සුළඟේ වේගය පැරද වූ
මුවාගේ කතාව
වාතමිග ජාතක කතාව ඇසුරිනි
දඹාන මාවරගල අරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
බුදුරජාණන් වහසේගෙන් උතුම් ශ්‍රාවක පදවිය ලැබූ භික්ෂූන් වහන්සේ නමක් තමාගේ සිහිය
පිරිහීමට ලක්කර ගැනීමෙන් තම නුවණ ද පිරිහීමට ලක්වුණු කතා පුවතක් ජාතක පොතේ වාතමිග
ජාතකය නමින් සඳහන් වෙනවා.
වාත යනු සුළඟ යි, මිග යනු මුවා යි. සුළඟ පරදවා දුවන මුවකු ගැන කතා පුවතක් මෙයින්
ගෙනහැර දැක්වෙනවා.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වසන සමයේ මහා ධන නමින් ජීවත් වුණු සිටු පවුලකට
තිස්ස නමින් පුත් කුමරෙක් උපදිනවා. ඔහු ක්‍රමයෙන් වැඩිවියට පත්ව නිතර ධර්මය ශ්‍රවණය
කිරීමට හුරුවීම නිසා පැවිදි වීමට සිතක් පහළ වෙනවා. ඒ බව මව්පියන්ට දන්වා අවසර ඉල්ලා
සිටි නමුත් කුමරුට අවසර ලැබෙන්නේ නැහැ. මේ කුමාරයා අවසර ලැබෙන තෙක් ආහාර නො ගෙන
සිටීමටත්, නිරාහාරව මිය යාමටත් තීරණය කරමින් උපවාසයක් ආරම්භ කරනවා. දිනෙන් දින
කුමරුගේ ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. සිටු දේවිය පළමුව අවසර දෙමින් සිටුතුමාට ප්‍රකාශ
කරන්නේ කුමරු ජීවත් ව සිටීම තමන්ට සතුට උපදවන බැවින් පැවිදිවීමට අවසර ලබාදීමට
කටයුතු කරන ලෙස යි. ඒ අනුව මව්පියන්ගේ අවසරය ලබා ගනිමින් කුමරු බුද්ධ ශ්‍රාවකයකු
බවට පත් වෙනවා.
පිණ්ඩපාතික හුරුව ලබාගත් තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩමවමින් ම සිය ආහාර සපයා
ගැනීමට නිරතුරුව ම කටයුතු කරනවා. මේ නිසා ම සෙසු ශ්‍රාවකයන් වහන්සේලා මේ තෙරුන්
වහන්සේ චුල්ලපිණ්ඩපාතිකතිස්ස තෙරුන් ලෙස හඳුන්වන්න පටන් ගත්තා.
අහසේ පුන්සඳ මෙන් කීර්තිය හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. තෙරුන් වහන්සේ ධුතංගධාරී
ව වාසය කිරීමට ද හුරු වුණා.
රජගහනුවර වාර්ෂික ව පැවැත්වෙන එක්තරා නැකැත් උත්සවයක් තිබුණා. පෙර වර්ෂවල කුමරු එයට
සම්බන්ධ වූ හැටි සිහිපත් වෙමින් සිටු පවුල දැඩි සේ දුකට පත් වුණා.
මේ අතරෙහි ඔවුන්ට හිතවත් එක් කාන්තාවක් කිසියම් උපකාරයකට නිවසට පැමිණ සිටු පවුල
හඬමින් සිටිනවා දැක. “අහෝ සිටු දේවියනි. සළුපිළි ගොඩකුත්, ආභරණ ගොඩකුත් එළියට අරගෙන
අඬමින් ඉන්නේ.. ඇයි මේ? “අනේ දුවේ. ඔයා ඉතින් දන්නවා නේ. අපේ පුතා මහණ වුණ බව.
ගියදා පටන් කිසිම තොරතුරක් නෑ. "සිටු දේවියනි, ඔබ දෙපළ තිස්ස කුමාරයාට ගොඩාක්
ආදරෙයි වගේ.”
