Print this Article


මිරිසවැටිය සෑ රදුන් වහන්සේ

කවරයේ කතාව:

මිරිසවැටිය සෑ රදුන් වහන්සේ

ගැමුණු කුමාරයා එළාර රජු සමඟ සටන් කර සියලු පරසතුරන් පරාජය කළේ ය.

යුද්ධ ජයග්‍රහණය කිරීමෙන් පසු රාජාභිෂේක උත්සවය පැවැත්වුණි. ගැමුණු කුමරු ලක්දිව මහරජු බවට පත් විය. එයින් සතියකට පසු රජු තිසා වැවේ ජල ක්‍රීඩාව පිණිස සහපිරිවරින් සහභාගි විය.

රජතුමා දීර්ඝ කාලයක පටන් ගෙන ගිය යුද්ධයේ දී තමන්ට දිනපතා බුදුන් වැඳීම පිණිස රාජ්‍යත්වයේ සංකේතය වූ ‘ජයකොන්තය’ තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට සටන් පෙරමුණේ රැගෙන යන ලදී. එම සධාතුක ජයකොන්තය ජල ක්‍රීඩාව සඳහා දියට බැසීමට පෙර රජු ගොඩබිමේ වැවට උතුරින් පිහිටි විශේෂ ස්ථානයක තැන්පත් කර තැබීය.

ජල ක්‍රීඩාව අවසානයේ රජු පිටත්වීමට සූදානම් ව ජයකොන්තය ගැනීමට උත්සාහ කළේය. ආශ්චර්යයකි. එය සෙලවීමට පවා නොහැකි විය.

රටත්, ජාතියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් සතුරු බලවේගයන්ගෙන් මුදාගත් රජුගේ බලාපොරොත්තුව වූයේ බුදු සසුනේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය යි.

ජයකොන්තයේ ආශ්චර්ය පිළිබඳව මහත් ශ්‍රද්ධාවක් ඇති කර ගත් රජතුමා නොසැලී පිහිටි ජයකොන්තය වටකොට ස්තූපයක් ඉදිකිරීමට තීරණය කළේය. ඒ දුටුගැමුණු රජු කර වූ පළමු ස්තූපයයි.

දාගැබට නම් තැබීම හා සම්බන්ධ තවත් කතාවක් ද පවතී. දුටුගැමුණු රජු දිනපතා තමා ගන්නා සෑම ආහාරයක් ම සංඝයා වහන්සේ උදෙසා පූජා කිරීම සිරිතක් විය. තමන් අනුභව කළ මිරිස් ව්‍යාංජනයක අග්‍ර කොටස් භික්ෂූන් වහන්සේට පූජා කිරීමට නොහැකි වූ බව මෙනෙහි කළේය. ඒ පිළිබඳව කම්පා වූ රජතුමා ව්‍යංජනය පූජා නොකිරීමේ අතපසුවීමට ස්වයං වන්දියක් ලෙසින් නොසැලී පිහිටි ජයකොන්තය වටකොට ස්තූපයක් ඉදි කළේය. ‘මිරිස් ව්‍යංජනයක්’ කතාව අනුව එම ස්තූපය ‘මිරිසවැටිය ස්තූපය’ නමින් ප්‍රකට විය.

මිරිසවැටි ස්තූපයේ උස අඩි 160 ක් වන අතර විෂ්කම්භය අඩි 560 ක් වේ. සලපතල මලුව, වැලිමලුව, වාහල්කඩ , සහිත ස්තූපය අක්කර 50 ක භූමි භාගයක පමණ පැතිර පවතී. ක්‍රි.ව. 161 දී රජු විසින් ආරම්භ කරන ලද මිරිසවැටි ස්තූපයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට පුරා වසර තුනක් පමණ ගතවිය.

කලින් කල විවිධ රජවරු විසින් මිරිසවැටි ස්තූපයට නවාංග එක්රැස් කරමින් එය කලින්කල අලුත්වැඩියා කරනු ලැබූහ.

මෙහි බටහිර වාහල්කඩ ශ්‍රී ලංකාවේ වාහල්කඩ කැටයම්වලට විශිෂ්ට උදාහරණ සපයයි. එම වාහල්කඩෙහි උස අඩි 17 ක් ද, පළල අඩි 25 ක් ද වේ. කල්ප වෘක්ෂ කැටයම්, ලියවැල්, පියුම් පෙති සහිත බොරදම්, සැරසිලි , සත්ව රූප ඉතා උසස් ලෙස කැටයමට නඟා තිබේ.