Print this Article


වේලුක ජාතකය ඇසුරෙනි: හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

වේලුක ජාතකය ඇසුරෙනි:

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

" මේ භික්ෂුව පෙර ආත්මයකත් මේ ලෙසම අකීකරුවීම නිසා අකාලයේ මරණයට පත්වන්නට සිදු වුණා. එ බැවින් සත්පුරුෂ වූ, නුවණැති වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදිමින් පැවිදි දිවිය සාර්ථක කර ගැනීමට තවදුරටත් ධර්මය දේශනා කරමින් අවවාද කළා. මේ කතා පුවත නූතනයේ ඉගෙනුම ලබන දරුවන්ටත්, ගුරුවරුන්ටත්, දරුවන් හදමින් වඩමින් පෝෂණය කරන මව්පියන්ටත්, සේව්‍ය සේවකයින් සියලු දෙනාටත් අතිශය වැදගත් වෙනවා. සෑම කටයුත්තක් ම අභිමත අයුරින් අකීකරු ව කිරීමට යාම විශාල විපත් පමුණුවන බව වේලුක ජාතකය පෙන්වා දෙනවා."

දරුවන් මව්පියන්ටත්, ශිෂ්‍යයන් ගුරුවරුන්ටත්, සේවකයින් ස්වාමියන්ටත් කීකරු විය යුතු ය. ඔවුන්ගේ සත්පුරුෂ අවවාද අනුශාසනා පිළිපැදිය යුතු ය.


සිතුවම අන්තර්ජාලයෙනි

එසේ නොවුණ විට තම ජීවිතයෙන් පවා දඬුවම් විඳීමට සිදුවෙයි. මව, පියා, ගුරුවරයා සහ ස්වාමියා යන සංඥා නාම ලොව සදා අමරණීය වන්නේ ඒ හා බැඳුණු උතුම් ගුණ ධර්ම පවතින නිසා ය. ඇතැම්හු එම තනතුරුවලට පත් වුවත් තනතුර බැබළෙන ගුණ අමතක කර කටයුතු කරති. එහෙත් සැබෑ සත්පුරුෂයෝ කිසිදු කලෙක තම අවවාද අනුශාසනා ලබන පිරිසට අයහපතක් වනු දැකීමට අකැමැති ය.

සත්පුරුෂ නුවණැත්තන්ගේ අවවාද අනුශාසනා ලැබ ජීවිතය සහ ලෝකය ජය ගත් පිරිස් ද, අසත්පුරුෂයින් නිසා තනතුරත් කෙළසමින් සිය අනුගාමික, අතවැසි, මෙන්ම දූදරුවන් අසරණ කරමින් විපතට පත් කළ කථා පුවත් ද නිතර අසන්නට ලැබේ. පන්සිය පනස් ජාතක පොතේ හතළිස් තුන්වැනි ජාතක කතාව වේලුක ජාතකයයි. මෙය එයට හොඳ උදාහරණයක් සපයයි.

එම ආදර්ශය ජීවිතයට ගැනීම උසස් තනතුරු හොබවන පිරිසට ද, අදාළ තනතුරුවලට යටත් ව වාසය කරන මෙන් ම, දිවි ගෙවන පිරිසට ද, තම කටයුතු හොඳින් අවබෝධ කරගෙන ජීවිතය ජය ගැනීමටත්, කීර්තිය හිමිකර ගනිමින් ලොව බැබළවීමටත් හේතුවනු ඇත. එම කතා පුවත මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වැඩසිටින සමයෙහි භික්ෂූන් පිරිසක් දම් සභාවේ දී බුදුන් වහන්සේ අමතා ස්වාමීනි, අසවල් භික්ෂුව වැඩිහිටි භික්ෂූන්ගේ අවවාද අනුශාසනා නො පිළිපදිමින් අකීකරුව කටයුතු කරමින් වාසය කරන්නේ යැයි දන්වා සිටියි. එකල්හි සර්වඥයන් වහන්සේ එම භික්ෂුව කැඳවා අදාළ කරුණ සත්‍ය දැයි විමසා සිටින අතර, එම භික්ෂුව ද ඒ සියල්ල එලෙසම සත්‍ය ලෙස පිළිගනියි. එකල්හි දම් සභාවේ වැඩසිටි භික්ෂූන් අමතා, මහණෙනි, මෙම භික්ෂුව මෙකල පමණක් නොව පෙර ආත්මයක ද වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නො පිළිගැනීම සහ නො පිළිපැදීම නිසා අනතුරට පත්වූයේ යැයි දේශනා කළහ. අතීත කතාව දැනගනු රිසි වූ භික්ෂූන් වහන්සේලා එම කතා පුවත දේශනා කරන ලෙස නැවත ආරාධනා කර සිටියහ. එකල්හි භික්ෂූන් ආමන්ත්‍රණය කරමින් බුදුන් වහන්සේ වේලුක ජාතකය දේශනා කිරීමට පටන්ගත්හ. මහණෙනි, මේ භික්ෂුව පෙර ආත්මයක තවුස් ජීවිතයක් ගත කළා. තම ගුරුවරයාගේ අවවාද අනුශාසනා නො පිළිගැනීම නිසා තවුස් ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමටත්, පරමායුෂ වින්දනය කරමින් කුසල් රැස්කර ගැනීමටත් පෙර අකාලයේ මිය යන්නට සිද්ධ වුණා.