“ඔව් දුවේ,. අපේ එකම පුතාට ආදරය නො කොට වෙන කුමක් කරන්න ද? මේ මහා ධන සම්පත්තිය
තිබෙන්නේ එයා වෙනුවෙන්ම යි සිටුදේවිය හඬමින් පැවසුවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමෙහි
දක්ෂ වූ ඇය එවිට
“සිටු දේවිය, මම ඔබලාගේ එකම පුතා නැවත ගෙන්වාගෙන ආවොත් මට මේ ගෙදර සියලු සම්පත්
පවරලා දෙන්න කැමැති ද?” යනුවෙන් විමසා සිටිනවා. සිටු දේවිය එවිට” අනේ දුවේ, මොනවා
කියනවා ද, එහෙම වුනොත් මේ දේපළ සියල්ල ම ඔයාට ම තමයි. ඔබයි අපේ පුතාගේ බිරිඳ
වෙන්නේත් යැයි පවසා සිටිනවා.
ඒ කාන්තාව කුමරු පොළඹවා ගැනීමට අවශ්‍ය වියදම් ද, සේවක පිරිසක් ද ලබාගෙන එයින්
නික්මෙනවා. ඔවුන් රහසේ ම සැවැත් නුවරට පිටත් වී ධුතාංගධාරී ව වැඩ වෙසෙන චුල්ල
පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ පිඬුසිඟා වඩින මාවත සොයා ගන්නට සමත් වෙනවා.
නිවසක් කුලියට ගෙන සිටු ගෙදරින් ආ සේවක පිරිස සමඟ එහි වාසය කරන අතර, විශේෂයෙන් සිටු
මැදුරේ සේවය කරන සේවක පිරිස තෙරුන් වහන්සේගේ නෙත නො ගැටෙන අයුරින් හැසිරීමට ද වගබලා
ගන්නවා. අතිප්‍රණීතව දානය, සකසා තෙරුන්ට පූජා කිරීමට කටයුතු ක්‍රමයෙන් සකසා ගන්නවා.
මේ මායාකාරී ස්ති‍්‍රය දිනෙන් දින තිස්ස තෙරුන් වහන්සේගේ ප්‍රධාන කැපකරු දායිකාවක්
බවට පත්වෙනවා. තිස්ස තෙරුන් වහන්සේ ද මේ දායිකාව සමඟ බොහෝ සෙයින් කුළුපග වෙනවා. මේ
හේතුවෙන් ම දිනක් කපටි වූ ඒ ස්ති‍්‍රය හිතවත්කම් පා තම නිවසට වැඩම කොට දන් වළඳන ලෙස
තෙරුන් වහන්සේට ආරාධනා කරනවා.
ඇගේ දානය ඉතා රසවත් බැවින් තෘෂ්ණාවට ලොල් වෙමින් සිහියෙන් නුවණින් තොරව ඒ නිවසට
වැඩම කොට දන් වැළ¼දීමට පටන් ගන්නවා. පුණ්‍යානුමෝදනා ද සිදු කරනවා. මෙ ලෙස දිනපතා
දන් වැළ¼දීමට පටන් ගත් බැවින් දිනක් තෙරුන් වහන්සේ ඒ නිවසට පිණ්ඩපාතේ වැඩම කළ විට
වෙනදා මෙන් සේවක ජනයා පැමිණ තෙරුන් වහන්සේට වන්දනා කර පාත්‍රය අතට ගෙන වැඩ හි¼දීමට
සලස්වනවා. ඇය බොරු අසනීපයක් ගෙන ගෙහි කාමරයක සයනය කිරීමට උපක්‍රමයක් යොදා ගන්නවා.
අසුන් ගත් තෙරුන් වහන්සේ දායිකාව දැකීමට නොමැති බැවින් සේවක පිරිස් අමතා
“පින්වත්නි, අපේ උපාසිකාව කොහේ ද? බැහැරක ගියේ ද? යනුවෙන් විමසා සිටිනවා.
