වප් අමාවක 2020.11.14
දේවදූතයා
සිතින්, කයින්, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙන්නෝ මේ ජීවිතයට ද අවැඩ සිදු කරගෙන,
මරණින් පසු නිරයගාමී වන බව බෞද්ධයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. එහෙත් ඒ බව දැන
දැනත් කෙනෙක් තිදොරින් ම දුසිරිතෙහි යෙදෙති. ඔවුන් එසේ හැසිරෙන්නේ තමන් ජීවත්වන
පරිසරය තුළ, ඇසුරු කරන අය අතර අයහපත් චර්යාවත් නිසා පීඩා විඳින, විපාක විඳින අය
කොතෙකුත් ඇස ගැටෙන අතරේදී ය.
මනුෂ්‍යයා නම් මෙලොව උපත ලබන්නේ අන් කිසිදු සත්ත්වයකුට නැති විශේෂත්වයක්, හිමිකර
ගනිමින් ය. ඒ, සිතා බලා කටයුතු කරන්නට ඇති හැකියාව ය.
සැබැවින් ම අප ජීවිතයට මුහුණ දෙන්නේ, හැසිරීම් හසුරුවන්නේ හොඳ සිහිකල්පනාවෙන් ද?
තමන් තමන්ට අවංක වෙමින්, තමන් දෙස විමසන්නේ නම් ඒ ගැන තමන්ටම සහතිකයක් ලබා දෙන්නට
පුළුවන.
සමාජයේ ඇතැමෙක් සිය ලාභය පතා, පටු පරමාර්ථ ඉටු කරගනු පිණිස අනුන්ට අවැඩම කරති. ඒ
තුළ ලබන්නා වූ ලාභය හෝ වේවා, සතුට සැනසුම හෝ වේවා තාවකාලික බව ද, පාරා වළල්ලක් සේ
එහි අහිතකර විපාක කවර මොහොතක හෝ තමා වෙත පැමිණෙන බව ද ඔවුහු නොදනිති.
කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
යනුවෙන් ශ්‍රේෂ්ඨ කවියන් වෙතින් කවි පදවලට නැඟුණේ ද ඒ ධර්මතාව ම නොවන්නේ ද?
අද අපි ඉතා දුෂ්කර, වේදනාකාරී, කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටිමු. ඒ මෑත ඉතිහාසයේ
මුළු ලෝකයම අත් විඳින පීඩාකාරීම අත්දැකීම වනවාට සැකයක් නැත. ඒ, මනුෂ්‍ය වර්ගයා
විසින් ම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ අයහපත්කම්වල ප්‍රතිඵල නොවන්නේ යැයි කිසිවකුටත්
සහතික විය නොහැකි ය.
දැන්, අපට බලා හැදෙන්නට හොඳම උදාහරණයක්, ඇස් පනාපිට ම දකින්නට තිබේ. ඒ ලෝකයක් අසරණ
කළ කොරෝනා වසංගතය යි.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සමයේ භික්ෂූන් වහන්සේට දේශනාකොට වදාළේ
සිතින්, කයින්, වචනයෙන් වැරැදි කරන මිනිසුන්ට ඒ වැරැදි මඟ හරවා ගන්නට මඟ පෙන්වන
දේවදූතයන් තිදෙනෙක් සිටින බව ය. එහි දෙවැනි දේව දූතයා ගිලන්ව දුකටපත් වූ අසරණ
මිනිසෙකි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස, දුසිරිතෙහි හැසිරුණු අයෙක් මරණින් පසු නිරයේ
උපදී. නිරයපාලයෝ ඔහු අල්ලා යම රජුට පෙන්වන්නේ දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිමිනි.
එහිදී යම රජු පළමු දේවදූතයා සිහි ගන්වා කතා කොට දෙවැනි දේව දූතයා ද සිහිගන්වයි.
පුරුෂය, ඔබ මිනිසුන් අතර රෝගාතුර වූ, දුකටපත්, දැඩි සේ ගිලන් වූ, සිය මළ මුත්‍ර මත
වැටී නිදන, ගැහැනියක හෝ පුරුෂයකු නොදුටුවේ ද යනුවෙනි.
නිරයගාමියා කියන්නේ දුටු බව ය. එවිට යමරජු විමසන්නේ තමන් ද රෝග ස්වභාව කොට ඇති බව
දැන, රෝග නොඉක්මවන බව දැන සිතින්, කයින්, වචනයෙන් කුසල් කළ යුතු යැයි අදහසක් ඇති
නොවුයේ ද යන බවයි. එහෙත් නිරයගාමියා කියන්නේ තමන් ඊට ප්‍රමාද වූ බව ය.
එවිට යමරජු පවසන්නේ ඒ පාප කර්ම ඔහුගේ මව විසින් හෝ පියා විසින් හෝ ආදී ලෙස කරන ලද
දේ නොව තමන්ම කරන ලද්දක් බවත්, එහි විපාක ද තමන්ට ම විඳින්නට වන බවත් ය.
අද අප කොරෝනා වෛරස රෝගීන් විඳින පීඩාව සේ ම අසරණව මිය යන ආකාරය ද දකිමු. වයස්
භේදයක්, නිලයක්, බලයක් ඊට නැත. අපට වැරැදි නිවැරැදි කොට ජීවත්වන්නට සිතට ගන්නට එයම
පාඩමක් කොට ගත හැකි ය. |