Print this Article


ආලෝකය ද අඳුර ද උදාකර ගන්නේ තමා ම ය

ආලෝකය ද අඳුර ද උදාකර ගන්නේ තමා ම ය

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

චීරප්පවාසිං පුරිසං
දූරතො සොත්ථි මාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච
අභිනන්දන්ති ආගතං

බොහෝ කලක් විදේශීය රටක වාසය කොට සුවසේ පැමිණි පුද්ගලයෙක් ඔහුගේ නෑදෑ මිත්‍රයනුත්, හිතවතුනුත් ආදරයෙන් පිළිගෙන යම් සේ සතුටු වේද?

එසේම, පුණ්‍ය විපාකයෝ කළ පින් ඇත්තා මෙලොවින් පරලොවට ගිය කල පි‍්‍රය නෑයකු මෙන් පිළිගනිති.

ඉහත ගාථාවන් ඛුද්ධක නිකායට අයත් ධම්මපදයේ වග්ග 26 පිය වග්ගයට සම්බන්ධ ගාථා රත්නයයි.

බොහෝ දුර සිට පැමිණි නෑදෑයකු සොම්නසින් පිළිගන්නා සේ සිදුකළ පින් කුසල් පරලොව දී පිළිගන්නා බව පෙන්වීමට “නන්දිය” උපාසක තුමා මුල්කරගෙන මෙම කථා ප්‍රවෘත්තිය බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බරණැස් නුවර පවුලක මවුපියෝ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවන්ත ව, ගෞරවයෙන් විසූහ. ඔවුන්ගේ පුත්‍ර නන්දිය පින් පිරීමෙහි නියැළී විසුවේ ය. මව්පිය උපස්ථාන ක්‍රමානුකූල ව සිදු කළ අතර, මව්පියන්ගේ ඇවෑමෙන් පසු බොහෝ කුසල් කළේ ය. මව්පියන් මිය යාමෙන් පසුව නන්දියට පවුලේ වගකීම භාර ගන්නට සිදුවිය. පින් කිරීමේ ආසාව කැමැත්ත බලවත් ව තිබුණි.

නන්දිය ඉසිපතන විහාරය අලංකාර රමණීය ආවාස ගෙයක් ලෙස (විහාරයක්) කරවා එහි කැප ආකාරයේ විවිධ වටිනා බඩු සුදුසු ලෙස තැන්පත් කර සරසා බුදුපාමොක් මහා සංඝයා වහන්සේට පූජා කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නන්දිය උපාසකතුමාට තව්තිසා දෙව්ලොව පහළ වූ දිව්‍ය මන්දිරය කිසිම ආකාරයකින් වර්ණනා කළ නොහැකි තරම් ය.

දිනක් මහ මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා නැවත පැමිණ එම දිව මැඳුරේ ස්වභාවය රමණීයත්වය, අලංකාරය ගැනසම්බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. එය උපමා කරගෙන බුදුන් වහන්සේ, කලක් පිටත ගොස් සිටි අයෙක් නැවත සිය නිවසට පැමිණෙන විට ඤාති මිත්‍රාදී සියලු දෙනාම බහු සතුටින් පිළිගනිත් ද, එමෙන්ම කළ පින් කුසල කර්ම පරලොව ගිය කල ඔහු විශේෂයෙන් ම පිළිගනී යැයි දේශනා කළ සේක.

ඉහත අතීත කථාව තේමා කරමින් දහම් කරුණු ඉදිරිපත් කිරීමේ දී මව්පිය දෙපළ කැඩපතක් (කණ්ණාඩියක්) වශයෙන් පෙන්වාදිය හැකි ය. කැඩපතක් ළඟට ගියවිට ශරීරයේ බාහිර අඩුපාඩුවක් තිබේ නම් මනාව පෙන්නුම් කරයි. මව්පියන් කරන, කියන, හැසිරෙන ක්‍රම රටාව දරුවන් මැනවින් අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙයි. ක්‍රියා කරයි.

වර්තමාන සමාජයේ සිටින සමහර අම්මල, තාත්තලාගේ ජීවන චරිතය දෙස බැලීමේ දී පිරිහීම් මට්ටමකට පත්වී ඇත. ආගම දහමෙන් වෙන්ව මත්වතුර, මත්ද්‍රව්‍ය , සූදුව වැනි සමාජ පරිහානිය කරා යොමු වෙන ක්‍රියාවන්වලට ගොදුරුවී ඇත. සමඟිය සතුට බිඳී ගොස් නිවස මිහිපිට අපායක් කර ගන්නා අවස්ථාවන් ද ඇත. අනාගත සුබ සිද්ධිය නොබලන, හැදෙන විදියට හැදිච්චාවෙ කියා සිටින අය ද ඇත. නියම පිළිවෙළකට සාධු සිරිත් අනුව දරුවන් තැනුවේ නැතිනම්, සමාජය දෙස බැලීමේ දී දක්නට ලැබෙන්නේ ඇතැම් තැනෙක මත්වතුර , මත්ද්‍රව්‍ය, සූදුව, හොරකම, මිනිස් ඝාතන, දූෂණ වැනි භයානක විපත්වලට යොමුවෙන බවයි.

ශ්‍රී ලංකාවේ මොන තරම් පොලිසි, උසාවි, හිරගෙවල්, සමත මණ්ඩල තිබේ ද? ඔබගේ දරුවන්, සහෝදරයන්, ස්වාමි පුරුෂයන් කොපමණ ප්‍රමාණයක් මේවායේ දුක් කරදර විදිනවා දැයි, ප්‍රඥාවෙන් සිතන්න. මෙම සියලුම අපරාධවලට ප්‍රධාන හේතුව ධර්මානුකූල ව සොයා බැලීමේ දී මව්පියන් බව පෙන්වාදිය හැක. අයහපත් ඇසුර ද බලපානු ඇත.