“ස්වාමීනී, ස්වාමි දියණියට බොහෝ සෙයින් අසනීපයි. ඔබ වහන්සේගෙන් ආශීර්වාද ලබා ගැනීමට
ඇය මහත් ඕනෑකමින් බලා සිටිනවා. ඈට අනුකම්පා කොට ඇගේ කුටියට වඩින සේක්වා, ඔවුන්
තෙරුන් වහන්සේට ආයාචනා කර සිටිනවා.
එකල්හි තිස්ස තෙරුන් වහන්සේ තමන් මෙතෙක් කල් ධුතාංග සමාදන් ව සිටින භික්ෂුවක් බව
අමතක කරමින් ආහාර ලබා ගැනීම සමඟ ඇති වූ හිතවත්කම් පමණක් අධික වීම හේතු කර ගනිමින්
තමන්ගේ ධුතාංගත්, සිහිය සහ නුවණත් බිඳ දමමින් ඇය සයනය කරන කුටියට පිවිසෙනවා. ඒ
සැණින් ඒ කාන්තාව තිස්ස තෙරුන් පොළඹවාගෙන සිවුරු හරවා තමන් පැමිණි කාරණය සැලකොට
අශ්ව රථයක නංවා ගෙන මහත් පිරිවර සහිත ව රජගහ නුවරට නික්ම යනවා.
දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා තිස්ස තෙරුන්ට අත් වූ මේ කනගාටුදායක ඉරණම
ගැන කතාබස් කරන්න පටන් ගන්නවා. එකල්හි එතැනට වැඩම වූ බුදුන් වහන්සේ භික්ෂූන් අමතා.
“මහණෙනි, ඔය භික්ෂුව රස තණ්හාවට බැඳීලා අනුන්ගේ වසඟයට ගියේ මේ ආත්මයේ විතරක්
නොවෙයි. පෙර ආත්මයේත් රස තණ්හාවට හසුවීමෙන් ඔය ගැහැණියගේ ම වසඟයට ගියා යි පවසා
සිටිනවා.
එවිට එහි රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දෙ ලොවට යහපත
පිණිස ඒ අතීත කතා පුවත දේශනා කරනු මැනවැයි” ආරාධනා කර සිටිනවා. ඒ මොහොතෙහි වාතමිග
ජාතකය මෙසේ වදාළා.
“මහණෙනි, අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට සංජයන නමින් උයන්පල්ලෙක්
හිටියා. රාජ උද්‍යානය බලා ගත්තේ මේ උයන්පල්ලා. ඔය උයනට එක්තරා මුවෙක් නිතර එන්න
පටන් ගත්තා. ඔහුට සුළඟ පරදා වේගයෙන් දිවීමේ හැකියාවක් පැවතුණා. ඒ නිසා ම ‘වාතමිග’
කියන නම පට බැඳුණා. මේ මුවා උයන්පල්ලා දුටු සැණින් නො පෙනී යනවා. මේ නිසා සංජය
උයන්පල්ලා නො දැක්කා මෙන් සිටීමට කටයුතු කළා. වාතමිග මුවාත් නැවත නැවතත් උයනට එන්න
පුරුදු වුණා. දිනක් රජතුමා උයන්පල්ලා අමතා. “පින්වත්, සංජය, කොහොමද උයනේ තොරතුරු?
උයනට අවශ්‍ය දෑ සියල්ල ම ලැබෙන්නේ ද? අවශ්‍යතා පවතී ද? යනුවෙන් උයනේ තොරතුරු
විමසූවා. එකල්හි උයන්පල්ලා “දේවයන් වහන්ස, විශේෂ දෙයක් නම් නොමැත. එහෙත් ‘වාතමිග’
කියන වර්ගයේ එක්තරා විශේෂ මුවෙක් නම් දිනපතා උයනට එනවා. දැන් ටික ටික මටත්
පුරුදුයි. කලින් මෙන් මා දුටු ගමන් පලා යන්නේ නැහැ.
