Print this Article


අටවිසි බෝධි පුරාණය 13: අතිපූජනීය සිරිමහ බෝ සමිඳු ආරක්ෂා කළ අයුරු

අතිපූජනීය සිරිමහ බෝ සමිඳු ආරක්ෂා කළ අයුරු

අසිරිමත් වූත් අතිපූජනීය වූත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෑම කල්හි ම ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමක් ව පැවැති බව පසුගිය ලිපි මාලාවේ සඳහන් වූ කරුණු අනුව පැහැදිලි වේ.

අරාජික කාලයන් හි පවා මහ සඟ රුවන මෙන් ම ජනතාව ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් ආකාරය ඓතිහාසික කරුණු තුළින් ප්‍රකට වේ. එබඳු අවස්ථාවකට අපූර්ව නිදසුනක් වශයෙන් දරමිටි පෙරහර නමින් හැඳීන්වෙන විශේෂ චාරිත්‍ර විධිය පෙන්වා දිය හැකි ය. අලි ඇතුන් මෙන් ම වන සතුන්ගෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා දර විශාල ප්‍රමාණයක් සපුරා ගැනීම සඳහා ජනතාවගේ මහඟු දායකත්වය ලැබුණි. ශ්‍රී මහා බෝ සමිඳු වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවත්හු ද දරමිටිය බැගින් රැගෙන ඒමට පුරුදුව සිටිය හ. එනිසා ම බෝ හාමුදුරුවන් වැඳපුදා ගැනීම සඳහා පැමිණීමේ දී අවශ්‍ය කරන පූජෝපකරණ ද්‍රව්‍යයක් වශයෙන් ද දරමිටි පත් විය. බෝධි ආරක්ෂක විධිවිධාන ක්‍රමයක් වශයෙන් පැවැති මෙය පසුව දරමිටි පෝය, දරමිටි පෙරහර නම් චාරිත්‍ර විධිය බවට පත් විය. කෙසේ වුවත් දරමිටි පෝය නමින් සලකන්නේ ඇසළ පොහොය යි. සිරිමා හාමුදුරුවෝ යන ප්‍රාණවාචක ගෞරවාර්ථ නාමයෙන් ද ව්‍යවහාර කරනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවුරුදු දහස් ගණනක කාලයක සිට ලක් වැසියන්ගේ විවිධ ක්‍රමෝපායයන්ගෙන් රැකගත් අයුරු මූලාශ්‍ර ග්‍රන්ථයන්ගෙන් අනාවරණය වේ. වැලිවිට සරණංකර සංඝ රාජෝත්තමයාණන් වහන්සේගේ දෙවන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් සැලකෙන ඉලුපැන්ගමුවේ මා හිමිපාණන් වහන්සේ ද සිරිමා බෝ සමිඳු ඉතිහාසයේ අමරණීය හ. අනුරාධපුර වන්දනාවේ වැඩම කළ උන්වහන්සේ අටමස්ථානයේ දියුණුව සඳහා අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා වර්තමානය තුළ දක්නට ලැබෙන ශෛලමය මහා ප්‍රාකාරය බඳවන ලද්දේ ද ඉලුපැන්ගමුවේ මා හිමිපාණන් වහන්සේ විසිනි.

ආරක්ෂාව මෙන් ම අලංකාරය පිණිස ද 1940 දශකයේ දී චීන චට්ටි ලෝහයෙන් වැටක් ඉදිකර ඇත. 1950 දශකයේ දී බෝධීන් වහන්සේට පුස් වර්ගයක් වැළඳී බෝපත් වියැළෙමින් , වැටෙමින් විනාශ වන තත්ත්වයට පත්වෙමින් පැවැතිණ. එම රෝගය සඳහා විවිධ ප්‍රතිකාර සිදුකොට ඇත.

අතිපූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැටේ පුරාවෘත්තය 1961 වර්ෂය දක්වා දිව යයි.එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි උඳුරුව හල්මිල්ලෑවේ රේවත නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහනුවර කීර්තී ශ්‍රී රාජසිංහ පුස්තකාලායධිපති යටිරාවණ නාරද මා හිමිපාණන් වහන්සේගේ අදහසකට අනුව රන්වැට ඉදි වී ඇත. නො පසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1961 වර්ෂයේ දී මුල්ගල් තබා ආරම්භ කරන ලද මෙම සද්කාර්ය සඳහා රුපියල් දහතුන් ලක්ෂ පනස්දහසක පමණ වියදමින් නිමවා 1969 වර්ෂයේ අගෝස්තු 11වන දින විවෘත කරන ලදී. එතැන් සිට දිවයිනේ වෙහෙර විහාරස්ථානයන්හි බෝධීන් වහන්සේ වටා රන්වැට බැ¼දීම ව්‍යාප්ත විය.