කුඩා කාලයේ සිටම දරුවන් තැනීමේ දී මුල්ම පටුන වශයෙන් පුතේ ඔයාගේ දකුණු අත මෙයයි. වම් අත මෙයයි යන මෙම පාඩමේ සිට ක්‍රම ක්‍රමයෙන් උපදෙස්- ඕවාද දී මිනිස් සමාජය පිළිබඳ ව මනා දැනුමක් ලබාදිය යුතු ය. සහෝදර සහෝදරියන් ගැන පිළිපැදිය යුතු ක්‍රම රටාව පෙන්වාදිය යුතු ය. සිය නිවස තුළ බුදු මැදුරක් තනා මල් පහන් පූජා කරන පිළිවෙළ පෙන්වාදිය යුතු ය. ගෙදර සමූහ වන්දනාවක් නම් වඩාත් ම උචිත වේ.

මව්පියන්ට ගාථාව කියා වැඳීමේ දී ලැබෙන ආනිසංස වඩ වඩාත් අවබෝධ කරවිය යුතු ය.

සුදුසු වයසට පැමිණීමේ දී දරුවා සාරධර්ම, ගුණධර්මවලින් පෝෂණය කර ගැනීම පිණිස දහම් පාසලට ඇතුළත් කළ යුතු ය. එවිට දරුවා පව් පින් මැනවින් අවබෝධ කරගෙන පන්සිල් රකින බෝසත් දිවියක් ගෙවනු ඇත.

දරුවන්ගේ දහම් ඤාණය වර්ධනයට බෞද්ධ පුවත් පතක් පරිශීලනය බෙහෙවින් ම, වැදගත් වේ.

මසකට වරක්වත් දූ දරුවන් සමඟ පන්සල් යාම සිරිතක් කර ගන්න. වසරකට වරක් පවුලේ සැම මානසික සුවය, එකමුතු බව රැඳීමට ආගමික චාරිකාවක යෙදෙන්න. මේ අයුරින් සෑම නිවසක ම සදහම් ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ඔබේ ගෙදර ධර්මිෂ්ට තැනක් වනු ඇත.

මම දවසක් වැඩිහිටි නිවාසයක ධර්ම දේශනාවකට වැඩියෙමි. එම අවස්ථාවේ දී එක අම්මා කෙනෙක් මට මෙසේ කීවා ය. හැම වෙලාවෙම කඳුළෙන් දෙනෙත් තෙත් වෙනවා. කන්න බොන්න නිදාගන්න බැහැ. දරුවො මතක් වෙනවා. මේ එම මාතාවගේ දුක්බර කඳුළු විලාපයයි. මේ වගේ සෝචනීය කඳුළු කතා විලාප බොහෝ ය. තව ද බස්නැවතුම්පළ, මහමඟ අතරමං කරන පිරිස කෙතරම් ද? මෙවැනි අපරාධ සිදු කරනුයේ මෙලොව පරලොව පින් පව් නොදන්නා අයයි.

ජීවත්වන පිරිස සිතනුයේ සදාකාලිකව ම ජීවත් වන්නටයි. මිය යන බව කල්පනා නොකරයි. එම නිසාම තමයි මිල මුදල් , යාන, වාහන, වතුපිටි , ඉඩකඩම් සියලුම සම්පත් ජීවිතය කරගෙන කටයුතු කරන්නේ. එමෙන් ම ඔබ සැම විටම සිතන්න, ජීවිතය ස්ථිර නැත. තණ අග දිලෙන පිණි බිඳුවක් සේ ය.

ජීවිතයේ ස්වභාවය බැලීමේ දී මිනිස් පරමායුෂ අවුරුදු 74 ක් තරම් බව පෙන්වයි. මිනිසා බුද්ධිමත් ව සිතා කල්පනා නොකළොත් දුක්බර අවස්ථාවන්ට මුහුණ දීමට ඉඩ තිබේ. එවන් පහත් අභව්‍ය තැනකට පත් වුවහොත් භව ආත්ම කෝටි ගණනකට වත්, මනුලොව උපතක් ලබා ගැනීමට අපහසු ය. එම නිසා ලැබූ මිනිසත් දිවිය සාර්ථක කර ගැනීමට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පින්කම් ගිහි – පැවිදි භේදයකින් තොරව සිදුකළ යුතුයි.

මිනිස් බවයේ අවසාන සිත චුති සිත වේ. චුති චිත්තයේ දී වර්තමාන භවයේ සිදු කළ හොඳ හෝ නරක මනාව දර්ශනය වී සිත නිරුද්ධ වීමේ දී මනුලොව හා දෙව්ලොව සැප උරුම වෙයි. අකුසලයක් නම් සතර අපාය හිමිවෙයි. කතාවේ එන නන්දිය උපාසක තුමාට ද දෙව් විමනක් හමුවූයේ යහපත් චේතනාවක් බැවිනි.

එබැවින් ඔබත් මනුලොව වෙසෙන මේ පුංචි විරාමයේ දී මිනිස්කමේ වටිනාකම වඩ වඩාත් අවබෝධ කර ගැනීම ඉතාමත් අගනේ ය.

ඔබ මෙලොව ඉපදුණේ සසර කර ඇති මහා පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් නිසා ය. එය තව තවත් ආලෝක කර ගන්න. බුදු දහමේ ශක්තිය, ආශිර්වාදය දිවියට ජීවමාන ව ඖෂධයක් කර ගන්න.