ඒ කතාව අසන රජතුමා ඔහු අල්ලා ගන්න බැරිදැයි විමසා සිටිනවා. එවිට උයන්පල්ලා “දේවයන්
වහන්ස, මට මී පැණි ටිකක් ලැබුණොත් රජ මැඳුරට ම ඒ අපූරු මුවා රැගෙන එන්න පුළුවන්
වේවි” යනුවෙන් පවසනවා. රජතුමාගෙන් සංජයට මී පැණි ලැබෙන අතර, ඔහු උයනට ගොස් මුවා
හැසිරෙන තැන්වල තණකොළ වල මී පැණි ටික ටික තවරා මුවාට කන්නට සැලැස්සුවා.
මී පැණි මිශ්‍ර තණකොළ කෑමෙන් ඒ කෙරෙහි ගිජු බවක් ඇතිවෙන්න පටන් ගත්තා. රසයට වසඟ වූ
නිසා දිනපතා උයනට එන්න පුරුදු වුණා. මී පැණි තැවරුණ රසයට හොඳට වසඟ වුණ බව තේරුම්ගත්
උයන්පල්ලා ටික ටික තමන්ව පෙනීමට සැලැස්සුවා. දවස් කීපයක් ගෙවී ගියා. මුවාට
උයන්පල්ලා පිළිබඳ විශ්වාසය ඇති වුණා. මුවා ඇවිත් උයන් පල්ලාගේ අතින් ම තණකොළ කන්න
පටන් ගත්තා. ඒ තරමට විශ්වාසය වැඩිවුණා. මේ බව රජුට දැනුම් දුන්නා. උයනේ සිට රජ
මැදුර දක්වා ඇති වීදියේ දෙපස කලාලවලින් නො පෙනෙන්න වට කළා.
තැනින් තැන කොළ අතු දැම්මා. උයනටම අයිති තැනක් වගේ පෙනෙන්න සැලැස්සුවා. සංජය
උයන්පල්ලා ලබු කැටයකට මී පැණි පුරවා ගත්තා. අලුත් තණකොළ මිටියක් කිසිල්ලේ රඳවා ගෙන
මී පැණි ටික ටික තැවරූ තණකොළ මුවා ඉදිරියෙන් දමමින් ක්‍රමයෙන් මුවා මාළිගාව ඇතුළට ම
ගෙන්වා ගෙන එක් වරම දොරටු සියල්ලම වැසීමට සැලැස්සුවා. මුවා හිස ඔසවා වටපිට බලා මරණ
භය ඇති වී මාළිගයේ මිදුලේ වටේට ම මහා කලබලෙන් දුවන්න පටන් ගත්තා. මාළිගයේ සිටි
රජතුමා මේ මුවා බියට පත්ව කලබලෙන් දුවන හැටි බලා මහත් අනුකම්පාවක් ඇති වී
“බලන්න මිත්‍රවරුනි, ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත්
දවසක් ඒ පළාතටවත් යන්නෙ නැහැ. යම් තැනක දී තර්ජනයට ලක්වුණොත් මුළු ජීවිතේට ම ඒ
පැත්තට යන්නේ නැහැ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් රසයට ගිජුවීම නිසා මෙවැනි
තැනකටත් එන්න සිදු වුණා.
යනුවෙන් පැවසුවා.
බුදුන් වහන්සේ මේ කතා පුවත දේශනා කිරීමෙන් පසු භික්ෂූන් අමතා සංජය නමැති උයන්පල්ලා
මෙකල තෙරුන් වසඟ කරගත් කාන්තාව වූ බවත්, වාතමිග වෙලා හිටියේ චුල්ල පිණ්ඩපාතික තිස්ස
තෙරුන් බවත්, බරණැස් රජු තමන් වහන්සේ බවත්, පවසමින් කතාව සමාප්ත කළා.
රස තෘෂ්ණාව කියන්නේ මොන තරම් බරපතළ දෙයක් ද යන වග මෙයින් පෙනෙනවා. එබැවින් ගිජු
බවින් තොරව ජීවිතය පවත්වා ගෙන යාමට කටයුතු සලසා ගත යුතු වෙනවා. |