Print this Article


මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකමයි

මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකමයි

උතුම් ම ඉවසීම නම්, බලය ඇති අය දුබලයා කෙරෙහි ඉවසීම ය. දුබලයා ඉවසන්නේ නැති බැරි කමට ය. ප්‍රබලයා ඒ බව තේරුම් ගත යුතු ය.

හී වඩුවෝ තමන් කැමති පරිදි හීදඬු නමති. සීසාන ගොවියෝ තමන් කැමති පරිදි හීවිට දක්කති. තොටියෝ තමන් කැමති පරිදි ඔරු පදවති. ලේඛකයෝ තමන් කැමති පරිදි පත, පොත ගොනු කරති. එසේ වුව ද තමාට තමන් පාලනය කර ගැනීම පහසු දෙයක් නොවේ. එය සීරුවෙන්, සිහි බුද්ධියෙන් හසුරුවා ගත යුතු ය.

අනුන්ට හරි මඟ කියා දෙන්නට පෙර තමන් හරි මඟ යා යුතු ය. අනුන් දමනය කරන්නට පෙර තමන් දමනය විය යුතු ය. ලෝකයේ ඉතාමත් අමාරු දෙය වන්නේ තමා විසින් තමා දමනය කර ගනු ලැබීමයි.

හොඳ දේ ලබා ගැනීම ඉතාමත් අමාරු ය. අමාරුවෙන් ලබාගත් දේ හරි විදියට හසුරුවා ගැනීම ඊටත් වඩා අමාරු ය.

ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන්ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද, බොරු කියන්නා සත්‍යයෙන්ද, වංචනිකයා අවංක කමින් ද, මසුරු මිනිසා ධන පරිත්‍යාගයෙන් ද දිනිය යුතු ය.

මිනිසා අතර ගැටුම් ඇතිවීමට හේතුව කුමක්දැයි වරක් ශක්‍ර දෙවියන් විසින් සම්බුදු හිමියන්ගෙන් විමසනු ලැබූ බව “සක්ක පඤ්ඤ”සූත්‍රයේ විස්තර වේ. මේ සියල්ලටම හේතුව තණ්හාව බවත්, තණ්හාව දුරු කළ විට බෝසත් ගුණ ඇති මිනිසකු නිර්මාණය වන බවත්, මෙහිදී සම්බුදු හිමියන් දේශනා කර ඇත. එසේම ගැටලු ඇතිකර නොගෙන සාමය තුළ හැසිරීමට “සප්ත ජටිල” සූත්‍රයේ දී සම්බුදු හිමියන් කරුණු පැහැදිලි කර ඇත. අප නියමාකාරයෙන් මිනිසුන් හඳුනා ගත යුතු ය. එවිට ඇතිවන සංජානනය තුළින් තීරණ තීන්දු ගැනීම පහසු කරවන අතර ඒ තීරණ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වෙයි.

සංයුක්ත නිකායේ “වේපචිත්ති” සූත්‍රයේ දැක්වෙන පරිදි උතුම් ම ඉවසීම නම්, බලය ඇති අය දුබලයා කෙරෙහි ඉවසීම ය. දුබලයා ඉවසන්නේ නැති බැරි කමට ය. ප්‍රබලයා ඒ බව තේරුම් ගත යුතු ය. සංයුක්ත නිකායේම “රජ්ජා” සූත්‍රයේ විස්තර වන පරිදි නොනසමින්, නොනස්වමින්, පැහැර නොගනිමින්, පැහැර නොගන්වමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, බොරු නොකරමින්, බොරු නොකරවමින්, ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ හැකි බව සම්බුදු හිමියන් පැහැදිලි කර ඇත. “අධම්මික” සූත්‍රයේ මෙසේ දැක්වෙයි. “ගව රැළක ප්‍රධානියා ඇදට ගමන් කරයි නම් ඔහු පසුපසින් එන සෙසු ගවයෝ ද ප්‍රධානියා අනුකරණය කරති.එසේම මිනිසුන්ගේ ප්‍රධාන අය වැරදි ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ගේ අනුගාමිකයෝ ද ඊටත් වඩා වැරදි ලෙස හැසිරෙති. එසේම ගවරැළෙහි මුදුනා සෘජුව ගමන් කරන විට සෙසු ගවයන් ද ඔහු අනුකරණය කරන්නාක් මෙන් මිනිසාගේ ප්‍රධානීන් හරිමඟ හරියට යන්නේ නම් මිනිසුන් ද සිය නායකයන් අනුකරණය කරනු ඒකාන්ත ය.