පෙර බරණැස් නුවර නමින් නුවරක් තිබුණා එහි බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කළා. එ සමයෙහි සර්වඥයන් වහන්සේ වන මම බෝධිසත්ව ගුණ පූරණය කිරීමට අෂ්ටසමාපත්ති උපදවා ගනිමින් පන්සියයක් තවුසන් සමග වාසය කළා.

පන්සිය දෙනා වහන්සේම කුටිවල හුදකලා වෙමින් තවුස්දම් පුරමින් සිටින කල්හි දිනක් ගොදුරු සොයමින් යන උග්‍රවිෂ සහිත සර්පයෙක් එක් තවුසකුගේ කුටියකට පිවිසුණා. ඌ දුටු ඒ තවුස්තුමා හෙතෙම තමාගේ පෙර ඥාතියකු පැමිණියේ යැයි පුත්‍ර ස්නේහය උපදවාගෙන, උණ බටයක සකස් කළ කූඩුවක වාසය කිරීමට ද ඌට අවස්ථාව සලසා දෙමින් නිතර ආහාර පානවලින් සංග්‍රහ කරන්න ද පටන් ගත්තා. මේ නිසා ම නොබෝ දිනකින් ම සර්පයා උණ බටයක සිටින නිසා ඌ ‘වේලුකයා‘ ලෙසිනුත් තාපස තෙමේ ‘වේලුකපියා‘ ලෙසිනුත් නම් තබා සෙසු තවුස් පිරිස ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. දින කිහිපයකින් ම සියලු පුවත් බෝසත් තවුස්තුමා වෙත ද දැන ගන්නට ලැබී තවුසාණන් කැඳවා සර්පයා උග්‍ර විෂ සහිත එකෙකු බැවින් වහාම ඌ මුදාහරින ලෙසට අවවාද කළා.

එකල්හි ඒ තාපසතුමා ස්වාමීනි, ඌ මගේ පෙර ආත්මයක පුත්‍රයකු වන්නේ ය. එබැවින් ඌ නොමැතිව මට ජීවත්වීමට නො හැකි යැයි පවසමින් අවවාද සහ අනුශාසනා නො පිළිපැද දිගටම සර්පයා පෝෂණය කිරීමට පටන් ගත්තා. දින සති ගෙවමින් කාලය ගත වුණා. ආහාර පාන සියල්ල අවසන් වුණා. එබැවින් නැවතත් ආහාර සොයාගෙන ඒමට යායුතු බැවින් වහා එන අදහසින් සර්පයා අදාළ උණ බටයෙහි බහා තබා සෙසු පිරිස සමඟ ආහාර සෙවීමට පිටත් වුවත් දින තුනක් සර්පයාට වතුර බිදුවක්වත් දී ගැනීමට නො හැකි වුණා. තුන්වැනි දින කුටියට පැමිණ පුත්‍ර ස්නේහයෙන් ආමන්ත්‍රණය කරමින් සර්පයාට කෑම දීමට දෑත් දිගු කළ විට දින ගණනාවක් නිරාහාරව සිටි සර්පයා කෝපයෙන් තාපසයාගේ දෑතට දෂ්ට කළා. එයින් හෙතෙම මරණයට පත් වුණා. මහණෙනි, මේ භික්ෂුව පෙර ආත්මයකත් මේ ලෙසම අකීකරුවීම නිසා අකාලයේ මරණයට පත්වන්නට සිදු වුණා. එ බැවින් සත්පුරුෂ වූ, නුවණැති වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදිමින් පැවිදි දිවිය සාර්ථක කර ගැනීමට තවදුරටත් ධර්මය දේශනා කරමින් අවවාද කළා. මේ කතා පුවත නූතනයේ ඉගෙනුම ලබන දරුවන්ටත්, ගුරුවරුන්ටත්, දරුවන් හදමින් වඩමින් පෝෂණය කරන මව්පියන්ටත්, සේව්‍ය සේවකයින් සියලු දෙනාටත් අතිශය වැදගත් වෙනවා. සෑම කටයුත්තක් ම අභිමත අයුරින් අකීකරු ව කිරීමට යාම විශාල විපත් පමුණුවන බව වේලුක ජාතකය පෙන්වා දෙනවා.