කිහිප වතාවක් රජය විසින් සහ වෙනත් පාර්ශ්වයන් මඟින් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ ද එම සෑම ප්‍රයත්නයක් ම අසාර්ථක වී තිබිණි.


අගමැතිතුමා පැළයක් රෝපණය කළ අවස්ථාව

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ පූර්ණ දායකත්වය යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වසර දෙකක කාලයක් තුළ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂිත ය.

මෙම සංවර්ධන කටයුතුවලට අමතරව දීඝවාපී චෛත්‍යය වන්දනාව පිණිස පැමිණෙන බැතිමතුන්ට නවාතැන් ගැනීම පිණිස විශ්‍රාමශාලා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට නැ‍ඟෙනහිර පළාත් පුරාවිද්‍යා උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු කාර්ය සාධක බළකාය විසින් සැලසුම් කර ඇත.

දීඝවාපී චෛත්‍යයේ චූඩා මාණික්‍ය, කොත් වහන්සේ සහ විහාරගෙය ද සඳහිරු සෑයේ සලපතල මළුව සහ විහාරගෙය ද නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නා උයන මහා භාරකාර මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට නියමිත ය.

ඒ සඳහා වන රුපියල් මිලියන 76ක චෙක්පත නා උයන මහා භාරකාර මණ්ඩලයේ ලේකම්තුමා විසින් අගමැතිතුමා වෙත භාරදීම ද මෙහි දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා උතුර සහ නැඟෙනහිර දෙ පළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන් වහන්සේ, අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ, බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය වැඩම කර වදාළහ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි අතර, සෞඛ්‍යාරක්ෂිත ව මේ කටයුතු සිදු කෙරිණි.

දීඝවාපියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීමෙන් පසුව අගමැතිතුමා පොතුවිල් මුහුදු මහ විහාරය වෙත ගොස් එහි විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන් හමු වී මුහුදු මහා විහාරය සම්බන්ධ ව පවතින ගැටලු සම්බන්ධ ව විමසා බැලුවේ ය.