රටක පුරවැසියාගේ හිතසුව පිණිස රටේ නායකයන් අනුගමනය කළ යුතු බෞද්ධ ප්‍රතිපත්ති ගණනාවක් සම්බුදු හිමියන් විසින් පැහැදිලි කර දී ඇත. පංචශීල ප්‍රතිපත්තිය, සප්ත අපරිහානි ධර්ම, දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සතර බඹ විහරණ, “පඨ ම චක්කානු වත්තන” සූත්‍රයේ සඳහන් පංච විධ ගුණ, සතර අගතියෙන් තොර වීම සහ මෛත්‍රී භාවනාව, යහපත් පාලකයකුගේ සක්‍රීය ආභරණ වේ.

අශෝක රජතුමාගේ ගිරිනාර් ලිපි අංක හයෙහි එතුමා විසින් මහජන සේවාව කළයුතු ආකාරය මෙසේ සඳහන් කර ඇත.

“මහජන සුබසිද්ධිය සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීමේ දී මම කිසිවිටෙක තෘප්තියට නොපැමිණියෙමි.මගේ රටේ ජනතාවගේ යහපත සඳහා වැඩ කිරීම මගේ පරම යුතුකම හා වගකීම යැයි මම සිතමි. නොපසුබස්නා උත්සාහයෙන් නිතරම වැඩ කරමින් රටවැසියාගේ යහපත පිණිස වැඩ කිරීමට වඩා වෙනත් ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් මට නැත. මා ගන්නා සියලු උත්සාහයන්ගේ පරම පිවිතුරු අරමුණ වන්නේ මගේ ජනතාව සුවපත් කිරීමයි. මගේ පුත්‍රයෝ ද, ඔවුන්ගේ පුත්‍රයෝ ද මේ රජ දහම අනුකරණය කරත්වා”

කාලිංග ගිරිනාර් ලිපි අංක හතෙහි ධර්මාශෝක රජතුමා විසින් මෙසේ සඳහන් කර ඇත.

“සවේ මනුසා මම පජා” මගේ රටේ සියලු ජනතාව මගේම දරුවෝ ය. මගේ දරුවන් ගැන මා සිතන අකාරයට ම මගේ රට වැසියන් ගැන ද මම සිතමි. දරුවන් වෙනුවෙන් මව්පියන් ඕනෑම දෙයක් කරන්නේ ද? එපරිද්දෙන් ම මගේ රට වැසියන්ගේ යහපත පතා මම ඕනෑම දෙයක් කරමි.”

“යථා පිතා වාපි මාතා - අනුකම්පකා අත්ථකාමා පජානං
ඒව මේව වෝ හෝතු අයඤ්ච රාජා
තුම්හේව වෝ හෝථ යථෙව පුත්තා”

සම්බුදු පියාණන් ජාතක පාලියෙහි මෙසේ දක්වා ඇත.

යම් ආකාරයකින් මව්පියන් සිය දරුවන්ගේ දියුණුව පතන්නේ ද, එසේම රාජ්‍ය පාලකයා සියලුම රටවැසියන් තමන්ගේ දූ පුතුන් ලෙස සලකා කටයුතු කළ යුතු ය. බලය සඳහා අසමගිය වපුරමින්, උනුන් ගරහා ගන්නා සමාජයක් බුද්ධ ධර්මයෙන් ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි. සාමය හා සමානාත්මතාවය ඇති සමාජයක් ගොඩනැඟීම බුද්ධ ධර්මයේ ප්‍රතිපත්තිය යි. මෙබඳු සමාජයක වැඳුම් පිදුම් ලබන්නේ ආයුධ බලයෙන්, ධන බලයෙන් මිනිසුන් දිනා ගන්නා අය නොව තමා විසින් තමාම දිනා ගන්නා අයයි. මෙහිදී වෛරය මෛත්‍රියෙන් ද, අධර්මය ධර්මයෙන් ද ජයගනිමින් “දහමින් දැහැමියා රකී” යන සම්බුදු දහම මුදුන්පත් වෙයි.

මිනිසා තමා විසින් ගොඩනඟා ගත් තත්ත්වයන් තුළින් වෙනත් මිනිසුන්ට සේවය කරනවා මිස මානව සමාජයේ පීඩනයට එම ශක්තීන් යොදා නොගත යුතු ය. “මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යැයි” මෙහිදී සම්බුදු දහමින් පෙන්වා දී ඇත.

විවිධ අරමුණු මුල් කරගෙන විවිධ පැතිවලට බෙදී සිටින දේශපාලන පක්ෂ අතර සමගිය, සාමය හා මිත්‍රත්වය ඇති කර ගැනීමට මෙම සම්බුද්ධ සංකල්ප මෙන්ම ධර්මාශෝක චින්තනය ද නිවැරදි මඟ පෙන්වීමක් කර තිබේ. සාමය, මිත්‍රත්වය, හොඳ හිත තුළ ඇති කරගෙන මිනිසාට සේවය කිරීම පරමාදර්ශය කරගත් විට ඵලදායක ගමනක් යා හැකිය.